මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙලුම් කුලුන බල හැඩවන කොළොම්පුර

    ජූනි 20, 2014

     

    නිල් අහස සිඹින්නට මෙන් අහස අරා නැගෙන නෙළුම් පොහොට්ටුවේ සොඳුරු දසුන කොළඹ පුරවරයටම අලුත් සුන්දරත්වයක් තව නොබෝ දිනකින් ගෙන එනු ඇත. එය හෙට දවසක කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක් බවට පත්වේ.

     

    ශ්‍රී ලංකාව නව ආශ්චර්යමත් ලෝකයක් කරා පියමං කරමින් පවතින මෙවන් මොහොතක මුළු කොළොම් පුරය ම අරා ගනිමින් අහස් කුස තෙක් දිවෙන ඒ මහා දැවැන්ත නෙළුම් කුලුනේ ඉදිකිරීම සැබවින් ම ආශ්චර්යමත් දේශයක ඇරඹුමක් ම වන්නේය.

     

    14-page4-S2-12

     

    ලෝකයේ විශාලතම ඉදිකිරීම් අතර අඩි 400ක් (මීටර් 120) උසින් යුතු ජේතවනාරාම චෛත්‍ය ලෝකයේ උසම ස්ථූපයයි. පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 03වැනි විශාලතම ඉදි කිරීම මෙය වේ. එදා මේ ලංකාදීපය මහා ගාම්භීරත්වයකින් ඔසවා තැබීමට හැකි වූ අනුරපුර, පොලොන්නරු යුගවල බිහි වූ අති දැවැන්ත චෛත්‍ය දාගැබ්වලට නොදෙවෙනි ලෙසින් අද මේ බිහිවන නෙළුම් කුලුන රටේ ප්‍රෞඪත්වය හෙට දිනේ විදහා දක්වනු නොඅනුමානය.

    jethawanaramaya

     

    සන්නිවේදන තාක්ෂණයේ මහත් පෙරළියක් ඇති කරමින් 2012 දෙසැම්බර් මස 01 වන දින සුබ මොහොතින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණ දැවැන්ත නෙළුම් කුලුන හුදෙක් ම විදුලි සංදේශ කුලුනක් ලෙසින් ම පමණක් නොව විනෝදාස්වාදය සපයන අති සුඛෝපබෝගී  මධ්‍යස්ථානයක් ලෙසින් ද ඉදිකෙරෙනු ඇත.


    ”තඹුරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස”

     

    නෙළුම - එය සුපින්වත් බවේත්, සෞභාග්‍යයේත් සංකේතයක්ම වැන්න. ත‍්‍රස්තවාදයේ ශාපයෙන් ගැලවීම ලත් දේශයට, සෞභාග්‍යයේ අරුණැල්ල දෝරගලා එන දේශයට වාසනාව කැඳවන සලකුණක් පවා කොතරම් නම් අගනේදැයි සිතෙන්නේ පිපුණු ”නෙළුම් පොකුණ” සේම හෙට දවසක පිපෙන ”නෙළුම් කුලුන” ඇස ගැටෙද්දීය. සාමය සෞභාග්‍ය ගැන හැඟීම් දනවන නිසාවෙන්ම නෙළුමක හැඩය ගත් ඒ කුලුනට “නෙළුම් කුලුන” යැයි නම් තැබුණි.මෙම බහු සම්ප්‍රේෂණ කුලුන කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි අක්කර10ක භූමියක

     

    බේරේ වැව අද්දර ඉදිකෙරෙනු ඇත.lotus


    මීටර් 350ක් උසැති බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වශයෙන් ද ආසියාවේ පස්වන තැනද ලෝකයේම දහනව වන තැනද හිමිකර ගැනීමටද සමත්වනු ඇති බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින්

     

    ආරම්භ වේ. tele3

     

    කුලුන අධිවේගී විදුලි සෝපාන අටකින් සමන්විත වන අතර, එහි වේගය තප්පරයට මීටර් 07ක් වේ. එම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට තත්ත්පර  45 පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක උසක් ගනු ඇත. නෙලුම් මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයට ම නැරඹුම් මැදිරියක් ද ඇතුළත් වෙයි.

     

    මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙය බහු කාර්යය කුලුනක් ලෙසින් ඉදි කෙරුණද විශේෂ අංග රැසකින් සමන්විත වේ. කුලුනු බඳ තුළ තුන්වන හා හතරවන මහල් දෙක වෙන් වෙනුයේ අමුත්තන් 400කට පමණ සහභාගී විය හැකි උත්සව ශාලා දෙකක් වෙනුවෙනි.  එය කුලුනේ මීටර් 225ත් 330ත් අතර උසකින් පිහිටා ඇත.

     

    4

     

    මෙහි පස්වන මහල මීටර් 234ක උසින් වන කැරකෙන භෝජනාගාරය සඳහා වෙන් වෙන අතර, එහි අමුත්තන් 300කට පමණ පහසුකම් සලසනු ඇත. මෙහි හය වන මහල මීටර් 239ක් උසින් යුතු වන අතර, එය රාජ්‍ය අමුත්තන් සඳහා විශේෂිත කාමර පෙළකින් යුතු වේ. කුලුනේ සත්වන මහල මීටර් 244ක උසින් යුතු කොටස වෙන් වෙනුයේ නැරඹුම් මහල වෙනුවෙනි. මෙහි අටවන හා නව වන මහල් දෙක වෙන් වෙනුයේ යන්ත්‍රාගාර කාමර වෙනුවෙනි.

     

    මෙහි පළමු මහල සහ දෙවන මහල තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන්  විදුලි සංදේශ සේවා සපයන්නන්  සහ ගුවන් විදුලි සේවා සපයන්නන් සඳහා අවශ්‍ය විකාශනාගාර පහසුකම් සැපයීමට වෙන් කෙරේ.  මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ එකම ස්ථානයකට ගෙන ඒමට දායකත්වය සපයනු ඇත. එමගින් සෑම ශ්‍රාවයකුටම හා ප්‍රේක්ෂකයකුට ම සමාන ගුණාත්මක භාවයකින් යුතු සේවාවක් ලබාදීමට හැකි වන බවත්, සම්ප්‍රේෂණය එකම ස්ථානයකින් සිදුවන බැවින් හොඳ සංඥා ලබා ගැනීම සඳහා ඇන්ටනාවේ දිශාව වෙනස් කිරීම අවශ්‍ය නොවන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

     

    6


    මේ ඔස්සේ පරිසර හිතකාමී රූපවාහිනී හා එෆ්.එම්. ක්‍රියාකාරීත්වයක් සැපයීමට ද හැකි වනු ඇත. එසේම එය ශ්‍රී ලංකාව ලෝකය තුළ හඳුනා ගැනීමේ ජාතික සංකේතයක් වනු ඇති බවද පැල්පිට මහතා පවසයි.

     

    නෙලුමේ හැඩය, පෙත්තක ප්‍රමාණය (කුලුනු ගෙය - අඩි 75* අඩි 40 අතර ද කුලුනු පාදම අඩි 15* අඩි 25 ත්) අතර ගනී.මෙම කුලුනේ යටමහලෙහි මුළුතැන් ගෙය හා යන්ත්‍රෝපකරණ කාමර වෙනුවෙන් වර්ග අඩි  48500ක ඉඩ ප්‍රමාණයක් වෙන් කෙරේ. බිම් මහලේ ප්‍රධාන පිවිසුම හා භාණ්ඩ මිලදී ගැනීම් සඳහා වර්ග අඩි 52500ක ඉඩ ප්‍රමාණයක් වෙන් කෙරේ. පළමු මහලේ පළමු වෙළඳ සැල් කලාපය සඳහා වර්ග අඩි 44500 වෙන් කොට ඇත. දෙවන මහලේ දෙවන වෙළඳ සැල් කලාපය සඳහා වර්ග අඩි 52000ක ඉඩ ප්‍රමාණයක් වෙන් කර ඇත. එමෙන් ම විවේක කටයුතු සඳහා කුලුනු වහල මත වර්ග අඩි 54000 ඉඩ ප්‍රමාණයක් වෙන් කර ඇත.

    anusha2

     

    නෙලුම් කුලුනේ ඇන්ටනා කුඹය වෙන් වෙනුයේ එෆ්.එම්.නාලිකා 40කටත්, රූපවාහිනී නාලිකා සංඛ්‍යාංක 50ක් සඳහාත් ය.


    මෙහි  ඉදිකිරීම් කටයුතු දැනට සිදු කොට අවසන් බව පැල්පිට මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන කුලුනක් සඳහා ඉදි කළ විශාලත ම තනි අත්තිවාරම මෙම කුලුන වෙනුවෙන් යොදා ඇත. මීටර් 43 විශ්කම්භය හා මීටර් 3ක උස ඇති මේ මහා පදනම සඳහා කොන්ක්‍රීට් ඝන මීටර් 4000ක් යොදා ගෙන ඇත. කොළඹ අවට පිහිටි සියලු ම පෙර සූදානම් කළ කොන්ක්‍රීට් වැඩපොළවල්වලින් දින දෙකක් තුළ අඛණ්ඩව සිදු කෙරුණු කොන්ක්‍රීට් වත් කිරීම සඳහා පෙර සූදානම් කළ කොන්ක්‍රීට් මේ සඳහා සපයන ලදී.

     

    කුලුනු පදනම (බිම් මට්ටමේ ගොඩනැගිල්ල) වර්ග අඩි 200,000 පමණ බිම් පෙදෙසක හා මහල් හතරක් පුරා විහිදෙන කුලුනු පදනම මාස

     

    තුනක් ඇතුළත නිම කෙරිණ.anusha1

     

    කුලුනු බඳ (නෙලුම් මලෙහි නටුව) ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. මෙහි කුලුන බඳ මීටර 75ක මට්ටමට සම්පූර්ණ කොට අවසන් වී ඇති අතර, කුලුනු බදේ සංකීර්ණ කොන්ක්‍රීට් දැමීමේ කටයුතු පෙර නොවූ විරූ නිස්කලංක භාවයකින් සිදු වෙයි. කුලුනු පඩියෙහි වාස්තු විද්‍යාත්මක හැඩය සෑම මීටර් 05ක අන්තරයකදී ම වෙනස්වීමකට ලක්වන බවත්, ශ්‍රී ලංකාවේ මෙවැනි කොන්ක්‍රීට් දැමීමේ කටයුත්තක් සිදු වූ ප්‍රථම වතාව මෙය වන බවත් අනූෂ පැල්පිට මහතා පවසයි.මෙම ඉදිකිරීමත් සමඟ සංචාරකයන්ගේ ඉහළ ඉල්ලුමක් මේ සඳහා ඇතිවනු ඇති අතර එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට එක්තරා අයුරකින් ඍජු දායකත්වයක් ද සපයනු ඇත.

     

    දැවැන්ත ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය 2015 වසර අවසන් වන විට ඉදිකිරීම් අවසන් කර මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකි වන බව අනූෂ පැල්පිට මහතා පවසයි.

     

    මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූල්‍යය දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇති අතර, තාක්ෂණික සහය මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන් ලබා ගෙන ඇත. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 104කි. මෙම මුදල චීනයෙන් ණයක් ලෙස ලංකාවට හිමි වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

     

    anusha3

     

    මෙම විශාල කුලුනු රාජයා නිර්මාණය කිරීම අති දැවැන්ත කාර්යයක් වන අතර ඒ සඳහා චීන රජයට අයත් සමාගම් දෙකක් වන CEIEC සහ ALIT යන ආයතන දෙක මගින් සිය ඉදිකිරීම් දායකත්වය ලබා දේ. ඉදිකිරීම් සම්බන්ධීකරණය ඇතුළු නෙළුම් කුලුනේ සියලු ම අයිතීන් පැවරෙනුයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටයි. මෙහි ඉදිකිරීම් පිළිබඳ ව නිරන්තර ව ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතා මෙන් ම එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ අවධානය යොමු කර  තිබීම දැකිය හැකි විශේෂත්වයකි.

     

    ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ දී තොරතුරු තාක්ෂණයෙන් හා සන්නිවේදන තාක්ෂණයෙන් වඩාත් ඉහළට රට ගමන් කර වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රමුඛ අරමුණක් බව මේ පිළිබඳ ව අදහස් දක්වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය. එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙම ඉදිකිරීමට යෝජිත නව බහු සම්ප්‍රේෂණ කුලුන ද විශේෂයෙන් ම හේතු වන බව එහි දී ඔහු විසින් තවදුරටත් පෙන්වා දුන්නේය.

    3

     

    අති දැවැන්ත සන්නිවේදන පෙරළියක් සහිත ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් බවට මේ රට පත් කිරීමේ මහින්ද චින්තන ඉදිරි දැක්ම හීනයක් නො ව යථාර්ථයක් ම බව පතළ කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මෙම අති දැවැන්ත නෙළුම් කුලුනු රාජයා නිර්මාණය කිරීමේ කාර්යයට අද එළැඹ ඇත.

     

    එනූෂා බණ්ඩාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya