අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංවර්ධනය කරනු ලැබු ධාවන පථය යළි ගුවන් මෙහෙයුම් කටයුතුවලට

    අප්‍රේල් 07, 2017

    පසුගිය ජනවාරි 06 වන දින සිට මාස 03 කාල සීමාවකට ප්‍රතිසංවර්ධන (ආස්තරණ) කටයුතු සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා දිවා කාලයේ පැය 08ක් වසා දැමු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයේ ආස්තරණ කටයුතු නිම කොට සුපුරුදු පරිදි ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීම ඊයේ (06) දහවල් 12.37 ට සිදු කෙරිණ.

    මෙම ධාවන පථය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය යටතේ,  ප්‍රධාන ධාවන පථය මීටර් 60 සිට මීටර් 75 ක් දක්වා පුළුල් කොට ආස්තරණය කිරීම,  උප ධාවන පථයේ (Taxi Way) ක්ෂය වු කොටස් සකසා ආස්තරණය කිරීම,  ප්‍රධාන ධාවන පථයේ සහ උප ධාවන පථයේ ආලෝක සංඥා පද්ධති නැවත සකස් කිරීම වැනි කාර්යයන් සිදු කරන ලදී.

     

    මෙම ධාවන පථය සඳහා සවි කරන ලද විදුලි ආලෝක පද්ධතිය පුර්ණ වශයෙන් LED විදුලි බල්බ යොදා ඇති බැවින් ඔනෑම අයහපත් කාළගුණික තත්ත්වයක් තුළ ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි බවද ඒ තුළින් 80% බලශක්තිය ඉතිරි කර ගැනීමට හැකි බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරන අතර සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 7.2ක් වැයවී ඇත.

     

    නෙදර්ලන්තයේ (NACO) නැෂනල් එරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් සමාගමේ උපදේශකත්වය යටතේ චීනයේ (CATIC) කැතික් සමාගම විසින් නියමිත මාස 03 කාල සීමාව තුළ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට හැකි වීම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.

     

    වසා දැමු මාස 03 ක කාල සීමාව තුළ දිවා කාලයේ ක්‍රියාත්මක වු ගුවන් යානා රාත්‍රී කාලයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ලෙසට ගුවන් සමාගම් සමග සාකච්ඡා කොට කාලසටහන් සකස් කළ අතර මෙම කාලය තුල සමස්ත ගුවන් මෙහෙයුම්වලින් 92%ක් ක්‍රියාත්මක කිරීමට හැකිවු බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම අවධාරණය කරයි.

     

    ධාවන පථයේ මෙහෙයුම් කටයුතුවලට විවෘත වු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දහවල් 12.30 ට ගුවන් ගමන් පාලන කුළුණට දැනුම් දීමෙන් අනතුරුව පස්වරු 12.37 ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් අළුතින් මිලදී ගත් UL-1162 දරණ ගුවන් යානය ධාවන පථය මතට ගොඩ බැස්වීම සිදු කරන ලදී.


     
    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් හා විදේශ තානාපතිවරුන් පිරිසක් සහභාගි වුහ.

     

    මෙහිදී කරුණු දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා : මෙම ගුවන් තොටුපළේ ධාවන පථයේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 7.2ක් වැය කිරීමට සිදු වුණා. ඒ සඳහා චීන රජයේ කැතික් යන කොන්ත්‍රාත් සමාගම මෙම ඉදිකිරීම් කටයුතු නියමිත වේලාවට සිදු කළා. ඒ පිළිබඳව මාගේ ස්තූතිය එම සමාගමට පිරිනමනවා. මම මෙහිදී එක් කරුණක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපි මේ සියලුම ව්‍යාපෘති සඳහා විදේශ රටවලින් විවිධ පොළි මත ණය සහ ආධාර ලබා ගන්නවා. අපි දියුණු වෙමින් පවතින රටක් ලෙස අපිට අනිවාර්යයයෙන්ම ණය ලබා ගැනීමට සිදු වෙනවා. නමුත් කිසි විටෙක ඒ ණය දෙන ආයතනවලට ඕනේ විදියට අපි කටයුතු කළ යුතු නැහැ. ණය දෙන්න ඕනෙම වෙලාවක ඕනෑම රටක් ලෑස්ති වී සිටිනවා. ඒ ඔවුන්ට පොළියක් ලැබෙන නිසයි. ඔවුන්ගෙන් ණය ලබා ගත්තට ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට අපි කටයුතු කළ යුතු නැහැ. ඔවුන්ට යටත් විය යුතුත් නැහැ. අපි අපිට අවශ්‍ය පරිදි මෙම ව්‍යාපෘති සිදු කළ යුතුයි. එහි එක් ප්‍රතිපලයක් ලෙසයි මෙම ව්‍යාපෘතිය නිම කිරීමට හැකි වීම මා දකින්නේ. එමෙන්ම මා වත්මන් රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ලෙස ආඩම්බර වෙනවා වසර 30 කින් නිම කිරීමට බැරි වු ව්‍යාපෘතියක් මෙම මාස 03 ක කාල පරිච්ඡේදයක් තුළ නිම කිරීමට හැකිවීම පිළිබඳව. අපි අද මේ රජයට එක්වී සිටින්නේ වැඩ කිරීමට මිසක එක එක්කෙනාට අවශ්‍ය පරිදි කඩේ යන්නවත්, එක් එක්කෙනාගේ න්‍යාය පත්‍රවලට වැඩ කිරීමටත් නෙවෙයි. මට ලැබෙන ඕනෑම අමාත්‍යාංශයකින් ජනතාවට යහපතක් වන කටයුත්තක් කිරීමට මා නොපැකිළව ඉදිරිපත් වෙනවා.

     

    එමෙන්ම මම තවත් එක් දෙයක් පිළිබඳව මෙහිදී සඳහන් කළ යුතුයි. එනම් පසුගිය කාලය තුළ ගුවන් තොටුපළ හා ගුවන් සෙවා සමාගමේ උසස් නිළධාරීන් නිතරම බැලුවේ පිටරට පුහුණුවීම් කටයුතුවලට යාමටයි. ඒවා පුහුණුවීම් පමණක් නෙවේ සවාරි විදියටත් යොදා ගෙන තියෙනවා. ඒවා මම යම් තරමකින් අඩු කර තිබෙනවා. නමුත් එවැනි පුහුණුවීම් කටයුතුවලට යාමට අවශ්‍ය නිළධාරීන් විදෙස් පුහුණුවීම් වලට යැවීමට මම කටයුතු කරනවා.


    ඒ වගේම මම වෘත්තිය සමිතිවල න්‍යාය පත්‍රවලට සහ ඔවුන්ගේ ඕනෑකම්වලට වැඩ කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ හොඳ යෝජනා හා චෝදනා මා නිහතමානිව පිළිගන්නවා.

     

    ඒ නිසා අපි මේ සංවර්ධනය වු කටුනායක ගුවන් තොටුපළ ඉදිරි වසර ගණනාවක් සඳහා හොඳ ගුවන් සේවාවක් ලබා දෙන ආයතනයක් ලෙස ලොව ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙසට ඔබලාගෙන් ඉල්ලීමක් කරනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya