අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන අවම කරමු

    ජූලි 18, 2014


    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමස්ත ශී‍්‍ර ලාංකේය ළමා පරපුර සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කිරීමේ අභියෝගාත්මක මෙහෙවරෙහි නිරතව සිටී.


    දැයේ දරුවන් සියලු ම ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා අධිකාරිය විසින් වැඩසටහන් රැසක් වර්තමානය වන විට කි‍්‍රයාත්මක කර තිබේ. කෙසේ නමුත් දරුවන් අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට නම් අපයෝජකයා ඔවුන්ට ප‍්‍රවේශ වන මාර්ග අහුරා දැමිය යුතුමය.


    සන්නිවේදනයේ නිම් වළලු පුළුල් වීමත් සමඟ අන්තර්ජාලයද ජනතාවට ක‍්‍රමිකව සමීප වී ඇත. නමුත් භයානකම කාරණය වන්නේ ඇතැම් පිරිස් මෙකී අන්තර්ජාලය හරහා දරුවන් ලිංගික හා මානසික අපයෝජනයට ලක් කිරීමට උත්සහ ගැනීමය. මෙය වර්තමානය වන විට ප‍්‍රබල ලෙස උත්සන්නව පවතින ගැටලුවක් හෙයින් ඒ පිළිබඳ අවධානය යොමුකර දැයේ දරුවන් ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එකාවන්ව පෙළ ගැසීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

    අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන

    අන්තර්ජාලයේ ඇති සියලු දේ නොගැළපෙන අයහපත් දේ නො වේ. එමගින් අධ්‍යාපනයට ලබා දීම, විශ්ව ව්‍යාප්තව තොරතුරු සම්පේ‍්‍රෂණය, විනෝදාශ්වාදය ලබා දීම, සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුද්ගල සම්බන්ධතා ගොඩනැගීම වැනි බොහෝ දේ සිදුවේ.


    කෙසේ නමුත් අන්තර්ජාලයේ ඇති ඇතැම් දේ ළමා ජීවිතවලට සිදු කරන්නේ විශාල හානියකි. ගම් තුළ ඇති සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දරුවන් අපයෝජනයට ලක්වන අවස්ථා අප බොහෝ සෙයින් දැක ඇත. ඇතැම් විට සිසු ජීවිතද බිලිගෙන ඇත. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හඳුනාගන්නා පුද්ගලයින් මගින් ළමයින් අපයෝජනය වීම වර්තමානය වන විට ප‍්‍රබලව දක්නට ලැබෙන කරුණක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ තොරතුරු රැසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකයටද වාර්තා වී ඇත. එමෙන්ම අන්තර්ජාලය තුළ පවතින අසභ්‍ය ප‍්‍රකාශන ළමයින්ට පෙන්වීම තුළින්ද ඔවුන්ව අපයෝජන කාර්යන් සඳහා යොදාගැනීමට ඇතැම් පුද්ගලයන් උත්සහ ගනී. එම තත්ත්වයන් වළක්වාලීමට කටයුතු කිරීම ඔබ අප සැමගේ වගකීම මෙන්ම පරම යුතුකමක්ද වේ.

    අන්තර්ජාලය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ආවේක්ෂණයට අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන අවම කිරීම සඳහා අන්තර්ජාල ආවේක්ෂණ  විශේෂ ඒකකයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ පිහිටුවා ඇත.Face Book වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ළමයින් අපයෝජනය කරන පුද්ගලයින් සොයා මෙම ආවේක්ෂණ ඒකකයේ කටයුතු ක‍්‍රියාත්මක වේ.

    එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගැනීමද මෙමගින් සිදුකෙරේ. ඒ මගින් අධිකාරිය බලාපොරොත්තු වන්නේ ශී‍්‍ර ලංකාව තුළ අන්තර්ජාලය හරහා ළමුන් අපයෝජනය වීම වැළැක්වීම, අන්තර්ජාලය ඔස්සේ දරුවන් අපයෝජනයට ලක්කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම, ශ‍්‍රී ලංකාව තුළ අන්තර්ජාලය හරහා දරුවන් අපයෝජනයට ලක්කළ හැකි යැයි යන විශ්වාසය බිඳහෙලීමේ මග, අන්තර්ජාලය හරහා ළමයින්ට අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ මුදාහැරීම වැළැක්වීම, ශී‍්‍ර ලංකාව තුළ ක‍්‍රියාත්මක අසභ්‍ය අන්තර්ජාල වෙබ් අඩවි හඳුනා ගැනීම සහ එම තොරතුරු නීතිමය කටයුතු සඳහා යොමු කිරීම ආදියයි.


    මේ වන විට අන්තර්ජාලය හරහා ළමුන් අපයෝජනයට ලක් කිරීමට උත්සහ කළ පුද්ගලයන් 07 දෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකයේ විමර්ශන කටයුතුවලින් අනතුරුව අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
     

    එමෙන්ම අන්තර්ජාලය හරහා ළමයින් අපයෝජනය කිරීමට උත්සහ කරන පුද්ගලයින් 2500කට අධික පිරිසකගේ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු වේ. ඔවුන් පිළිබඳවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන කටයුතු සිදු කරමින් සිටි.

     

    අන්තර්ජාලය හරහා ළමා අපයෝජන සිදු කළහොත් වසර 10ක සිර දඩුවමක්.
     

    2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනතේ 360 (ඉ) වගන්තියට අනුව ලිංගිකව අපයෝජනය කිරීමේ කාර්යය සඳහා ළමයෙකු පොළඹවා ගැනීමට ඇවිටිලි කරන ඕනෑම තැනැත්තෙකුට එරෙහිව අවුරුදු 10කට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයක් නැතහොත් එම දඬුවම් දෙකම ලබා දිය හැක.


