නොවැම්බර් 18, 2019
tami eng youtube  twitter facebook

    සුරක්ෂිත මාතෘත්වය සඳහා ආරක්ෂිත රුධිරය

    ජූනි 16, 2014
    ගර්භනී සමයේදී දරු ප්‍රසූතියේදී හෝ පසු ප්‍රසව අවධියේදී ලොව පුරා මව්වරුන් 800ක් පමණ දිනපතා මරු මුවට පත්වෙයි. ඒ අතරින් 99%ක් ම අයත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලටයි. දරු ප්‍රසූතියේදී හෝ ඉන් අනතුරුව සිදු වන අධික රුධිර වහනය මේ මාතෘ මරණවලට හේතු වන අතර ආසියානු කලාපයේ මාතෘ මරණවලින් 31%කට හේතු වන්නේ මේ අධික රුධිර වහනයයි. 

     

    මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය "සුරක්ෂිත මාතෘත්වයක් සඳහා ආරක්ෂිත රුධිරය" යන තේමාව මුල්කොට ගෙන පසුගිය 14 වෙනිදා පැවැත්වුණි. මේ ජාත්‍යන්තර සැමරුමෙහි සත්කාරක රට ලෙස ක්‍රියා කළේ ශ්‍රී ලංකාවයි.


    මාතෘත්වය හා සබැඳුණු සංකූලතාවන් හට ප්‍රතිකාර කිරීමේදී රුධිර පාරවිලයනය යනු මරණයෙන් ජීවිතය බේරාදිය හැකි ක්‍රමවේදයන් කිහිපය අතරින් ප්‍රධානතම ක්‍රියාවලියක් ලෙස හඳුනාගෙන ඇත. වසර 2013 දත්තවලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිනිකොන දිග ආසියානු කලාපයේ රටවල සජීවී දරු උපත් 100,000කට මාතෘ මරණ අනුපාතිකය 26 සිට 270 දක්වා විචලනය වේ. සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් උසස් මාතෘ සෞඛ්‍ය සේවාවක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ සජීවී දරු උපත් 100,000කට මාතෘ මරණ අනුපාතය 37කට පමණක් සීමා වී ඇත.


    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ රටවල වසරකට මිලියන 15.6කට ආසන්න රුධිර ඒකක ප්‍රමාණයක් රුධිර දායකයන්ගෙන් එකතු කරනු ලබයි. මේ කලාපයේ වාර්ෂික අවශ්‍යතාව රුධිර ඒකක මිලියන 18ක් පමණ වේ. වසර 2013දී ශ්‍රී ලාංකීයයන් ඒකක 380,000ක් රුධිර පරිත්‍යාග කර ඇති අතර එම ප්‍රමාණය 100%ක්ම ස්වේච්ඡා රුධිර දායකයන් නොමිලේ පරිත්‍යාග කළ පරිත්‍යාගයන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ, කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් කේත්‍රාපල් සිං මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය පරිපාලනයක් සහිත අංගසම්පූර්ණ රුධිර පාරවිලයන සේවයක් ස්ථාපිත කර ඇත්තේ ශක්තිමත් දේශපාලන දායකත්වයත් කාර්යක්ෂමව පොදු ජනතාවගේ සහභාගිත්වයත් ලබා ගැනීම නිසා බවයි.


    කෙසේ වෙතත් මෙම කලාපයේ සෑම රටකම සියලුම රෝගීන්ට ආරක්ෂිත රුධිරය හා රුධිර සංඝටක නිසිකලට ලබා ගැනීමේ පහසුකම් නොමැත. සෑම රටක් විසින් ම රුධිරය හා රුධිර සංඝටක ප්‍රමාණාත්මකව තම අවශ්‍යතාවට සෑහෙන බවටත් ඒවා එච්.අයි.වී., හෙපටයිටීස්, සිෆිලිස් සහ මැලේරියා වැනි රෝග කාරකයන්ගෙන් තොර බවටත් සහතික විය යුතුයි. එමෙන් ම තවදුරටත් මෙම කලාපයේ ස්වේච්ඡා රුධිර දායකයන් රුධිරය පරිත්‍යාග කළ යුතු බවත් පාරවිලනයේදී සුරක්ෂිත බව තහවුරු කළ යුතු බවත් වෛද්‍ය කේට්රපාල් සිං මහත්මිය පවසයි.


    ප්‍රමාණාත්මකව සෑහෙන විශ්වාසවන්ත ආරක්ෂිත රුධිර සැපයුමක් පවත්වා ගත හැකි බවට සහතික විය හැක්කේ නිතිපතා නොමිලේ රුධිරය දන්දෙන, ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ගේ ස්ථාවර සංචිතයක් ඇති කර ගැනීමෙන් පමණි. එවැනි පරිත්‍යාගශීලීන් අතර රුධිරය මඟින් බෝ විය හැකි රෝගාබාධවල ප්‍රවණතාව අවම අගයක් බැවින් ඔවුන් ඉතාමත් ආරක්ෂිත රුධිර පරිත්‍යාගශීලීන් කණ්ඩායමක් ලෙස හඳුනාගෙන ඇත. ආරක්ෂිත රුධිරය හා රුධිර සංඝටකවලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා නොමිලේ දන්දෙන ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන් මත පදනම් වූ ජාතික ලේ දීමේ සේවාවක් වර්ධනය කර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සාමාජික රටවලට අවධාරණය කරයි. කලාපයේ රටවල ස්වේච්ඡා රුධිර පරිත්‍යාගයන් ඉහළ යමින් පවතින අතර මේ වන විට සමස්ත රුධිර පරිත්‍යාගවලින් 82%ක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාගවලින් සැපිරේ. මෙම කලාපයේ ශ්‍රී ලංකාව හැරුණු විට 100%ක් ම තම රුධිර සංචිතය ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් සපුරා ගන්නේ තායිලන්තය පමණි.

     

    ශෛල්‍යකර්ම සහ කායික රෝගාබාධ හැරුණු විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ රටවල රුධිර පාරවිලනයන් බොහෝ විට යොදා ගන්නේ මාතෘත්වය හා සබැඳුණු සංකූලතාවන් හට ප්‍රතිකාර කිරීමට, අධික රක්තහීනතාවෙන් පෙළෙන ළදරුවන් හට සහ හදිසි අනතුරු නිසා සිදු වන අධික රුධිර වහනයට පිළියම් කිරීමටයි. වෛද්‍ය කේට්රාපල් සිං මහත්මිය පවසන පරිදි සරල, ආරක්ෂිත මෙන් ම ඵලදායී විකල්ප ප්‍රතිකාර ක්‍රම තිබියදී අනවශ්‍ය ලෙස රුධිර පාරවිලයනය ප්‍රතිකාර ලෙස යොදා ගන්නා අවස්ථා ද තිබේ. මෙලෙස රෝගියා අනවශ්‍ය ලෙස රුධිර පාරවිලයනයකට නිරාවරණය වීමෙන් ඒ හා බැඳුණු වෙනත් සංකූලතාවන්ට ද ලක්වීමේ අවදානමක් තිබේ. 
     

    - නෙරංජලා දිල්රුක්ෂි හේරත්

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya