නොවැම්බර් 18, 2019
tami eng youtube  twitter facebook

    පිරිවෙනේ දියුණුව අධ්‍යාත්මයේද දියුණුව වේ නම්....

    මාර්තු 23, 2014

    ලංකාවේ භින්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය පිළිබඳ කතාකරන විටම පිරිවෙන් අධ්‍යාපනය ගැනත් කතාකරන්නට වෙන්නේ අනිවාර්යයෙන්. මුල් කාලයේ සිටම භික්ෂූන් වහන්සේ අධ්‍යාපනය ලැබූ ස්ථානයත් වාසස්ථානයත් යන අර්ථ දෙකෙන්ම ගම්‍ය වෙන්නේ පිරිවෙන.

    මුලින්ම වාසස්ථානය වූ පිරිවෙන පසුව අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් භාවිත වුණා. පොළොන්නරු යුගයේ සිටම මේ පිරිවෙන්, භාවිතයට ගැනුණු බව පේන්න තිබෙන කාරණාවක්. පිරිවෙන භික්ෂූන් වහන්සේට ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා, පසුකාලයකදී පිරිවෙන් අධ්‍යාපනය ගිහියන්ටත් ලැබිය හැකි මධ්‍යස්ථානයක් වුණා. එය සිදුවුණේ පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්වීමත් සමඟ.
    විශේෂයෙන් විද්‍යෝදයත්, විද්‍යලංකාරයත් යන පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්වීමත් සමඟ. මෙනිසා ධර්ම ශාස්ත්‍රීය කරුණු වෙනුවට ඉගැන්වෙන්න පටන්ගත්තේ ධර්ම ශාස්ත්‍රීය කරුණුවලට සීමා නොවූ ඉගැන්වීම්. ඒඒ යුගයට අනුරූප ලෙස.

    ලෝකය වෙනස් වන විට විෂයයනුත් වෙනස් වන බව සැබෑවක්. නමුත් මොන විෂය ආවත් අත්හරිනු බැරි විෂයයක් පැවිදි දිවියට ඇතුළු වූ සාමණේර නමකට තිබෙනවා. එනම් ත්‍රිපිටක ධර්මය.

    මාතර කඹුරුපිටියේ සපුගොඩ පරිවේණාධිපතිව වැඩ විසූ ගෞරවාර්හ, පණ්ඩිත පූජ්‍ය ගතාරේ ධම්මපාල ස්වාමීන් වහන්සේ සමඟ උන්වහන්සේ අපවත් වීමට පෙර අවසන් වරට මේ ලියුම්කරුම කළ සම්මුඛ සාකච්ඡාවේදී සංලාපයට ලක්වුණේ යුගයට අනුරූපව ඉගැන්වීමේ විෂයයන් වෙනස් විය යුතුවා සේම ඉගැන්වෙන ආකාරයේද වෙනස්කකම් ඇතිවිය යුතු බව. මෙහිදී "යුගයට අනුරූප පිරිවෙන" යන මැයට පිරිවෙන් අධ්‍යාපනය අදාළ කර ගැනෙන්නේ වත්මන් රජය ඉතිහාසයේ පළමු වතාවට පිරිවෙන් අධ්‍යාපනයට රාජ්‍ය අය-වැයකින් මිලියන 350ක් තරම් විශාල මුදලක් වෙන්කොට සෙත සැලැසීම නිසා. මෙයින් සිදුවන්නේ මෙතෙක් ඇල්මැරුණු ස්වභාවයෙන් පැවැතුණු පිරිවෙන් අධ්‍යාපනය යථාවත් වී අලුත් හුස්මක් ගැනීමට අවස්ථාව ලැබීම. එය අද ඉතා උත්සවශ්‍රීයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන්. මේ සඳහා සහභාගී වන ගිහි පැවිදි පිරිස අතිමහත්.


