අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්දට බය විපක්ෂය අද අය-වැයටත් බය වෙලා

    ඔක්තෝබර් 31, 2014

    දීර්ඝ කාලීන සංවර්ධන දැක්මක් සහ  ආර්ථික ඉලක්ක ප්‍රායෝගිකව සපුරාගැනීමේ ගැනීමේ වැඩපිළිවෙළක‍් සහිත අයවැය ලේඛනයක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.


    ජනාධිපතිතුමා මෙවර ඉදිරිපත් කරන ලද අය-වැය ලේඛනය ඉහළ මැදි ආදායම් ලබන ආර්ථිකයක් කරා රට මෙහෙයවන ඉලක්ක හා සැලසුම් සහගත වැඩපිළිවෙළක් අන්තර්ගත අය-වැය ලේඛනයකි. බොහොම පැහැදිලි ව සමාජ, ආර්ථික ජයග්‍රහණ රැසක් ජනතාවට අත්කර දෙමින් 2020 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 7,500 දක්වා වර්ධනය කර ගැනීමේ ඉලක්කයක් මෙවර අයවැය ලේඛනයේ ඇතුළත් වේ. යුද ජයග්‍රහණයෙන් පසු අප අත්කර ගත් ආර්ථික සංවර්ධන ප්‍රතිලාභ ක්‍රමානුකූල ව ජනතාව වෙත ලබා දීමේ මූලික පියවර රැසක් මෙවර අයවැය ලේඛනයට ඇතුළත් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.


    විපක්ෂය අයවැයට පෙර සිට ම කියපු කතාවක් තමයි මෙවර ජනාධිපතිවරණ ඡන්දේ ඉලක්ක කරගෙන ජනතාවට තාවකාලික සහනාධාර දෙන අයවැයක් ඉදිරිපත් කරයි කියලා.

    ඔවුන් මුල සිට ම ජනාධිපතිතුමා ඉදිරිපත් කරන්න යන අයවැය ගැනත් වෙනදා වගේම බොරු ප්‍රචාරක ව්‍යාපාරයක් අරන් ගියා. භාණ්ඩාගාරය හිස්කරලා ගෙදර යන්න හදනවා කියලත් සමහර විපක්ෂ මන්ත්‍රීවරු කිව්වා. මාස 6ක විතර තාවතාලික සහනයක් ජනතාවට ලබා දෙන්න හදනවා කියලා කිව්වා.
     
    රාජ්‍ය සේවකයන්ටත්, විශ්‍රාමිකයන්ටත් විශාල සහන රැසක්, පඩි වැඩිවීම් දීමනා එකතු වීම් මෙවර අයවැයේ තියෙනවා කියලා ඔවුන් හිතුවා. රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඔවුන්ට අහිමිවෙයි කියලා බය වුණා. කොච්චර බය වුණාද කිව්වොත් විකල්ප අයවැයක් ගේනවා කිව්වා. තවම නම් ගෙනාවේ නෑ. ඒකේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩිකරනවා කියලා කිව්වා. ජූලි වැඩවර්ජකයින්ට රුපියල් 10ක් පඩි වැඩි කරන්න බැරි වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජයකින් රුපියල් 10,000ක් පඩි වැඩි කරනවා කිව්වහම මිනිස්සු හිනා වුණා. මිනිස්සු හිනා වුණේ, රාජ්‍ය සේවය කප්පාදු කරන්න පිඹුරුපත් සකසපු, චක්‍රලේඛ ගෙනල්ලා බඳවා ගැනීම් සම්පූර්ණයෙන් නතර කරපු, විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන් ම අහෝසි කරන්නට සැරසුණු  එක්සත් ජාතික පක්ෂ රජයකින් රුපියල් 10,000ක් නෙවෙයි රුපියල් 1,000ක් වැඩිකරයි කියලා කිව්වත් ජනතාව විශ්වාස කරන්නේ නැහැ.

    ජනතාවට එක විශ්වාසයක් එක්සත් ජාතික පක්ෂය ගැන තියෙනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂ රජයක් ආවොත් අපි‍ට සොච්චන් වන්දියක් අරන් ෂුවර් එකට ම ගෙදර යන්න පුළුවන් වෙයි, කියන විශ්වාසයයි. රාජ්‍ය සේවය ලක්ෂ 3කට 4කට අඩු කිරීම තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය. ජනතාවට තවමත් අවදානමක් හිතේ තියෙනවා. එක්සත් ජාතික පක්ෂය බැරි වෙලාවක්වත් බලයට ආවොත් අපේ විශ්‍රාම වැටුප අහිමි කරයි ද? කියලා. උපාධිධාරීන්ටත් ඒ වගේ ම අවදානමක් තියෙනවා. අපිට අපේ  උපාධි සහතිකය අල්මාරියේ දාලා කාලයක් ගෙදර ඉන්න වෙයි කියන එක. එක්සත් ජාතික පක්ෂ රජයක් ආණ්ඩු බලය ගත්තොත් අපිට රජයේ රැකියා ගන්න විශාල අරගලයක්, සටනක් කරන්න වෙයි කියලා ඔවුන් දන්නවා. ඒවා තමයි ජනතාවට එක්සත් ජාතික පක්ෂයක් බලයට ඉව අල්ලන කොට  හිතෙන ඇත්ත සිතුවිලි යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

    රටේ උද්ධමනය වැඩිවෙලා, ආර්ථිකය ඍණ අගයක් බවට පත්වෙලා , විරැකියාව වැඩිවෙලා තියෙනවා නම් අපේ විපක්ෂය හැමදාමත් කැමතියි. රටේ ජාත්‍යන්තර සංචිත අපේ මූලික අවශ්‍යතා සපුර ගැනීම‍ටවත් බැරිවන තත්ත්වයකට පත් වෙනවා නම්, ණය බරින් මිරිකිලා එන්න එන්න ජනතාව පීඩාවට පත් ව අන්ත අසරණ වෙනවා නම් විපක්ෂයට හරි සතුටුයි.

    එවිට ජනතාව මත බදු බර පැටවෙන, ජනතාවට සහන නැති, දීර්ඝ කාලීන සංවර්ධන ඉලක්ක කිසිවක් නැති ආදායම් වියදම් පියවා ගන්න බැරි අයවැයක් එනවා කියලා ඔවුන් දන්නවා . නමුත් වත්මන් රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය තුළ ඔවුන්ගේ අපේක්ෂා  බිඳවැටෙන බව දන්නා නිසා ඔවුන් අයවැයට පෙර සිට ම මේ අයවැය විවේචනය කරන්න පටන් ගත්තා. ජනාධිපතිවරණයේ දී මහින්දට බය විපක්ෂය අද ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැයටත් බය වෙලා යැයි ඔහු අවධාරණය කළේය.

    රට තුළ සිදුවන ආර්ථික, සමාජීය, සංවර්ධනය අද මිථ්‍යාවක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට අනුව ඔවුන් සියලු දෙනා දන්න නිසා මේ අයවැයට බයවෙලා. ඒ නිසා දැන් සංවර්ධන ප්‍රතිලාභ ජනතාව අතරට යන එක අපිට වලක්වන්න බෑ කියලා ඔවුන් දන්නවා. අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ජාතික සංවර්ධන දැක්මේ ප්‍රතිඵල අද යථාර්ථයක් බවට පත්වෙලා. ඒ අනුව 2006-2007 කාලයේ 15.7%ක් වෙච්ච දිළිඳු මට්ටම අද 8.7%  දක්වා අඩුවෙලා. උද්ධමනය ගෙවී ගිය වසර 5 තුළ 5% සීමාවේ පවත්වා ගැනීමට අපට හැකි ව තිබෙනවා. මේ වන විට එය 4.2% දක්වා තවත් පහළට ගොස් තිබෙනවා.

    2005 වසරේ ඩොලර් බිලියන 2ක් ව පැවති රටේ මූලික අවශ්‍යතා ‍ටිකවත් සපුරා ගැනීමට ප්‍රමාණවත් නො වූ  ඉතාමත් අවදානමකට ලක්වුණු විදේශ සංචිත ප්‍රමාණය අද බිලියන 10 දක්වා 5 ගුණයකින් වර්ධනය කර ගෙන තිබෙනවා. රටේ සමස්ත ආර්ථික වර්ධනය 7%ත් 8%ත් අතර ප්‍රමාණයකට පවත්වාගෙන යනවා. ඒක පුද්ගල අදායම 2005 වර්ෂයට සාපේක්ෂව 4 ගුණයකින් වැඩිකර ගෙන තිබෙනවා. මේ වසරේ ඇමෙරිකානු ඩොලර් 3,719ක් ලෙස  පවතින ඒක පුද්ගල ආදායම ලබන වසරේ ඩොලර් 4,000 දක්වා වැඩි කර ගැනීමටත්  අපේක්ෂිතයි. ඒ වගේ ම ජාතික ආදායමෙන් රාජ්‍ය ණය ප්‍රමාණය 2005 වසරට සාපේක්ෂව 30%කින් අඩුකර ගෙන තිබෙනවා.

    2005 වර්ෂයේ සිට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෑම අය-වැය යෝජානාවලියකදී ම ක්‍රමානූකූල ව අයවැය හිඟය අඩුකිරීමට පියවර ගත්තා. රජයක වියදම් කළමනාකරණයේ කාර්යක්‍ෂමතාව මිනුම් කෙරෙන ප්‍රධාන දර්ශකයක් වන මේ  අයවැය හිඟය 2014 වසරේදී 5% දක්වා අඩුකර ගැනීමට අපට හැකි ව තිබෙන අතර එළඹෙන වසරේදී  එය 4.6% දක්වා තවදුරටත් අඩුකරගනීම, අපගේ ඉලක්කයයි.

    අපේ රජයේ නිවැරදි ආර්ථික කළමනාකරණයත් එක්ක අපි ළඟා කරගෙන තිබෙන ආර්ථික හා සමාජීය ජයග්‍රහණ එක්කත්, විපක්ෂයට මේ අයවැය අද විශාල පීඩනයක් ඇති කරලා. ‍සියලු ම ක්ෂේත්‍ර ආවරණය කරමින්, දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින්, ජනතාවට සහන සලසමින්,    මෙවර ඉදිරිපත් කළ අයවැය විපක්ෂයට ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දීමට විශාල අභියෝගයක් වෙන බව නම් දැනටමත් පැහැදිලියි.

    ඒ නිසා රජයේ සංඛ්‍යා ලේඛන බොරු කියලා දැන් කියනවා . ඌව පළාත් සභා මැතිවරණයේදී මොනරාගල  දිස්ත්‍රික්කයේ දරිද්‍රතාව වැඩිවුණා කියලා ආණ්ඩුව පතුරු ගහනකොට  විපක්ෂයට ඒ සංඛ්‍යාලේඛන හොඳයි. දැන් හොඳ නැහැ. මේකට අපේ ගම්වල නම්  කියන්නේ කන්න ඕන වුණා ම කබරගොයත් තලගොයා කරගන්නවා කියලා, ඒකට නම් අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හරි දක්ෂයි.

    අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය සේවය කෙරෙහි උපරිම විශ්වාසය තබා කටයුතු කරන බව අපි කවුරුත් දන්නවා . අද වන විට රාජ්‍ය සේවය ලක්ෂ 14 ඉක්මවලා. රාජ්‍ය සේවයේ  පවතින සියලු ම පුරප්පාඩු  අඛණ්ඩ ව සම්පූර්ණ කර රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජනාධිපතිතුමා ක්‍රියා කරනවා. ඒක අපි අගය කරනවා. පසුගිය කාලයේ මාගේ අමාත්‍යංශ‍ය යටතේ පමණක් උපාධිධාරීන් 51,000 ක් කළමනාකරණ සහකාර සේවයට 13,308ක් ග්‍රාම නිලධාරීන් ලෙස 4,500ක්  ශ්‍රී ලංකා පරිපාලන සේවයට 1,154ක්, ඇතුළු ව ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බඳවා ගනු ලැබුවා. ඒ අනුමත  පුරප්පාඩු සඳහා විතරයි.

    අද ලක්ෂ 14ක් පමණ වන රාජ්‍ය සේවය ලබන වර්ෂය වන විට තවදුරටත් පුළුල් කරන්න මෙවර අයවැය තුළින් ජනාධිපතිතුමා යෝජනා කර තිබෙනවා. ඒ අනුව ගුරු සහයකයින් ලෙස පාසල්වලටත් සහ පළාත් පාලන ආයතන සඳහාත් උසස් පෙළ සමතුන් ලක්ෂයකට රැකියා වරම් හිමිවෙනවා. මීට අමතරව දින 180ක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ අනියම් සහ ආදේශක සේවකයන් ස්ථිර කිරීමත් සිදු කෙරෙනවා. මේ අනුව එළඹෙන වසරේ රාජ්‍ය සේවයේ අනිකුත් නියමිත බඳවා ගැනීමුත් සමඟ රාජ්‍ය සේවය ලක්ෂ 16 ඉක්මවා යනවා. මහජනතාවගේ අවශ්‍යතා උපරිම අයුරින් ඉටු කරමින් මහින්ද චින්තන ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරන ගාමක බලවේගය බවට මේ ලක්ෂ 16ක් වන අපේ රටේ සමස්ත රාජ්‍ය සේවය ම පරිවර්තනය කර ගැනීම රජයේ අරමුණයි.

    අයවැය මත යම් පීඩනයක් ඇති වුවත් ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් මෑත ඉතිහාසයේ  අයවැයකින් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් විශාල ම සහන ප්‍රමාණය මෙවරත් අය වැය තුළින්  ජනාධිපතිතුමා ලබා දී තිබෙනවා. ඒ අනුව සියලු ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප්  2015 නව වැටුප් ව්‍යුහයකට අනුව වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් විශ්‍රාමිකයන් විසින් ‍රජයෙන් ඉල්ලා සිටි විශ්‍රාම වැටුප් විෂමතාව 2006 වැටුපට අනුව නොව 2015 නව වැටුප් ව්‍යුහයට ම අනුව සංශෝධනය කර විශ්‍රාම වැටුප් විෂමතාව මුළුමනින් ම අවසන් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. එය විශ්‍රාමිකයන්ට විශාල අස්වැසිල්ලක් වෙනවා. මෙම වැටුප් සංශෝධනයන් සිදුවන තෙක් නොවැම්බර් මස වැටුපට සියලු ම රාජ්‍ය සේවකයන්ට රුපියල් 3,000කුත්  විශ්‍රාමිකයන්ට රුපියල් 2,500ක  අන්තර් දීමනාවකුත් ලබා දෙනවා. මීට අමතරව ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට 10,000 දක්වා රුපියල් 2,200කින් වැඩි කිරීමත් දැනට 11,730ක් ලෙස පැවති රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 15,000 දක්වා වැඩිකිරීමටත් යෝජනා කර තිබෙනවා.

    2005 ජනාධිපතිතුමා බලයට එනකොට කාර්යාල කාර්ය සහායකයකුගෙ වැටුප තිබුණේ රුපියල් 7,900යි. එතුමා බලයට ආපු ගමන් එම අවම වැටුප 11,730 දක්වා වැඩිකළා. අද ඒක රු. 15,000 කරලා. ඒ වගේ ම 2011 වසරේ  මූලික වැටුපෙන් 5%ක් ලබා දෙමින් පසුව 20% දක්වා වැඩි වූ විශේෂ දීමනාව මූලික වැටුපට එකතු කිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කරනවා.

    මේ අනුව රාජ්‍ය  සේවයේ අවම වැටුප රුපියල් 25,000 ඉක්මවන අතර මූලික වැටුප මත පදනම් ව සැකසෙන අතිකාල දීමනා, දිරි දීමනා, වැටුප් වර්ධක සහ ගමන් වියදම් ආදී අනෙකුත් දීමනා ද මේ අනුව වැඩිවෙනවා . මේ අනුව පහළ ම මට්ටමේ රාජ්‍ය සේවකයන්ට පවා තම වෘත්තියට සාධාරණ, ගෞරවනීය වැටුපක්  හැමදාමත් ලබා දීමට කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අපේ සන්ධාන ආණ්ඩුව බව සිහිපත් කළ යුතුයි.

    ක්ෂේත්‍රයේ රාජකාරී කරන රාජ්‍ය සේවකයන් දිරිගන්වමින් ඔවුන්ට සහන මිලට යතුරු පැදි ලබා දීමට අයවැයට පෙර සිට ජනාධිපතිතුමා ක්‍රියා කළා. එම යතුරු පැදි පොලිස් නිලධාරීන්ටත්, ග්‍රාමීය හා අර්ධ නාගරික පාසල්වල ගුරුවරුන්ට ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට මෙවර අයවැයෙන් පියවර ගෙන තිබෙනවා. එවගේම අග්‍රහාර රක්ෂණාවරණය රු. 350,000 සිට රු. ලක්ෂ 5 දක්වා වැඩිකරමින් රාජ්‍ය සේවකයාගේ ජීවිත රැකවරණයට අවශ්‍ය පිටිවහල සපයා තිබෙනවා.  5 ශිෂ්‍යත්ව ආධාර මුදල රුපියල් 1,500 දක්වා මෙවර අයවැයෙන් වැඩිකර කිසිවකුත් බලාපොරොත්තු නොවූ රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට කිසි දිනක නොලැබුණු එම අයිතියත් මෙවර අයවැයෙන් ලබා දී තිබෙනවා.
     
    ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්. ග්‍රාමීය ආර්ථිකය මුළුමනින් ම කෘෂි කර්මාන්තය මත රදා පවතිනවා. කෘෂිකර්මය සඳහා ලබා දෙන සියලු සහන අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ඍජු ආයෝජනයන්. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් කුමන අයුරකින් හෝ කෘෂි කර්මාන්තය හා සම්බන්ධ වෙනවා. යථාර්ථය වන්නේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට දරන සියලු ම වියදම් රටේ ආර්ථිකය ගොඩනැඟිමට දරන්නා වූ ආයෝජනයක් බවයි. ගොවි ජනතාවගේ දුක හඳුනන අතිගරු ජනාධිපතිතුමා කෘෂි කර්මාන්තයට කරනු ලබන සේවය ඇත්තටම ‍‍ඓතිහාසිකයි.

    වගා ණය ගෙවා ගත නොහැකි වූ ගොවි ජනතාව වහ බොන, කුඹුරු ගොඩකරන, වී අලෙවි මණ්ඩල සහ ගබඩා වසා දමන මෑත කාලීන ඉතිහාසය ගැන ඔබතුමන්ට අමුතුවෙන් කිව යුතු නැහැ. ගොවි ජනතාව සම්පූර්ණයෙන් ම අමතක කර ඉදිරිපත් කරන ලද අයවැය කතා අප අසා තිබෙනවා. නමුත් 2005 වසරෙන් පසු එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. අතිගරු ජනාධිපතිතුමා වී ගොවීයා දිරිගන්වමින් පොහොර සහනාධාරය ලබා දීම ආරම්භ කළා. එහි ප්‍රතිඵල අපි අදත් භුක්ති විඳිනවා.  අපි අද සහල්වලින් ශක්තිමත්. රුපියල් 4,000ක් පමණ වටිනා පොහොර මිටියක් දැන් අවුරුදු ගාණක ඉදලා අපි ලබා දෙන්නේ රුපියල් 350ක් වැනි මුදලකට. මේ පොහොර මිටියම අනිකුත් කෘෂි බෝග සඳහාත් රුපියල් 1,200ක් වැනි සහනදායී මිලකට අඛණ්ඩව ලබාදෙනවා. 

    පොහොර සහනාධාරය දීලා අපි ගොවි ජනතාවට ගොවිතැන් කරන්න කියලා අත සෝදා ගත්තේ නැහැ. මෙවර අයවැයෙන් වී ගොවියාට වී කිලෝවකට ලබාදෙන සහතික මිල රුපියල් 40 දක්වා රුපියල් 6කින් වැඩි කළා.

    පසුගිය කන්නනේ නියඟය නිසා ගොවීන්ගේ අස්වැන්න අඩු වුණා. කුඹුරු පාළු  වුණා. අස්වැන්න අඩු වෙනකොට ගොවියා අධෛර්මත් වීම සාමාන්‍ය තත්ත්වයක්. මේ කාරණාත් එක්ක ගොවීන් නැවත කුඹුරට ගේන්න, ගොවිතැනින් ඈත් වීම වලක්වන්න නියඟයෙන් පීඩා විඳි ගොවීන්ට එළඹෙන මහ කන්නය සඳහා බිත්තර වී නොමිලේ සපයන්න ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා. එතුමාත් හොඳට ගොවිකම දන්න ගොවිතැන් කරපු පරපුරකින් පැවත එන පුද්ගලයෙක් නිසා ගොවින්ගේ සිතුම් පැතුම් අවශ්‍යතා ගැන හොඳ අවබෝධයක්  තියෙනවා.

    රටක ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට අපනයන අදායම ඉහළ දමා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. 2020 වර්ෂය වන විට අපගේ අපනයන ඉලක්කය ඩොලර් බිලියන 20ක්, එහි ප්‍රධාන දායකත්වයක් දරන රබර් හා තේ කර්මාන්ත දිරිගන්වන යෝජනා රැසක් මෙවර අයවැය යෝජනා තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඒ අනුව කුඩා තේ වතු හිමියන්ගේ තේ නැවත වගා කිරීමේ සහනාධාරය රුපියල් 875,000 සිට ලක්ෂ 10 දක්වා වැඩි කර තියෙනවා.

     ඒ වගේම රබර් කිලෝවක් සඳහා රුපියල් 300ක සහතික මිලක් ලබා දීමටත් ආනයන කරන රබර් සඳහා  සෙස් බද්ද කිලෝවකට රුපියල් 10කින් වැඩි කර දේශීය රබර් වතු හිමියන්ට අවශ්‍ය රැකවරණය ලබා දීමටත් කටයුතු කර තිබෙනවා.  අනෙකුත් ප්‍රධාන අපනයන බෝග වන පොල්, කුරුදු, ගම්බිරිස්, විසිතුරු මල් ආදී සියලු ම වගාකරුවන් දිරිගන්වන ප්‍රධාන අපනයන ශක්තිමත් කරන ඉලක්ක ගත වැඩපිළිවෙළක් මෙවර අයවැය  තුළ අන්තර්ගතයි.

    අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තමයි 2020 වන විට අප රට ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්  කිරීම. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 7,500 ක ඒක පුද්ගල අදායමක් ළඟා කර ගැනීමේ අභියෝගාත්මක ඉලක්කයක් අපට තියෙනවා. ඒ සඳහා ‍දේශීය  ව්‍යාපාරිකයන්ට අවශ්‍ය දිරි ගැන්වීම්, ඉදිකිරීම් කර්මාන්තය ශක්තිමත් කිරීම, යටිතල පහසුකම් පූර්ණ වශයෙන් සංවර්ධනය කරමින් සංචාරක ආකර්ශණයත්, විදේශ ආයෝජනයන්ට වඩාත් හිතකර පරිසරයක් රට තුළ ගොඩනැගීම ආදී කරුණු ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා මෙවරත් අයවැයෙන් විශේෂ අවධානයක් යොමුකර තියෙනවා.

    අතිගරු ජනාධිපතිතුමා මෙවර ඉදිරිපත් කරන ලද සන්ධාන රජයේ දස වැනි අයවැය සෑම ක්ෂේත්‍රයකට ම ප්‍රතිලාභ සහ දිරිගැන්වීම් ලැබෙන, දීර්ඝකාලීන සංවර්ධන දැක්මක් සහ  ඉලක්ක ප්‍රායෝගික ව සපුරාගැනීමේ ගැනීමේ වැඩපිළිවෙළක‍් සහිත අයවැය ලේඛනයක් බව කිව යුතුයි. මෙහි දී සෑම ජන කොටසකට ම, සෑම වෘත්තියකට ම,  ප්‍රතිලාභ ලබා දෙමින් විශේෂයෙන් කෘෂි කර්මාන්තය, ග්‍රාමීය ආර්ථිකය, සංචාරක කර්මාන්තය, ඇතුළු අපගේ ප්‍රධාන ආර්ථික ශක්තීන් තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍ය ශක්තිය මෙවර අයවැයෙන් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙවර අයවැය සමාජයේ සෑම ස්ථරයකට ම හොඳින් දැනුණු‍ ඉතාමත් සාර්ථක අයවැය ලේඛනයක් බව කිව යුතු යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya