Print this page

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා සීමා කිරීමට නව නීති ගෙන එනවා - මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය

අගෝස්තු 03, 2018

දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහත ඒ සඳහා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් කීය.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ණය බරෙන් මිරිකී සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය දා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමේ නිල උත්සවයට එක්වෙමිනි. උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහි දී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 40% සිට 220% දක්වා මට්ටමක පවතී. දිවයිනේ දිස්ත්‍රික්ක 13කට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් මෙම ක්ෂද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබා ගැනීම වැඩි වී ඇත. එබැවින් රුපියල් ලක්ෂයකට අඩු මුදලක් එසේ ලබාගෙන ඇති එම දිස්ත්‍රික්කවල ජනතාවගේ මුදල් කපා හැරීමටත්, ඒ වෙනුවෙන් වූ පොලිය ගෙවීමටත් අප අද සිට කටයුතු කිරීමට සූදානම්. මෙහි සාර්ථකත්වය අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙවැනි ණය උගුල්වල සිරවී සිටින ජනතාවට ද සහන සැලසීම රජයේ අපේක්ෂාවයි. එසේ ම මේ තත්ත්වය වැලැක්වීම සඳහා ලබන අගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල පොලී අනුපාත 30%ක උපරිමයකට යටත් වන යෝජනාවක් ද මම ඉදිරිපත් කිරීමට සූදානම්. ඒ අනුව එම පනතට අවශ්‍ය සංශෝධන රැගෙන ඒමට කටයුතු කරන බව ද කීමට කැමැතියි. කිසියම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් එම නීති රීති අනුව කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට සූදානම් බව ද හෙතෙම කියා සිටියෙ ය. එසේ ම මෙම ප්‍රදේශවල සාර්ථකව ක්‍රියාත්මක වූ සමූපකාර ක්‍රමය ද යළි ක්‍රියාත්මක කිරීම සූදානම් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂවරන්, මාවෙයි සේනාධිරාජා යන මහත්මහත්මීහු සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එච්. සමරතුංග මහතා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.