    දැනට ලංකාවේ ක්‍රියාත්මක මට්ටමේ ඇති පිරිවෙන් සංඛ්‍යාව 750ක් පමණ වෙනවා. මේ පිරිවෙන් සියල්ල කොටස් තුනකට බෙදන්න පුළුවනි. ඒ, මූලික පිරිවෙන්, මහ පිරිවෙන් හා විද්‍යායතන පිරිවෙන් වශයෙන්. මූලික පිරිවෙන්වල 6 වසර සිට 11 වසර දක්වා විෂයමාලා ඉගැන්වෙනවා. පාසල් දරුවකු 1 වසරේ සිට 5 වසර දක්වා ඉගෙනීමෙන් ලබන දැනුමට මෙය සම වෙනවා. මේ පන්ති 460ක් දැනට පිරිවෙන් තුළ ක්‍රියාත්මක වෙනවා. මහ පිරිවෙන් 201ක් තිබෙන අතර එහි ඉගැන්වෙන්නේ අ.පො. ස උසස්පෙළ පන්ති. ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන අවධි පසුකරමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පන්ති පැවැත්වෙනවා. විද්‍යායතන පිරිවෙන් 60ක් දැනට පවතින අතර ඒවාහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යන විභාග පන්ති වගේම විශ්වවිද්‍යාල පන්ති පැවැත්වෙනවා. මේ පන්තිවල ගිහි ශිෂ්‍යයන්ද ඉගෙනුම් ලබනවා.


    බොහෝ දුෂ්කරතා මැද කැපකිරීමෙනුයි කෘත්‍ය්‍යධිකාරී නායක ස්වාමීන් වහන්සේලා තම ශිෂ්‍ය පරපුරට ඉගැන්වීම් කටයුතු මෙන්ම නේවාසිකව පිරිවෙන තුළ සිටින ස්වාමීන් වහන්සේ පිරිසට ප්‍රත්‍ය පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සැපයුවේ.
    1979 අංක 64 දරන පනත මගින් යම් සැනසුමක්, සැහැල්ලුවක් ලැබුණේ ගුරු විශ්‍රාම වැටුපත් ලබාගන්නට හැකියාව උදාවීමෙන්. ආධාර මුදල්ද ලැබෙන්න වුණා. එදා සිට පැවිදි ශිෂ්‍යයකුට ලැබුණේ වර්ෂයකට රුපියල් 750/-ක මුදලක්. ගිහි ශිෂ්‍යයකුට ලැබුණේ රුපියල් 150/-ක මුදලක්. ඒ මුදල් ක්‍රමයෙන් 1250/- දක්වා පැවිදි ශිෂ්‍යයකුට ලැබුණු අතර ගිහි ශිෂ්‍යයකුට රුපියල් 250/- දක්වා වැඩිවුණා.


    වත්මන් ජනාධිපතිතුමා මේ මුදල් දීමනා සියල්ල වැඩි කළා පමණක් නෙමෙයි. පිරිවෙන්වල යම්යම් වියදම් පිරිමසා ගන්න සෑම පිරිවෙනකටම රුපියල් ලක්ෂයක වාර්ෂික මුදලක් පිරිනමන්නත් කටයුතු යෙදුවා. 1500/- මුදල රු. 2500/- දක්වා වැඩිකළ අතර 250/- මුදල රු. 500/- දක්වා වැඩි කළා. එවැනි ශිෂ්‍යාධාර මුදලක් වෙන්නකළේ පිරිවෙන් අධ්‍යාපනයේ අභිවෘද්ධිය ගැන කල්පනා කිරීමෙනුයි.


    වත්මන් පිරිවෙන්වල තත්ත්වය සහ ඒවා පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපතිතුමා සමඟ කතාබහ කිරීමට 2013 වසරේදී නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ පිරිසක් වැඩම කළේ තුන් අවුරුදු සැලැස්මක්ද අතැතිවයි. මෙය සකස් කෙරුණේ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේද එම අමාත්‍යංශ ලේකම්ගේද සහයෙන්. ඊට පිරිවෙන් ගුරුවරුන්ගේ වරප්‍රසාද ප්‍රශ්න, පිළිතුරු මට්ටම්, ඒ වනවිට වෙන්කෙරී ඇති මුදල් ප්‍රතිපාදන ආදිය ඇතුළු පිරිවෙන් නඟාසිටුවීමට අවශ්‍ය කරුණුද ඇතුළත් වී තිබුණා.

    ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙසයි ජනාධිපතිතුමා විශාල මුදල් ප්‍රතිපාදනයක් වෙන්කළේ, 2014 අය-වැයෙන්. යුගයට ගැළැපෙන පිරිවෙන් අධ්‍යාපනයකට අයත් පරිගණක දැනුමිනුත් පෝෂණය වෙන්නයි ඒවා අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට ලැබෙන්නේ. මේ ප්‍රතිපාදන ලැබීම් සියල්ලත් ශීල මාතාවන් වෙනුවෙන් අය වැයෙන් මිලියන 20ක් වෙන්වීමත් පිරිවෙන් අධ්‍යාපනයට සම්බන්ධ 6000ක් පමණ වූ පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලාටත්, පරිවේණාචාර්ය ස්වාමීන් වහන්සේලාටත්, කෘත්‍යාධිකාරී සංගම් නිලධරයන්ටත්, විෂය උපදේශක භවතුන්ටත් මහත් අස්වැසිල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. අද(21) සමාරම්භක උළෙලේදී පිරිවෙන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය පරපුරට නිලඇඳුම් ‍සංකේතාත්මකව බෙදා දෙන්නේත් ජනාධිපති තුමා අතින්. අද පිරිවෙන්වල ඉගෙනුම ලබන පිරිස 64,0000ක් වන බවයි පැවසෙන්නෙ. එසේම පාසල් හැරයාමෙන් ඉගෙනුම කඩකප්පල් වන, සමාජයට පිළිලයක් වන දරුවන්ටද පිහිටක් වන්නේ පිරිවෙනයි.

    පාඨමාලා ඉගැන්වීම පිරිවෙන් ගුරුවරුන්ට අයත් කාරණාවක්. එසේම පිරිවෙන් ගුරුවරුන්ට උපාධි පන්තිවලටත් ඉගැන්වීම සඳහා කාලය යොදවන්න වෙලා. ගුණාත්මක වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද, දැනුමෙන්ද සාරධර්ම අතින්ද පිරිවෙන් තුළ ඉගෙනුම් ක්‍රියාවලිය පොහොසත් කිරීමයි වත්මන් රජයේ උත්සාහය.
    මේ වෙනුවෙන් කැපවන සියලු පිරිවෙන් ගුරුවරුනට පාසල් ගුරුවරුනට ලැබෙන සියලු වරප්‍රසාද හිමිවෙනවා. අග්‍රහාර රක්ෂණ, ආපදා ණය, නිවාස ණය ආදිය ඒ අතර වෙනවා.

    පිරිවෙන් දියුණු කිරීම සමාන වන්නේ බුද්ධ ශාසනයේ දියුණුවට. එකී දියුණුවට භෞතික ඉදිකිරීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අප බුද්ධ ශාසනයට අර්ථ,ධර්ම, නිරුක්ති, පඨිභාණ යන සිව්පිළිසිඹියා පත් ස්වාමීන් වහන්සේලා දැන් ඉතා හිඟ වෙලා. අලුත් පරපුරකින් අර්ථයෙන් ධර්මයෙන් පොහොසත් යතිවරයන් වහන්සේ බිහිකර ගැනීම අද එක්තරා අයුරක අභියෝගයක්. මේ සඳහා පිරිවෙන් අධ්‍යාපනයේ යටිතල පහසුකම් වගේම ඉගෙනුම් ලබන පිරිසගේ මානසික සහනයත් ඉතා වැදගත්. සියලු විසමතා දුරු වෙතත් භික්ෂූන් වහන්සේට උරුම ශික්ෂණය රඳා පවතින්නේ අධ්‍යාත්මික දියුණුව මත.
    ඒ අධ්‍යාත්මක දියුණුව සැලැසීම යුතුකමක් ලෙසයි වත්මන් ජනාධිපතිතුමා සලකන්නේ.
    ජගත් රණතුංග

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya