අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමයෙන් පිබිදෙන අලුත්ගම, බේරුවල සහජීවනය

    ජූලි 11, 2014

    වෛරයෙන් වෛරය නොසන්සිඳේ. මෛත්‍රීයෙන් වෛරය ජයගත යුතුය.

    සියලු ම ආගම්වලින් පසක් කර දෙනුයේ සාමය යි. සහජීවනය යි.


    අද එම තත්ත්වය එදා නොසන්සුන් වූ අලුත්ගම -බේරුවල ප්‍රදේශ හරහා ගමන් කරන්නෙකුට මැනවින් දැක ගත හැකි වනු ඇත. වෛරයේ ගිනිදැල් අද නිවී යමින් එහි සහජීවනයේ රැස් කැන් දසත විසිරෙමින් පවතී. පන්සලත් පල්ලියත් එක්ව මේ සඳහා මාවත සකස් කරමින් පවතී.
    ඇති වූ නොසන්සුන් විනාශකාරී පසුබිම නැති කොට සංහිඳියාව ගොඩ නැංවීමට මෙම ප්‍රදේශ තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පෙරමුණ ගෙන ඇත. පොලීසියේ විශේෂ කාර්ය බලකාය මෙම ප්‍රදේශ තුළ ආරක්ෂාව පිළිබඳ සියලු ම කටයුතු දියත් කරන අතරතුර විනාශයට පත් නිවාස දේපළ යළි යථාවත් කිරීමට ත්‍රිවිධ හමුදාවම පෙළ ගැසී ඇත.

     

    2014 06 28 main-photonsp 211

    පසුගිය ජූනි 27 දින විනාශයට පත් ස්ථාන ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාව මගින් ආරම්භ කළ අතර, ජූනි 30 වැනි දින සිට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාළ භට පිරිස් යොදවනු ලැබ ඇත.අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල පසුගිය දිනවල හටගත් සිදුවීමෙන් විනාශ වූ නිවාස හා දේපළ නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ වීමත් සමඟ ම එම කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය (30) වනදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපතිතුමන් එහිදී විනාශයට පත් දේපළ හා එම ප්‍රදේශයේ ජනතාව හමුවී ඔවුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, අදාළ නිලධාරීන් වෙත මෙම ප්‍රදේශ කඩිනමින් ගොඩනැංවීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

     

    beruwala2
    ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත සියලු ම අලුත්වැඩියා වගේ ම ඉදිකිරීම් කටයුතුත් ක්‍රියාවට නැංවේ. බේරුවල, අලුත්ගම, වැලිපැන්න ප්‍රදේශවල ප්‍රධාන පල්ලි, පන්සල් බාරව සිටින මවුලවි තුමන්ලා නායක හාමුදුරුවරුත් අතර සාකච්ඡා පවත්වා දෙපාර්ශවය අතර සංහිඳියාව ඇති කිරීමට පියවර ගෙන ඇත.

    විනාශයට පත් මෙම ප්‍රදේශ ගොඩනැගීමේ නියමුවා ලෙස කටයුතු කරනුයේ  බටහිර ප්‍රදේශ බාර ආඥාපති මේජර් ජෙනරාල් උභය අනිල් බණ්ඩාර මැදවල මහතායි.මෙම ප්‍රදේශ ගොඩනැංවීම භාරව සිටින මැදවල  මහතා පැවසුවේ, “අපි මේ රාජකාරිය බාරගත්තේ 16 වැනිදා. බේරුවල අලුත්ගම, දර්ගා ටවුන්, සීනාවත්ත, වැලිපිටිය, පුවක්වත්ත, වැලිපැන්න වැනි ප්‍රදේශවල අපේ නිලධාරීන් ස්ථාපනය කරලා අවට ප්‍රදේශවල ආරක්ෂාවට කඩිනම් විසඳුමක් දුන්නා. ඊට අමතරව කළුතර, බෙන්තර, ඇල්පිටිය, ගාල්ල, අහුන්ගල්ල, මතුගම වගේ සෑම ස්ථානයකම යුද හමුදාව ස්ථාපනය කළා. මීට අමතරව ප්‍රචණ්ඩකාරි පිරිස් පැමිණීම වැළැක්වීමට බල සේනාංකයක් හැටියට මාත් සේනාධිපතිවරුනුත් කටයුතු යෙදුවා. 


    ප්‍රචණ්ඩකාරීන් සිටින ස්ථාන හඳුනාගෙන ඒ පිරිස්වලට ආමන්ත්‍රණය කරලා මෙහි කිසිදු ප්‍රතිඵලයක් නැති බව සිංහල මුස්ලිම් දෙපාර්ශවයටම කරුණු අවබෝධ කරලා ඒ තුළින් සාමය සංහිඳියාව ඇති කරන්න ක්‍රියා කළා. ඒත් එක්කම සුළු සුළු සිද්ධීන් නැවතුණා. කිසියම් හානිකර ක්‍රියාවන්ට යොදා ගැනීමට ඉඩකඩ තිබු විවිධ ආම්පන්න සොයා ගැනීමට ද අපිට හැකිවුණා. ඒ තුළින් ප්‍රදේශ තුළ තිබුණු සාමකාමීත්වය නැවත වර්ධනය වුණා.”


     නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා යුද හමුදාවෙන් කණ්ඩායම් 7ක් ගුවන් හමුදාවේ කණ්ඩායම් 3ක් නාවික කණ්ඩායම් 3කුත් නිලධාරීන් 15ක් සමඟ සම්පූර්ණ භට පිරිස් 1500ක් මේ වෙනුවෙන් යොදවා ඇත.

     ගුවන් හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ ව්‍යාපාරික ගොඩනැගිලි වන අතර, ඒ අනුව අලුත්ගම මතුගම මාර්ගයේ (දර්ගා නගරයේ) කඩ සාප්පු 12ක්, බෙන්තොට පාලමේ සිට අලුත්ගම නගරය දෙසට කඩ සාප්පු 15ක් හා දුම්රිය ස්ථාන, මාර්ගයේ කඩ සාප්පු 06ක් ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.
     
    17
     

    අලුත්වැඩියා කටයුතු තත්ත්වයන් දෙකක් අනුව තක්සේරු කර ඇති අතර ඒ අනුව රුපියල් 50000 දක්වා වූ අලුත්වැඩියා කටයුතු සුළු අලුත් වැඩියාකිරීම් (Minor repairs ) සහ රුපියල් 50,000ට වැඩි ඒවා විශාල අලුත් වැඩියාකිරීම් (Major Repairs) වශයෙන් හඳුනාගෙන කටයුතු කරනු ලබයි. ඒ යටතේ සුළු අලුත්වැඩියාවන් කඩ සාප්පු 25ක් හා නිවාස 135ක් හඳුනාගෙන ඇත. ඉන් ඔබ්බට ගිය විශාල ප්‍රමාණයේ අලුත් වැඩියාකිරීම් සඳහා කඩ සාප්පු 38ක් හා නිවාස 75ක් හඳුනාගෙන ඇත.

     

    යුධ හමුදා සහ නාවික හමුදා භටපිරිස්වලට අමතරව ගුවන් හමුදාව වෙතින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නිලධාරීන් 2 දෙනෙකු හා සෙසු නිලයින් 116 දෙනෙකු යොදවා ඇත.


    බස්නාහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උභය මැදවල මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ මණ්ඩල 3ක් පත් කර ඇති අතර, මෙම ප්‍රතිසංස්කරණයන් සඳහා ටික කාලයක් ගතවන බැවින් හමුදා ක්‍රමවේදයනට අනුව මෙහි වැඩකරන හමුදා සාමාජිකයිනට ප්‍රතිසංස්කරණයන් නිමවෙන තුරු නැවතීම සඳහා තාවකාලික කඳවුරක් ස්ථාපිත කර ඇති බවත් එහි ඉදිකිරීම් පිළිබඳව අදහස් දැක් වූ යුධ හමුදා මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව හඳුනාගත් අලුත්වැඩියාවන් වෙනුවෙන් දින 14 සිට දින 40ක් දක්වා කාලය ගතවීමට නියමිත බවත්, ඇතැම් විට ගොඩනැගිලිවල තත්ත්වය අනුව එය වෙනස්විය හැක. කෙසේ හෝ එම අලාභ හානි වූ ගොඩනැගිලි මුල් තත්ත්වයට ම ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන් වෙත ලබාදීම  ත්‍රිවිධ හමුදාවේ අරමුණ වී ඇත.

     

    4

     

    එමෙන් ම මෙම ප්‍රදේශවල ජන ජීවිතය දැන් ඉතාමත් සමාකාමී වී ඇති අතර, ප්‍රදේශයේ සංවර්ධනය මෙන් ම සියලු ම වැඩකටයුතු ද වඩාත් සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීම දැකිය හැකි විශේෂත්වයකි.
     

    අද මෙම ප්‍රදේශ තුළ පොලීසියට පැමිණිල්ලක් රැගෙන එන ඕනෑම කෙනෙකුගේ පැමිණිල්ලක් පොලීසියේ තනි මැදිහත්වීමක් ඇතිව විසඳෙන්නේ නැත. ඒ සඳහා  අදාළ පුද්ගලයාගේ ආගමට මුල් තැනක් දෙමින් ආගමික නායකයන්ගේ පූර්ණ මැදිහත්වීම තුළ එම පැමිණිලි විභාගයට ගැනේ.

    මෙම ප්‍රදේශයේ පොලීසිවලට ලැබෙන පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් තම තමන්ගේ දේපළ කොල්ලකෑ බවට යොමු කරනු ලබන පැමිණිලිය. දේපළ, මිල මුදල් රන් ආභරණ පිළිස්සී ඇති බවට ද ලැබෙන පැමිණිලි විශාල ප්‍රමාණයකි.ඒ පැමිණිලි සියල්ලම දැන් විභාග වෙමින් පවතී. එහි සත්‍ය අසත්‍යතාව සොයා බලා ඒ සඳහා දායක වූවන් පොලිස් අත්අඩංගුවට පත් කිරීමටත්  කටයුතු යොදා ඇත.


    එදාමෙන් අදත් හෙටත් ඉදිරියටත් අප රට ගමන් කරන සංවර්ධන මාවත හැඩ කිරීමේ කොටස්කරුවන් ලෙස ජාති, වර්ග, ආගම් භේද පසෙකලා එකා මෙන් නැගී සිටීමට අලුත්ගම - බේරුවල ජනතාවද එක් වී ඇති බවක් අද අපට දැකිය හැක. 
     
    එනූෂා බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya