Print this page

මොරගහකන්ද විදුලි උත්පාදනයට සූදානම්

ජූනි 21, 2017
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථක ව අවසන්ව තිබේ.
 
ඉදිරි වැසි සමයත් සමග ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි ඉංජිනේරුවරු පවසති. ලංකාවේ කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන්නේ මොරගහගකන්ද ජල විදුලි බලාගාරයයි.
 
මොරගහකන්ද ජලාශයේ කොන්ක්‍රීට් ආස්ථරණය කරන ලද වේල්ලට යාබද ව මෙම ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙන අතර ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත‍්‍ර හතරකින් විදුලිබලය නිපදවයි. මෙය මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද සමන්විතය. 
 
මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත‍්‍ර ක්‍රියාත්මකවීමෙන් පසු නිකුත් කරන ජලය ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ මහකනදරාව ජලාශය දක්වා ගෙන යන අතර මෙගාවොට් 05 ක ටර්බයින් යන්ත‍්‍ර ක්‍රියාත්මකවීමෙන් පසුව පිටවන ජලය අඹන්ගඟට මුදාහැර ඉන්පසුව පැරණි ඇළහැර ඇළ ඔස්සේ ගිරිතලේ මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ ජලාශවලට නිදහස් කෙරේ.
 
මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.