    1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග‍්‍රහය (සංශෝධන) පනතේ 286 (අ) වන වගන්තියට අනුව ළමයින්ට අදාළව අසභ්‍ය පළකිරීම් හා ප‍්‍රදර්ශන ආදිය සිදුකරන  ඕනෑම තැනැත්තෙකුට එරෙහිව අවුරුදු 2 කට නොඅඩු හා අවුරුදු 10ක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් සිදු කළ හැක. තවද එම තැනැත්තාට දඩ මුදලක්ද ගෙවීමට සිදුවේ.
     

    අන්තර්ජාලය තුළ පවතින Face Book වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ළමයින්ව අපයෝජනය කරන හා අපයෝජනය සඳහා පොළඹවන තැනැත්තන්ට එරෙහිව ඉහත පනත් 02 කට අදාළව ඉහත පරිදි දඬුවම් නියම කළ හැක.

     

    අන්තර්ජාලය භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක‍්‍රම -

    වර්තමානයේ ළමුන්ගෙන් බොහෝ දෙනෙකුට පරිගණක භාවිත කළ හැකිය. අන්තර්ජාලය අගනා තොරතුරු මුලාශ‍්‍රයක් වුවත් මෙය ළමා අපයෝජකයන්ට ළමුන් සහ නව යෞවනයන් සම්බන්ධ කරගැනීමට මාධ්‍යක්ද මග සලසන මාධ්‍යක් ලෙසද සලකනු ලබයි.ඔබගේ දරුවා අන්තර්ජාලයේ බොහෝ වේලාවක් ගත කරයිද? ඔහු ඔබ පරිගණකය අසලින් යන විටදී පරිගණකයේ තිරය හදිසියේ වෙනස් කරන්නේද යනාදී කරුණු පිළිබඳව වගකිවයුතු දෙමාපියකු ලෙස ඔබ ඉතා සැලකිලිමත් විය යුතුය.

    ළමුන් අන්තර්ජාල භාවිතය අධීක්ෂණය කරන්න.පරිගණකය පවුලේ සියලු දෙනාම ගැවසෙන පොදු ස්ථානයක තබන්න.

    අන්තර්ජාලය තොරතුරු ලබාගැනීමට සහ ඉගෙනීමට මහඟු අවස්ථාවන් සලසන බවත් නමුත් සැබෑ ලෝකයේ මෙන්ම එයට ආවේණික වු අනතුරු දායක තත්ත්වයන් ඇති බවත් ඔබගේ ළමුන්ට උපදෙස් දෙන්න.

    කිසිදු අවස්ථාවකදි නම, පාසලේ නම, දූරකතන අංකය යනාදී තොරතුරු බාහිර පුද්ගලයන්ට ලබා නොදෙන ලෙසත්, කිසිවිටක තම ඡායාරූපය සමාජ ජාලයන්ට ඇතුළත් නොකරන ලෙසටත් ළමුන්ව දැනුවත් කරන්න.

    සමාජ ජාලයන් හා සම්බන්ධ වු නව යෞවනයන්ට ඇති වූ ගැටලු හා එහි ප‍්‍රතිවිපාක පිළිබඳවත් ඔබගේ ළමුන්ට පහදා දෙන්න.

    නොහඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන පණිවිඩ හෝ ඡායාරූප විවෘත කර බැලීම හෝ ප‍්‍රතිචාර දැක්වීම නුසුදුසු බවත්, එය අනතුරු දායක විය හැකි බවත් දරුවාට පවසන්න. එමෙන්ම එවැනි දේ ඔබට පවසන ලෙසටත් දරුවාට උපදෙස් දෙන්න.අන්තර්ජාලය හරහා සම්බන්ධ වන පුද්ගලයන් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන පුද්ගලයා නොවිය හැකි බව පවසන්න. ඇය වයස අවුරුදු 12ක ගැහැණු ළමයෙක් බව පවසන තැනැත්තෙක් ළමා අපයෝජනයකට සැරසෙන වැඩිහිටියෙක් විය හැකි බවද දරුවාට හොදින් අවබෝධ කර දෙන්න.

    අන්තර්ජාලය හරහා ළමා අපයෝජන සිදුවේ නම් නොපමාව දැනුම් දෙන්න.
     

    අන්තර්ජාලය හරහා ළමා අපයෝජනයන් සිදුවන්නේ නම් නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ අංශ දැනුවත් කිරීමට නොපමාව කටයුතු කිරීම රටවැසි සියලු දෙනාගේ යුතුකමකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අදාළ තොරතුරු කඩිනමින් ලබා දීම 1929 ශ්‍රී ලංකා ළමා දූරකතන සේවය ඔස්සේ සිදු කළ හැකිය.


    සිංහල, දෙමළ සහ ඉංගිසි යන ත්‍රෛභාෂාවන්ගෙන් 24 පැය පුරා කියාත්මක මෙම ක්ෂණික දූරකතන අංකයට අදාළ පැමිණිලි සිදුකිරීම සඳහා ඔබට කිසිදු මුදලක් වැය නො වේ.ඊට අමතරව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයටද අදාළ ළමා අපයෝජන පිළිබඳව පැමිණිලි කළ හැක.

    එමෙන්ම මෙවැනි සිදුවීම් පිළිබඳව දිවයිනේ  ඕනෑම පොලිස් ස්ථානයකටද පැමිණිලි සිදු කළ හැක.
     
    අනෝමා දිසානායක ( ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති)

    සැකසුම: එනූෂා බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya