අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    අගෝස්තු 26, 2014
    වෙළෙඳ හිඟයේ සැලකිය යුතු අඩුවීමත් සමඟ 2014 ජුනි මාසයේ දී විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වූ බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    අපනයන ආදායම අඛණ්ඩව වර්ධනය වූ අතර ප්‍රධාන වශයෙන් ඛනිජතෙල් ආනයනයේ සිදු වූ අඩු වීම හේතුවෙන් ආනයන වියදම තවදුරටත් අඩු විය. ජංගම ගිණුමේ හිඟය තවදුරටත් අඩු කිරීමට දායකවෙමින් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචාරක ඉපැයීම් ද ජූනි මාසය තුළ දී ඉහළ ගියේය. මෙම වර්ධනයන් සහ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් 2014 වසරේ ජූනි අග වනවිට ගෙවුම් තුලනයේ සැලකිය යුතු මට්ටමක අතිරික්තයක් සඳහා හේතු විය. 

     

    ජූනි මාසයේ දී තේ අපනයන ආදායම එ.ජ. ඩොලර් මිලියන 153ක් දක්වා සියයට 31.5කින් වර්ධනය විය. පොල් මද නිෂ්පාදිත අපනයන වැඩිවීම හේතුවෙන් පොල් අපනයන ආදායම එ.ජ. ඩොලර් මිලියන 32ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩියෙන් වර්ධනය විය. 


    පෙර වසරේ පැවති යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොල් නිෂ්පාදනයේ සිදු වූ වැඩිවීම පිළිබිඹු කරමින් 2014 වසරේ පළමු භාගය තුළ දී පොල් මද සහ පොල් මද නොවන නිෂ්පාදිත යන කාණ්ඩ දෙකෙහිම අපනයනයන්හි යහපත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී. සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත සහ මුහුදු ආහාරවල ඉහළ අපනයන ආදායම් ද කෘෂිකාර්මික අපනයන ආදායමේ වර්ධනය සඳහා දායක විය. කෙසේ වුවද 2014 ජූනි මාසයේ දී අමුද්‍රව්‍ය ලෙස වූ රබර් අපනයනය 2013 වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 23.7කින් අඩු විය. රබර් නිෂ්පාදන කර්මාන්ත සඳහා අමු රබර් භාවිතයට ගැනීම හේතුවෙන් අඛණ්ඩව රබර් අපනයන පරිමාව අඩුවීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ප්‍රධාන රබර් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම අඩුවීම සහ නව රබර් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ඉහළ යාම තුළින් මිල අඩු වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
     
    ආනයන ක්‍රියාකාරිත්වය පිළිබඳ කතා කිරීමේ දී ප්‍රධාන වශයෙන් අන්තර් භාණ්ඩ ආනයන වියදම අඩු වීම හේතුවෙන් 2014 ජූනි මාසයේ දී ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 1,439ක් දක්වා සියයට 4.6කින් අඩු විය. සමුච්චිත වශයෙන් සැලකූ විට 2014 පළමු මාස හය තුළ දී ආනයන වියදම 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 1.2කින් සුළු වශයෙන් අඩු විය. 

    2014 ජූනි මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම පෙර වසරට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 891ක් දක්වා සියයට 7.5කින් අඩු වූ අතර ඛනිජ තෙල්, තිරිඟු හා ඉරිඟු, රත්‍රන් සහ පොහොර ආනයනයේ සිදු වූ සැලකිය යුතු අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඛනිජ තෙල් නිෂ්පාදිත ආනයන වියදම අඩුවීම සඳහා බොරතෙල් ආනයනයේ සිදු වූ සැලකිය යුතු අඩු වීම හේතු විය. තිරිඟු ආනයන වියදම පෙර වසරේ අනුරූප මාස 4 හා සැසඳීමේ දී සියයට 62කින් අඩු වූ අතර ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තිරිඟු මිලෙහි සිදු වූ ශීඝ්‍ර අඩුවීම මේ සඳහා හේතු විය. 2014 ජූනි මාසයේ දී දියමන්ති, අගනා ගල් සහ ලෝහ සඳහා වූ ආනයන වියදම ද එ.ජ. ඩොලර් මිලියන 5.6ක් දක්වා සියයට 88.6කින් අඩු වූ අතර රත්‍රන් සහ දියමන්ති ආනයන අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. 2014 ජූනි මාසයේ දී පොහොර ආනයනය පෙර වසරට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 14ක් දක්වා සියයට 54.5කින් අඩු විය. රට තුළ පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පොහොර සඳහා වූ ඉල්ලුම අඩුවීම සහ ස්වාභාවික ඛනිජ වායුවල මිල ගණන් පහත වැටීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පොහොර මිල ගණන් අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වුවද රෙදිපිළි හා රෙදිපිළි උපාංග, ප්ලාස්ටික් උපාංග, ආහාර නිෂ්පාදිත, කඩදාසි හා ඝන කඩදාසි සහ ඛනිජ නිෂ්පාදිත ආනයන වියදම් සලකා බලන ලද කාලය තුළ දී වර්ධනය විය. 


    මේ අතර 2014 ජූනි මාසයේ දී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පෙර වසරට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 277ක් දක්වා සියයට 1.2ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. සීනි හා රසකැවිලි සහ ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත වැනි ආහාර හා පාන කාණ්ඩයට අයත් ආනයනයන්හි වියදම වැඩිවීම මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. කෙසේ වුවද කිරි නිෂ්පාදිත, මුහුදු ආහාර සහ තෙල් හා මේද ආනයන වියදම් 2014 ජූනි මාසයේ දී අඩු විය. ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 7.6කින් අඩු වූ අතර බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත ආනයනය සියයට 27.1කින් සහ ගෘහ උපකරණ ආනයනය සියයට 31.1කින් අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. කෙසේ වුවද රථ වාහන, ගෘහ හා දැව භාණ්ඩ සහ රෙදිපිළි හා උපාංග ආනයනය 2014 ජූනි මාසයේ දී වර්ධනය විය.

    2014 ජූනි මාසයේ දී ආයෝජන භාණ්ඩ ආනයන වියදම එ.ජ.ඩොලර් මිලියන 270ක් වූ අතර එය 2013 ජූනි මාසයේ දී වාර්තා කළ මට්ටමට සමාන විය. මෑත කාලයේ දී භාණ්ඩ තොග ගොඩනගා ගැනීම සහ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති බොහොමයක් මේ වන විට සම්පූර්ණ වී තිබීම හේතුවෙන් ආයෝජන භාණ්ඩ ආනයන වර්ධනය ඉතා සුළු වශයෙන් සිදු විය. සන්නිවේදන උපකරණ, කාර්යාලයීය උපකරණ සහ රෙදිපිළි කර්මාන්තය ආශ්‍රිත යන්ත්‍රසූත්‍ර ආනයනය මෙම කාලපරිච්ඡේදයේ දී අඩු වුව ද ඉංජිනේරු උපකරණ, විද්‍යුත් උපකරණ, විද්‍යුත් මෝටර් රථ සහ උත්පාදක කට්ටල ආනයනයේ වර්ධනය හේතුවෙන් යන්ත්‍රසූත්‍ර සහ උපකරණ ආනයන වියදම සියයට 5.1කින් වර්ධනය විය. ප්ලාස්ටික්, රබර් සහ වීදුරු බඩු ආනයනය වර්ධනය හේතුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයන වියදම සියයට 9.0කින් වර්ධනය විය. කෙසේ වුවද ප්‍රවාහන උපකරණ ආනයනය, සියලුම උප කාණ්ඩයන්ගේ අඩුවීමත් සමඟ සියයට 40.9කින් අඩු විය.ගෙවුම් තුලනයේ සේවා ගිණුම යටතේ වන සංචාරක ඉපැයුම් 2014 වසරේ ජූලි මාසයේ දී සංචාරක පැමිණීම්, 2013 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ 107,016 සිට 133,971 දක්වා සියයට 25.2ක වර්ධනයක් වාර්තා කළේය. මේ අතර 2014 ජූලි මාසයේ දී සංචාරක ඉපැයීම් 2013 වසරේ ජූලි මාසයේ දී වූ එ.ජ. ඩොලර් මිලියන 144 සමඟ සැසඳීමේ දී එ.ජ.ඩොලර් මිලියන 193.6ක් දක්වා සියයට 34.4කින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. සමුච්චිත අගයන් සැලකීමේ දී සංචාරක පැමිණීම් 2014 වසරේ ජූලි මාසය දක්වා සියයට 24.7කින් වර්ධනය වෙමින් 861,324ක් වූ අතර මෙම කාලපරිච්ඡේදය තුළ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 1,244.4ක් දක්වා සියයට 33.9කින් වර්ධනය විය. 2014 වසරේ ජූලි මාසය තුළ සංචාරකයන් පැමිණීමේ ප්‍රධාන මූලාශ්‍ර පහ වශයෙන් ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ප්‍රංශය සහ ජර්මනිය දැක්විය හැකි අතර මාසය තුළ දී සිදු වූ මුළු සංචාරක පැමිණීම්වලින් සියයට 51කට පමණ මෙම මූලාශ්‍ර දායක වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    ගෙවුම් තුලනයේ ජංගම සංක්‍රාම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2014 වසරේ ජූනි මාසයේ දී 2013 වසරේ ජූනි මාසයේ වූ එ.ජ.ඩොලර් මිලියන 528.2 සිට එ.ජ.ඩොලර් මිලියන 585.1 දක්වා සියයට 10.8කින් ඉහළ ගියේය. ඒ අනුව 2014 වසරේ ජූනි මාසය දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණයන්හි සමුච්චිත ලැබීම් 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 3,039 සිට එ.ජ. ඩොලර් මිලියන 3,360 දක්වා සියයට 10.6ක වර්ධනයක් වාර්තා කළේය. 

    ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම 2014 වසරේ ජූනි මස අග වන විට රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම් එ.ජ. ඩොලර් මිලියන 196.5ක් වූ අතර එය පිළිවෙළින් එ.ජ. ඩොලර් මිලියන භාණ්ඩාගාර බිල්පත් සහ එ.ජ. ඩොලර් මිලියන 142.1 භාණ්ඩාගාර බැඳුම්කර වෙත වූ ශුද්ධ ලැබීම්වලින් සමන්විත විය. මේ අතර 2014 වසරේ ජූනි මාසය දක්වා දිගු කාලීන ණය ලෙස රජය වෙත වූ ලැබීම් 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 951 සමඟ සැසදීමේ දී එ.ජ. ඩොලර් මිලියන 962ක් විය. 2014 වසරේ ජූනි මාසය දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එ.ජ. ඩොලර් මිලියන 116.5 සමඟ සැසැඳීමේ දී එ.ජ. ඩොලර් මිලියන 48ක සමුච්චිත ශුද්ධ ලැබීමක් වාර්තා කළේය. කෙසේ වුවත් 2014 වසරේ අගෝස්තු මස 18 දින වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 86ක් විය. තව ද 2014 වසරේ පළමු මාස හය 
    තුළ දී බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත වූ ලැබීම් එ.ජ. ඩොලර් මිලියන 105ක් විය.

    ගෙවුම් තුලනයේ සමස්ත තත්ත්වය අනුව 2014 වසරේ පළමු භාගය තුළ දී සමස්ත ගෙවුම් තුලනය 2013 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 169.2ක හිඟයට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 1,953.6ක හිතකර අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. 

    ජාත්‍යන්තර සංචිත, 2014 වසරේ ජූනි මාසය අග වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ආසියානු නිෂ්කාෂන සංගමයේ ශේෂයන් සහිතව එ.ජ. ඩොලර් බිලියන 9.2ක මට්ටමට ළඟා වූ අතර බැංකු අංශයේ විදේශීය වත්කම් ඇතුළත්ව මුළු විදේශීය වත්කම්  එ.ජ. ඩොලර් බිලියන 10.7ක් විය. ආනයනික මාස වශයෙන් සැලකූ විට 2014 වසරේ ජූනි මස අග වන විට දළ නිල සංචිත ආනයනික මාස 6.1කට සමාන වූ අතර මුළු විදේශීය වත්කම් ආනයනික මාස 7.2කට සමාන විය. එ.ජ. ඩොලර් මිලියන 740.6ක විදේශ ණය සේවාකරණ ගෙවීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම් සඳහා වූ එ.ජ. ඩොලර් මිලියන 351ක ගෙවීම් පැවතිය ද 2014 වසරේ පළමු භාගය තුළ දී සංචිත ප්‍රමාණවත් මට්ටමක පවත්වා ගැනුණි. ස්ථාවර වර්ධනයක් පැවති දළ නිල සංචිත තවදුරටත් වඩාත් තිරසාර මට්ටමකට ළඟා වීම පිළිබිඹු කරමින් 2014 වසරේ අගෝස්තු මස ආරම්භයේ දී ආසියානු නිෂ්කාශන සංගමයේ ශේෂයන් රහිතව එ.ජ. ඩොලර් බිලියන 9 මට්ටම ඉක්මවා ගියේය.

    විනිමය අනුපාතිකයේ හැසිරීම, 2014 වසරේ මේ දක්වා (2014 අගෝස්තු මස 18 දක්වා) කාලය තුළ දී රුපියල, එ.ජ. ඩොලරයට එරෙහිව ආන්තික වශයෙන් සියයට 0.45කින් අධිප්‍රමාණ වෙමින් ස්ථාවරව පැවතුණි. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතික හැසිරීම මත පදනම්ව ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට එරෙහිව සියයට 3.50කින් ද කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 2.62කින් ද චීන රෙන්මින්බිවලට එරෙහිව සියයට 1.87කින් ද අධිප්‍රමාණය වූ අතර ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 0.99කින් ද ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.40කින් ද සිංගප්පූරු ඩොලරයට එරෙහිව සියයට 1.22කින් සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 3.79කින් ද අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya