අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේදී පළාත් පාලන මැතිවරණය පවත්වනවා - අගමැති රනිල් වික්‍රමසිංහ

    නොවැම්බර් 02, 2017

    ජනවාරි මාසයේදී පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත්  මේ පිළිබඳව අප සියලම පක්‍ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඇති අතර, මැතිවරණ කොමිසමත් දැනුම්වත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෝදර, මනිමන්දපම් ශාලාවේ පසුගියදා පැවති එක්සත් ජාතික පක්‍ෂ උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    අය-වැය විවාදය නිසා දෙසැම්බර් මාසය පමණ වන විට සියලුම මන්ත්‍රීවරු කාර්යබහුල වන අතර ඒ වගේම පාසල්වල විභාග ආදිය පැවැත් වීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට සුදුසු කාලය  ජනවාරි මාසය බව  පැහැදිලි වී තිබෙන බවත් එම තීරණය ගැනීමේ වගකීම මැතිවරණ කොමිසමට තිබෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.


    "මේ ඡන්දය පවත්වන්න ප්‍රමාද වූ නිසා මැතිවරණයකට පැවැත්වීමට ආණ්ඩුව බය යැයි ඇතැමුන් පැවසුවා. මෙම කාලය ගත වූයේ මැතිවරණය පැවැත්වීම සඳහා වඩාත් සාධාරණ මැතිවරණ ක්‍රමයක් සකසා ගැනීමටයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව 2013 දී පළාත් පාලන සංශෝධන පනත වෙනස් කළා. නව මැතිවරණ කොට්ඨාශ ඇති කිරීම බැසිල් රාජපක්‍ෂ මහතාට භාර දුන්නා. එය පුදුම සහගත මැතිවරණ කොට්ඨාස බෙදීමක්. එක්සත් ජාතික පක්‍ෂයට වාසි සහගත ප්‍රදේශවල විශාල මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කළ අතර, ඔවුන්ට වාසි සහගත ප්‍රදේශ කුඩා මැතිවරණ කොට්ඨාසවලට බෙදා වෙන් කළා.

    අපට වාසි සහගත ප්‍රදේශවල මැතිවරණ කොට්ඨාශය ඉතා විශාල නිසා අප ජයග්‍රහණය  කිරීමට  විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතුයි. ඔවුන්ට වාසි සහගත ප්‍රදේශ කුඩා මැතිවරණ කොට්ඨාසවලට බෙදා වෙන් කර තිබූ නිසා කුඩා ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තත් එම කොට්ඨාසයේ බලය හිමිකර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඊට හොඳම උදාහරණය සිරිකොත අවට ප්‍රදේශයයි. ජාති, ආගම් කිහිපයක් ඇති ප්‍රදේශවල බහු මැතිවරණ කොට්ඨාශ ඇති කරන බව ඔවුන් පැවසුවා. නමුත් එම ප්‍රදේශයේ බහුතරය ජීවත් වූයේ සිංහල, බෞද්ධ ජනතාව බහු ජාතිකයින් ජීවත් වෙනවා යැයි පවසමින් එම ප්‍රදේශය බහු මැතිවරණ කොට්ඨාසයක් බවට පත් කළ නිසා මැතිවරණයෙන් එම කොට්ඨාසයේ දෙවන ස්ථානය ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණා.

    2013  මාර්තු මාසයේදී එවකට අමාත්‍ය කරූ ජයසූරිය මේ පිළිබඳව කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කළා. එම ලැබුණු වාර්තාවේ නිරාකරණය කර ගත යුතු ස්ථාන තිබුණා. පසුව එම අමාත්‍යංශයට පත් වූ නව අමාත්‍යවරයා තවදුරටත් ඒ පිළිබඳව කරුණු සෙවීමට එම කමිටුවට   උපදෙස් දුන්නා. එම වාර්තාව ඉදිරියේදී අප වෙත ලැබීමට නියමිතයි.

    මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමවේදය යටතේ දැයි අපට ගැටලුවක්ව තිබුණා. මීට පෙර බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා නිර්මාණය කර තිබූ ක්‍රමයටම මැතිවරණය පැවැත්වීමට කිසිවෙකුත් කැමති වූයේ නැහැ. කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට සම්බන්ධව විවිධ මත පළ වුණා.
    ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව තුළ සියලුම පක්‍ෂ එකඟ වුණේ නව මැතිවර ක්‍රමයක් හඳුන්වා දීමටයි. ඒ අනුව කොට්ඨාස ක්‍රමයත් අනුපාත ක්‍රමයත් මිශ්‍ර කිරීමට අප තීරණය කළා. මැතිවරණයේදී 60% ක් මන්ත්‍රී ධූර කොට්ඨාස හරහා තෝරා ගන්නා අතර ඉතිරි 40% අනුපාත ක්‍රමයට තේරීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස මන්ත්‍රී ධූර සංඛ්‍යාව 100 ක් නම් ඉන් 60 ක් කොට්ඨාශ ක්‍රමය හරහා තෝරා ගනු ලබන අතර, අනෙක් 40 අනුපාත ක්‍රමය ඔස්සේ තෝරා ගනන්වා.

    අනුපාත ක්‍රමයේදී පළමුවෙන්ම එක් එක් පක්‍ෂ හිමිකර ගත් මනාප ප්‍රමාණය ලබාගත යුතුයි. පසුව එය 100 ට අනුපාතයට බෙදා දීම සිදු වෙනවා. ඉන්පසු එම සංඛ්‍යාවෙන් එක් එක් පක්‍ෂ කොට්ඨාසවලින් ජයග්‍රහණය කළ ආසන සංඛ්‍යාව අඩු කරනවා. කොට්ඨාශවලින් ලැබෙන මනාප ප්‍රමාණය අඩුවන අවස්ථාවක විපක්‍ෂයට අනුපාත ක්‍රමය හරහා ලැයිස්තුවෙන් ලැබෙන ආසන ප්‍රමාණය වැඩි වීමටත් හැකියාව තිබෙනවා. ඒ අනුව කොට්ඨාස ජයග්‍රහණය කිරීමෙන් පමණක් මැතිවරණය ජයගත නොහැකියි. ක්‍රම දෙකම යටතේ අප බහුතර මනාප ප්‍රමාණයක් ලබා ගත යුතුයි. අපේ වගකීම විය යුත්තේ එයයි. එක්සත් ජාතික පෙරමුණ ලෙස මෙම ඡන්ද ප්‍රමාණය ලබාගත යුතුයි.

    ජයග්‍රහණය කළ හැකි අපේක්‍ෂකයෙක් හෝ අපේක්‍ෂිකාවක් මේ සියලූ කොට්ඨාසවලට අප පත් කළ යුතුයි. ජයග්‍රහණය කළ නොහැකි පුද්ගලයින් වෙනුවට ජයග්‍රහණය කළ හැකි චරිත අප ඉදිරිපත් කළ යුතුයි. ඒ වාගේම ජයග්‍රහණය කළ නොහැකි යැයි සිතන ඡන්ද කොට්ඨාස අත්හැර දැමිය නොහැකියි. ජයග්‍රහණය කළ නොහැකි වුවත් ලැබෙන ඡන්ද සංඛ්‍යාව වැඩි කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. ලැයිස්තුවෙන් පැමිණෙන අපේක්‍ෂකියන්ටද මනාප ලබාගැනීමේ ශක්තිය තිබිය යුතුයි. මනාප ප්‍රමාණයේ අනුපාතය වැඩිකර ගැනීමට නොහැකි නම් එය ජයග්‍රහණය කරන පක්‍ෂයට අවාසියක් වෙනවා. එම නිසා අනුපාතයද වැඩි කරගනිමින් ජයග්‍රහණය කළ යුතුයි. ඒ වගේම 25% ක් කාන්තා නියෝජනයක් ද තිබිය යුතුයි.
    මෙම ක්‍රමයේ වාසිය තිබෙන්නේ තරුණ අපේක්‍ෂකයින්ටයි. මෙම මැතිවරණය ජයගත යුත්තේ මුදල් වියදම් කිරීමෙන් නොවෙයි. දහඩිය මහන්සියෙන් මෙම මැතිවරණය ජය ගත යුතුයි. මනාපය භාවිතා කරන සෑම පුද්ගලයෙකුම මැතිවරණ අපේක්‍ෂකයින් පිළිබඳව දැන සිටිය යුතුයි. මෙවැනි කුඩා කොට්ඨාශයක මන්ත්‍රීවරයෙක් වූ විට මන්ත්‍රී රාජකාරිත්, අනෙක් රාජකාරීත් සියල්ල කර ගැනීමට හැකියාව තිබෙනවා.
     
    මෙම ක්‍රමය අවසාන වතාවට ක්‍රියාත්මක වුණේ 1968 දීය. මා පළමු වතාවට ඡන්දය ප්‍රකාශ කළේද එම වසරේදීයි. අපේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂයට තරග වැදුණේ පක්‍ෂයේ භාණ්ඩාගාරික ඊ.එල.පී  මෙන්ඩිස් මැතිතුමායි. එතුමා ගෙයින් ගෙට ගොස් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළා. අනෙක් පසින් තරග වැදුණේ ඩන්කන් ප්‍රනාන්දු මහතායි. එතුමාත් ගෙයින් ගෙට ගොස් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළා.

    දැන් අප ක්‍රියාත්මක කරන නව ක්‍රමය තුළ කොට්ඨාස ක්‍රමයත්, අනුපාත ක්‍රමයත් යන දෙකම අඩංගු වෙනවා. මෙය ඔබට තවදුරටත් පැහැදිලි කිරීම නීතිඥ මහත්වරු මාර්ගයෙන් ඉදිරියේදී සිදු කරනවා. අප ආණ්ඩුවක් ලෙස බලයට පත්වී රට වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළා.
    අප ජාතික ආණ්ඩුවක් හරහා සංහිඳියාව පිළිබඳ ගැටළුව විසඳිය යුතු අතර, ණය බර පිළිබඳ ගැටළුවත් විසඳීමට තිබෙනවා. මේ ප්‍රශ්න විසදීමට නොහැකිව මහින්ද රාජපක්‍ෂ මහතා පැන ගියා. පොදු අපේක්‍ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කර ගනිමින් අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර ගත්තා. රටේ සංහිදියාව ඇති කිරීමට අප සියලුදෙනාම විශේෂ උනන්දුවකින් කටයුතු කරමින් සිටිනවා. අපට ලැබුණේ ණය බරින් මිරිකුණු ආර්ථිකයක්. නමුත් පසුගිය වසර දෙක තුළ එම ආර්ථිකය ස්ථාවර කිරීමට එවකට මුදල් ඇමැතිවරයා ලෙස සිටි ඔබේ ප්‍රදේශයේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ ආර්ථික ස්ථාවර භාවය මත ඉදිරියට යමින් අප ඔබට සංවර්ධනයේ ප්‍රතිඵල ලබා දෙනවා.
    අප පළමුවෙන්ම ආර්ථිකය ස්ථාවර කරගත යුතුව තිබුණා. ඒ වගේම රටේ සංහිදියාව ඇති කර ගත යුතුව තිබුණා. පළමුව ජාතික ප්‍රශ්න දෙක – තුන වෙනුවෙන් විසඳුම් ලබා දුන්නේ නැත්නම් අපට ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට නොහැකියි. තවත් විසදිය යුතු ප්‍රශ්න තිබෙනවා. ඉදිරියේදී අප ඒවාටත් අවධානය යොමු කරනවා. මෙම සියලු ගැටලු හමුවේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පැන ගිය බව මමම පැහැදිලිව ඔබට පැවසිය යුතුයි.
    අප ආණ්ඩුව භාර ගත්තේ මෙම අභියෝග තිබෙන බව අවබෝධ කර ගෙනයි. එම අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට පැමිණීම ගැන  අපේ ඇමැතිවරුන්ට ස්තූති කළ යුතුයි. ඉතිරිව තිබෙන අනෙක් ගැටළු විසඳීමටත් අප දැන් ආරම්භ කරනවා. මේ මැතිවරණ ජයග්‍රහණය කරගනිමින් තවදුරටත් බලය තහවුරු කරගැනීමට අපට හැකියාව ලැබෙනවා නම් රටේ ඉතිරි ප්‍රශ්නත් විසදාගැනීමට අපට හැකිවෙනවා.

    අපට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. මෙම මැතිවරණයක් ජයගෙන බලය තව දුරටත් තහවුරු කර ගැනීම හරහා අපට තවත් ඉදිරියට යා හැකියි. රාජපක්‍ෂ රෙජිමය මේ රටට කළ හානිය වැලැක්වීමට අද අප කටයුතු කරනවා. රට විනාශ කරමින් ප්‍රශ්න විසදිය නොහැකි බව අප අවබෝධ කරගත්තා. අපි ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් රාජපක්‍ෂ ආණ්ඩුව අතු ගා දැම්මේ ඒ නිසයි. ඒ අනුව මේ මැතිවරණයත් ජයග්‍රහණය කරමින් සියලූම ප්‍රාදේශීය සභා, නගර සභා ජයග්‍රහණය කිරීමට එක්ව වැඩකරමු.

    කොළඹ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් නිවාස තැනීම, ජල පහසුකම් ලබාදීම, පාසල් ඉදිකිරීම ආදී විශාල වැඩකොටසක් සිදු කිරීමට තිබෙනවා. ප්‍රධාන වශයෙන්  නිවාස සෑදීම සඳහා අප මුදල් වෙන් කර තිබෙනවා. කොළඹප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් අනෙක් වැඩකටයුතුත් සිදු කිරීමට අප සූදානම් බව මම ඔබට කියන්න කැමැතියි. ගම්පහ වැනි ජනාකීර්ණ ප්‍රදේශවල දියුණුව සඳහාත් මුදල් යෙදවිය යුතුයි. මේ සියලූ දේ සිදු කිරීම සඳහා අප ලබාගත් බලය තහවුරු කරගන්නවාද? නැති කරගන්නවාද? තහවුරු කරගැනීමට නම් අප සියලූ දෙනාම එක්වී පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරමු යැයි ඔබට ප්‍රකාෂ කරනවා.

    අපේ ආණ්ඩුව සියලූම ප්‍රශ්න විසදා නොමැති බව මා දන්නවා. අපේ අඩුපාඩු තිබෙනවා. නමුත් අප රට තුළ එදා තිබුණාටත් වඩා හොඳ තත්ත්වයක් ඇති කිරීමට සමත් වී සිටිනවා. පසුගිය කාලය රටේ අපහසු කාලයක් ලෙස හැදින්විය හැකියි. නියඟයත්, ජල ගැලීම් දෙකත්, ඩෙංගු උවදුරත්, රාජපක්‍ෂ ආර්ථිකය කඩා දැමීමේ ගැටලුවටත් අපට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප රට කෙසේ හෝ ඉදිරියට ගෙනයමින් ජනතාවට සහන ලබා දෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එතුමා දැනට කොළඹදිස්ත්‍රික්කයේ සභාපති ලෙස මේ ප්‍රදේශයට විශාල සේවයක් සිදු කරමින් සිටිනවා. එම නිසා සියලූ දෙනා එක්වී මෙම මැතිවරණය ජයග්‍රහණය කරමු යැයි මම ඔබට පවසනවා. මම මේ අවස්ථාවට කැදවීම සම්බන්ධයෙන් අපේ පක්‍ෂයේ උප නායක, ඔබේ සංවිධායක රවී කරුණානායක මහතාට ස්තූවන්ත වෙනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya