Print this page

අභියෝගවලට මුහුණදීමට බුදු දහමෙන් පාඩම් උගත හැකියි- නේපාල ජනපතිනිය කියයි

මැයි 14, 2017

ත්‍ර‍ස්තවාදයට මුහුණ දුන් රටවල් දෙකක් වශයෙන් ශ්‍රී ලංකාවටත් නේපාලයටත් සාමය අවශ්‍ය බවත් ඒ සඳහා තිබෙන අභියෝගවලටත් මුහුණදීමටත් බුදු දහමේ ඉගැන්වීම්වලින් පාඩම් ගත හැකි බවත් නේපාල ජනාධිපතිනිය බිද්‍යා දේවී බණ්ඩාරී මහත්මිය පැවසුවාය.


එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවය අමතමින් නේපාල ජනාධිපතිනිය මේ බව ප්‍ර‍කාශ කළාය.

ශ්‍රී ලාකාව හා නේපාල අතර දීර්ඝ කාලීන ඉතිහාසයක් තිබෙන බවත් දෙරට අතර පවතින සංස්කෘතික හා ආගමික සහයෝගය තවතවත් වර්ධනය කර ගත යුතු බවත් සඳහන් කළ එතුමිය 1999 වසරේදී ශ්‍රී ලංකා විදේශ ඇමැතිව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කළ යුතු යැයි එක්සත් ජාතින්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ නේපාලය එම යෝජනාවට සම්පූර්ණ සහයෝගය දුන් බව ද සඳහන් කළාය.

 

එමෙන් ම 2015 වසරේ නේපාලයේ සිදු වූ භූමි කම්පාවෙන් විනාශයට පත් ආනන්ද විහාරය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන ප්‍ර‍තිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය ලබාදුන් ආධාර පිළිබඳව සිහිපත් කළ බණ්ඩාරී මහත්මිය සිදුහත් උපත සිදු වූ නේපාලයේ ඓතිහාසික ලුම්බිණිය ප්‍ර‍තිසංස්කරණය කිරීම සඳහා ආධාර සැපයීම ගැන ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පළ කළාය.

 

නේපාලයේ බෞද්ධ සිද්ධදස්ථාන වැඳපුදා ගැනීම සඳහා තම රටට පැමිණෙන්නැයි නේපාල ජනාධිපතිනිය ලෝක බෞද්ධ ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකාවේ පැවති එක්සත් ජාතින්ගේ 14 වැනි වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීමට තමාට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තූතිය පළ කරන බව ද බණ්ඩාරී මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.