Print this page

“තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගති සමලෝචනය

ජූලි 11, 2018

බස්නාහිර පළාතට අදාළ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම 2018 ජූලි මස 6 වන දින (සිකුරාදා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජික, රනෙල් ටී. විජේසිංහ මහතා, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සී. අමරසිංහ මහතා ඇතුළු ලංකා බැංකුවේ නිලධාරීන් පිරිසක් ද, බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය , මධ්‍යම වැඩසටහන් කලමනාකරණ ඒකකය සහ ප්‍රතිපත්ති සංවර්ධනය කාර්යාලය නියෝජනය කරමින් තෝරා ගත් නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගී විය.

අවුරුදු 3 කට නොඅඩු කාලයක් පවත්වාගෙන යනු ලබන තම ව්‍යාපාරය ව්‍යාප්ත කර , ස්ථාවර කර ගැනීම සඳහා යොවුන් ව්‍යවසායකයින් හට, රුපියල් ලක්ෂ 2 ක් දක්වා ඇප කරුවන් නොමැතිවත්, රුපියල් ලක්ෂ 5 ට ඉහල ණය මුදලක් සඳහා ලිහිල් ඇප කරුවන් යටතේ ද ණය ලබා ගැනීමට හැකි වන පරිදි මෙම ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව විසින් සකසා ඇත.
ඉහත සඳහන් නිලධාරීන්ට අමතරව, ක්ෂේත්‍ර නිලධාරීන් යොදා ගනිමින් මෙම ණය යෝජනා ක්‍රමයට සුදුසු ව්‍යවසායකයින් හඳුනාගැනීම උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විශේෂ කාර්ය භාරයක් ඉටු
කරයි. මෙම ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යාපාර සැලසුම් ලංකා බැංකු ශාඛා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ය.

“තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීම සඳහා පහත සඳහන් ව්‍යවසායකයින් සුදුසුකම් සපුරාලිය යුතුය.

 වයස අවුරුදු 35 ට අඩු වීම,
 උපාධියක්/ඩිප්ලෝමාවක්/ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) III/ විදාත වැනි සුදුසුකමක් ලබා තිබීම,
 ව්‍යාපාර ලියාපදිංචිය/ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව,
 පසුගිය අවුරුද්දක කාලය තුල/ පසුගිය මාස 12 තුල සහතික කළ ගිණුම් ඉදිරිපත් කිරීමට හැකි වීම සහ
 පිළිගත හැකි ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කිරීම

“තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය සමාලෝචනය, මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.

ප්‍රථමයෙන්ම, “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය පිළිබඳ හැඳින්වීමක්, එහි අරමුණු සහ මෙයින් මෙරට යොවුන් ව්‍යවසායකයින් සඳහා වන ප්‍රතිලාභ පිළිබඳව සභාපතිතුමා විසින් සභාවට ඉදිරිපත් කරන ලද අතර මෙම ජාතික කර්තව්‍ය වෙනුවෙන් මූලිකත්වය ගැනීම පිළිබදව ලංකා බැංකුව වෙත සිය විශේෂ ස්තූතිය ද ප්‍ර‍කාශ කරන ලදී.

ඉහත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ගැටළු පිළිබඳව සභාවට ඉදිරිපත් කරන මෙන් රැස්වීම අමතමින් ලංකා බැංකුවේ සභාපති තුමා ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවේදී රැස්ව සිටි නිලධාරීන් විසින් තමන් මුහුණ දෙන ගැටළු සභාවට ඉදිරිපත් කළ අතර, මෙම ගැටළු සඳහා විසඳුම් ද වගකිවයුතු නිලධාරීන් විසින් ලබා දෙන ලදි. එමෙන්ම මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් වන යෝජනා කිහිපයක්ද සභාව වෙත ඉදිරිපත් විය. අවසානයේදී,“තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සභාවට ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාවට අනුව, පහත සඳහන් කරුණු අනාවරණය විය.


 සකසා ඇති ව්‍යාපාර සැලසුම් ගණන - 65
 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ඇති ව්‍යාපාර සැලසුම් ගණන - 31
 ලංකා බැංකුව වෙත භාර දී ඇති ව්‍යාපාර සැලසුම් ගණන - 03
 ලංකා බැංකුව මඟින් ලබා දී ඇති ණය සංඛ්‍යාව - 02

මෙම රැස්වීම 2018 සැප්තැම්බර් මස 28 වන දින නැවත කැඳවීමට නියමිතය. එහිදී මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය තව දුරටත් සාකච්ඡා කරනු ඇත. අනෙකුත් පළාත් වල මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම් ඉදිරි දෙමස තුළ පැවැත්වීමට නියමිතව ඇත. මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර විස්තර දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හා ප්‍රාදේශීය කාර්යාල වලින් ලබා ගත හැක.