මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය තිස්ස කරල්ලියද්ද පාර්ලිමේන්තු දිවියට වසර 20යි

    අගෝස්තු 16, 2014

    ගොවි ජනතාව අතර ඉපිද, ගොවි ජනතාව අතරම හැදී වැඩී එම ජනතාවගේ ම ආශිර්වාදයෙන්, 1994 අගෝස්තු මස 16 වෙනි දින පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන තිස්ස කරල්ලියද්ද මහතා දශක දෙකක් පුරාවට නුවර කලාවියේ අපරාජිත ජනතා හඬ බවට පත්වෙමින්, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිකැළැල් දේශපාලන චරිතයකට හිමිකම් කියන්නේ ය.


    හැත්තෑව දශකයේ සමගි පෙරමුණු රජයේ දහනම වතාවක් අගමැති ධුරයෙහි වැඩ බලමින් ද, මැදවච්චිය ආසනයේ මහජන නියෝජිතයා ලෙස නොකඩවා වසර 47ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ද ලෝක වාර්තාවකට ද හිමිකම් කී රජරට අසහාය දේශපාලන නායකයා ලෙස අදත් ජනතාවගේ ගෞරවාදරයට පත් දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතාගේ ආශිර්වාදයෙන් ජනතා සේවයට පිවිසීමට තිස්ස කරල්ලියද්ද මහතා වාසනාව උදාකරගත්තේ ය.
     

    මෛත්‍රීපාල සේනානායකයන්ගේ දයාබර සොයුරිය වූ සෝමාවතී සේනානායක මෑණියන්ගේ සහ ටී.බී. විජයරත්න කරල්ලියද්ද පියාණන්ගේ ආදරණීය පුතණුවන් වන තිස්ස කරල්ලියද්ද මහතා 1952 මැයි 10 වෙනි දින කැබිතිගොල්ලෑව කුංචුට්ටු කෝරළයේ කිවුලේකඩ නම් ගම් පියසේ දී මෙලොව එළිය දුටුවේ ය.
     

    කැබිතිගොල්ලෑව, ගෝනුහද්දෙනාව විදුහලින් මූලික අධ්‍යාපනය ලබා එවකට අනුරාධපුර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් හා වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් මෙන් ම කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සිප් නැණ ලැබීය.
     

    ගමේ වැවේ සිහිලස විඳිමින්, වෙලේ නියරේ ඇවිද යමින් නිර්ව්‍යාජ ගැමි සුන්දරත්වය උපරිම අයුරින් උකහාගත් කරල්ලියද්ද තරුණයා ගුරු ගෙදරින් සමුගත් විගසම, දහනම වතාවක් වැඩ බලන අගමැතිවරයා ලෙස කටයුතු කළ එවකට වාරිමාර්ග, විදුලිබල හා මහා මාර්ග අමාත්‍යධුරය හෙබ වූ දිවංගත මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ පුද්ගලික ලිපිකරු තනතුරට පත්විය.
     

    ඒ අනුව සිය මාමණ්ඩියගෙන් දේශපාලන ගුරුහරුකම් ලබාගනිමින් කරල්ලියද්ද මහතා 1971 – 1974 දක්වා පුද්ගලික ලිපිකරු ලෙස කටයුතු කරමින් විශාල අත්දැකීම් සම්භාරයක් ලබාගත්තේය. ඉන් අනතුරුව විශේෂ ශිෂ්‍යත්වයක් ලබා 1975 – 1976 කාලය තුළ ජපානයේ කෘෂිකර්මය පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදාකර ගත්තේය.
     

    ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ කරල්ලියද්ද මහතා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ උප වතු පරිපාලකයෙකු ලෙස සේවය කරමින් සිටිය දී 1977 ආණ්ඩු පෙරළියක් සමගින් දේශපාලන පළිගැනීමට ලක්ව රැකියාව අහිමිවිය.
     

    කෘෂිකර්ම ක්ෂේත්‍රයට කරල්ලියද්ද තරුණයා තුළ තිබූ විශේෂ ඇල්ම නිසාම එතුමා ඉන්පසු ඒ.ටී. ආරියරත්නයන්ගේ ආශිර්වාදයෙන් සර්වෝදය ව්‍යාපාරයට බැඳී වසර දෙකක් පුරාවට තණමල්විල ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකයෙකු ලෙස සේවය කළේය.


    ඉන් අනතුරුව දෙස් විදෙස්හි ඇඟලුම් ක්ෂේත්‍රයේ වසර 17ක් නිෂ්පාදන කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ කරල්ලියද්ද මහතා ඒ තුළින් පහළ ශ්‍රේණියේ සේවකයන්ගේ දුක් අඳෝනා හා අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයක් ද ලබාගත්තේ ය. ඔහු ලබාගත් එම පන්නරය මෛත්‍රීපාල සේනානායක උරුමය ලද මැදවච්චිය ජනතා මෙහෙවර ඉදිරියට ගෙනයෑමට මනා පිටිවහලක් විය.
     

    ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ මෛත්‍රීපාල සේනානායකයන්ගේ පූර්ණ ආශිර්වාදය මත 1993 අගෝස්තු 13 වන දින අපරාජිත මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට පත්වීමට වාසනාව උදාකර ගත්තේය. එතැන් පටන් ආසනය තුළ ගමින් ගමට, ගෙයින් ගෙට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හමු වී ඔවුන්ගෙන් ද ගුරුහරුකම් ලබාගනිමින් නැවුම් දේශපාලන පන්නරයක හිමිකම ලබාගත් කරල්ලියද්ද මහතා 88/89 භීෂණ සමයේ පවා සිය දේශපාලන සගයන් සමඟ එක්ව ගමින් ගමට ගොස් ශාඛා සමිති පිහිටුවමින් පක්ෂය ශක්තිමත් කිරීමට දිවි පරදුවට තබා කටයුතු කළේ ය.
     

    එහි ප්‍රතිඵලයක් ලෙස 1994 දී එතුමන් මුහුණ දුන් කුළුදුල් මහ මැතිවරණයෙන් 44000ක් වූ අනුරාධපුර ජනතා ආශිර්වාදයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට තේරීපත් විය.
     

    අනතුරුව 2000, 2001 සහ 2004 යන සියලු මහ මැතිවරණ වලින් ද සිය මාමණ්ඩියගේ අපරාජිත කීර්ති නාමය යළි යළිදු තහවුරු කළ කරල්ලියද්ද මහතා, 1999 ජූලි 04 දා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබීය.
     

    එමෙන්ම 2000 ඔක්තෝබර් 10 වෙනි දින දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස වෙන් කෙරුණු අතර කරල්ලියද්ද මහතා එහි ප්‍රථම අමාත්‍යවරයා වීමේ වරම උදාකර ගත්තේය.
     

    අනතුරුව 2004 අප්‍රේල් මස නැවතත් දේශීය වෛද්‍ය අමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ හෙතෙම 2005 ජුනි මස දේශීය වෛද්‍ය අමාත්‍ය ධූරයට අමතරව ඉඩම් අමාත්‍ය ධූරය ලබාගැනීමට වාසනාව හිමිකර ගත්තේය.
     

    කෙසේ වුව ද එම වර්ෂයේ ම දෙසැම්බර් මස දේශීය වෛද්‍ය හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්වන කරල්ලියද්ද මහතා 2007 වසරේ ජනවාරි මස පැවති කැබිනට් සංශෝධනයේ දී නැවතත් දේශීය වෛද්‍ය කැබිනට් අමාත්‍යවරයා වීමේ භාග්‍ය උදාකර ගත්තේය. ඒ තුළින් අපගේ පාරම්පරික වෙදකම රැකගැනීමටත්, ක්ෂේත්‍රය තුළ රැකියා දහස් ගණනක් බිහිකිරීමටත් අති සාර්ථක නව වැඩසටහන් රාශියක් ඇරඹීය.
     

    මෙරට බොහෝ ජනතා නියෝජිතයන් ජනතාව අතර කෙතරම් ජනප්‍රිය වුවද මැතිවරණ හත අටකට මුහුණ දෙන විට එම ජනප්‍රියත්වය අඩුවීම සාමාන්‍ය තත්ත්වයකි. එනමුත් කරල්ලියද්ද මහතා පිළිබඳ අනුරාධපුර ජනතාවගේ විශ්වාසය හා ඔහු කෙරෙහි ඇති බැඳීම මැතිවරණයෙන් මැතිවරණයට දෙගුණ තෙගුණ විය. එයට  නියම උදාහරණය වන්නේ 2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් එතුමා සිය දේශපාලන දිවියේ ලබාගත් වැඩිම ජනතා ආශිර්වාදය ලෙස 55000කට අධික මනාප ප්‍රමාණයක් ලබාගැනීමයි.
     

    එහි ප්‍රථිඵලයක් ලෙස 2010 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් තිස්ස කරල්ලියද්ද මහතා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය ධූරය ලබාගන්නේ දේශයේ වටිනාම සම්පත වූ ළමා පරපුරේ හෙට දවස ආලෝකමත් කරමින් ද, ජාතික ආර්ථිකයට අසමසම මෙහෙයක් ඉටුකරන මෙරට ජනගහණයෙන් බහුතරයක් වූ කාන්තාවන්ගේ දුක්ඛ දෝමනස්සයන් හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යොදමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමේ භාරධූර වගකීම ද සමගිනි.
     

    ඒ අනුව එම අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ළමා ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන හරහා මේ රටේ අනාගත භාරකරුවන් වන දූ දරුවන් හට සිදුවන  හිංසනයන් අපයෝජනයන් දුරලීමට යුහුසුළුව කටයුතු කළේය. ඒ අනුව ළමා අපයෝජන හා හිංසන පිළිබඳ දැනුම් දීමට දවසේ 24 පැය පුරා ක්‍රියාත්මක 1929  “ළමා උපකාරක දුරකතන සේවාවක්” ස්ථාපිත කර ඊට අවශ්‍ය සියලු ම  භෞතික හා මානව සම්පත් ලබා දී වඩාත් ඵලදායී මෙන්ම ප්‍රායෝගික වැඩසටහනක් ලෙස එය ආරම්භ කිරීමට තිස්ස කරල්ලියද්ද අමාත්‍යවරයා පුරෝගාමීව කටයුතු කළේය.
     

    මීට අමතරව කාන්තාවන් වෙනුවෙන් ද 1938 ලෙස කඩිනමින් කාන්තා හිංසන පිළිබඳ දැනුම් දීමට “කාන්තා උපකාරක දුරකතන සේවාවක්” ආරම්භ කිරීමට ද කටයුතු කළේය.
     

    මේ අයුරින් කාන්තාවන් සහ දරුවන්ට සිදුවන විවිධ වූ හිංසනයන් වැළැක්වීමටත්, එවැනි හිංසනයන් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති උපරිම අයුරින් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය කරල්ලියද්ද මහතා වහා පියවර ගත්තේ ය. එසේම කාන්තා හා ළමා හිංසා වැළැක්වීමට එතෙක් පැවති යල්පැනගිය නීති වෙනුවට නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අදාළ අංශ වෙත පෙන්වාදෙමින් සිය අමාත්‍ය ධූරයේ වගකීම උපරිම අයුරින් වටහා ගෙන කටයුතු කරමින් සිටී.
     

    1990 වර්ෂයේ විවාහ දිවියට එළඹෙන තිස්ස කරල්ලියද්ද මහතා ආදරණිය දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. එමෙන්ම එකම කාන්තා නියෝජනය ලෙස උතුරු මැද පළාත් සභාවේ සිටින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද මහත්මිය අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ දයාබර වැඩිමහල් සොයුරියකි. වයස අවුරුදු 5ක් පමණ තරම් ලාබාල වියේදීම එතුමන්ට මව් සෙනෙහස අහිමි වූ අතර ඉන්පසු සොයුරියන්ගේ ආදරය කරුණාව මෙන්ම මෛත්‍රීපාල සේනානායක මහතාගේ ආරක්ෂාව හා සෙනෙහස යටතේ කරල්ලියද්ද මහතා හැදී වැඩුණේය.

     
    විශේෂයෙන් කල්යානි කරල්ලියද්ද මහත්මිය මවක් මෙන් අද පවා එතුමන්ගේ දුක සැප සොයමින් දේශපාලන ගමන් මගටද මහත් අත්වැලක් සපයන්නීය. අමාත්‍ය කරල්ලියද්ද මහතාට දේශපාලන වශයෙන් පැමිණි විවිධ ගැටලු අභයෝග හමුවේ ඔහුට ශක්තිය ධෛර්යය මෙන්ම සැනසීම ලබාදුන්නේ කල්යානි කරල්ලියද්ද සොයුරියයි.
     

    2000 වර්ෂයේ මැදවච්චිය මැතිවරණ වේදිකාවට ඇතුළු වී මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් ඇතුළු එවැනි අවස්ථා හතරකින් දිවි බේරාගැනීමට කරල්ලියද්ද මහතාට වාසනාව තිබිණි. එහෙත් යුද ගිනිදැල් ඇවිළී ගිය සමයේ පවා ආරක්ෂක අංශයන්ගේ උපදෙස් පවා නොතකා, තර්ජිත ගම්මාන වෙත දිවා රෑ නොබලා ගොස් එම ජනතාවගේ අවශ්‍යතා සොයා බැලුවේය. ඒ කෘතගුණ දන්නා ජනතාව අදටත් එම සේවාවන් හා උදව් උපකාර සිහිපත් කරති. විශේෂයෙන් එතුමන් දශක දෙකක් පුරාවට අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කරනුයේ ද ඒ කෘතගුණ දන්නා ජනතාවගේ අමිල ආශිර්වාදයෙනි.
     

    කොතරම් පදවි තානාන්තර දැරුව ද කරල්ලියද්ද මහතා තුළ උතුරා යන මානව හිතවාදී බව හා රජරට ගැමිකම අදටත් නොනැසී පවතී. නිරහංකාරකම, නිහතමානී ගුණය, අල්පේච්ඡ දිවිපැවැත්ම හා අපේකම ගමේකමට පෙම් බැඳි සැබෑ ගැමිකම ඔහුට නිරන්තර ආභරණයක් සේ පවතී.
     

    කුමන උසස් තනතුරුවලට පත්වුව ද හමුවන සෑම අයෙකුටම ලෙන්ගතු වදනින් ඇමතීමේ  නුවර කලාවියේ ගැමි උරුමය ඔහු තුළින් කිසිදා බැහැර නොවීය. දේශපාලන ක්ෂේත්‍රයේ වුව ද නායකත්වයට, ජ්‍යෙෂ්ඨත්වයට ගරු කිරීමේ මාහැඟි ගුණයෙන් යුත් තිස්ස කරල්ලියද්ද මහතා දේශපාලන නවකයින්ට මනා පූර්වාදර්ශයකි.
     

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ උදාර සංකල්පයක් ලෙස ඇරඹි ගම නැඟුම, මග නැඟුම, ජාතික සවිය, දැයට කිරුළ, දිවි නැඟුම වැනි සංවර්ධන ව්‍යාපෘති  මගින්  අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයේ ගම්මානවල යටිතල පහසුකම් නැංවීමට අපමණ වෙහෙසක් ගෙන කටයුතු කළේය.
     

    විශේෂයෙන් ජනපතිතුමන්ගේ ආශිර්වාදයෙන් මෑතක දී මැදවච්චිය ආසනයේ සංවර්ධනය වෙනුවෙන් ලැබුණ රුපියල් මිලියන 400කට අධික මුදල සඳහා අවශ්‍ය යෝජනා ලබාගැනීමට කුසගිනි පවා නොතකා ගමින් ගමට ගොස් අවශ්‍ය කටයුතු කළේය.
     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ඇප කැප වී කටයුතු කරන අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙන්ම විශේෂයෙන් ජනාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් වූ වාර අපමණය. එමෙන්ම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පවරන ඕනෑම කටයුත්තක් නොපිරිහෙළා ඉටුකරමින් පක්ෂ නායකත්වයේ ඇගයීමට ද ලක්ව සිටී.
     

    2005 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ මෙන් ම 2001 වසරේ පරිවාස ආණ්ඩුව පිහිටුවීමටත්, සිය කැබිනට් අමාත්‍යධුර පරිත්‍යාග කිරීම තුළින් එතුමන්ගේ නිර්ලෝභීභාවය මෙන්ම පදවි තානාන්තරවලට වඩා රට ගැන සිතා කටයුතු කිරීමේ ගුණය පෙන්නුම් කරයි.
     

    රටට මෙන්ම රජරටට අමිල මෙහෙයක් කළ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර විස්සක් පිරීම නිමිත්තෙන් මේ මස 30 වන දින අනුරාධපුර සමූපකාර ශ්‍රවණාගාරයේ දී උපහාර උත්සවයක් පැවැත්වීමට අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කටයුතු කර ඇත.
     

    මීට සමගාමීව එතුමන්ට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් රාශියක් ද සංවිධානය කරඇත.
     

    වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම නියම ජනතා නියෝජිතයෙකු ලෙස ජනතාවගේ වුවමනාවන්, හැඟීම්, දුක් කම්කටොළු නිසි ලෙස වටහාගත් ගමට පෙම් බැඳි ගමේ සුවඳට ලෙන්ගතු තිස්ස කරල්ලියද්ද ඇමතිතුමන් අඩසිය වසක අපරාජිත සිය මාමාණ්ඩියගේ පොදුජන සේවා වාර්තාව දෙගුණ කරමින් ඉදිරි කටයුතු කරනු නොඅනුමානය. පාර්ලිමේන්තු දිවියේ විසි වස සමරන එතුමන්ට යහපත් ලෙස සිදුකරන ජනතා සේවාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අවැසි ශක්තිය ධෛර්ය මෙන් ම උතුම් වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


    මාධ්‍ය අංශය
    - කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya