Print this page

ගෙවතු වගා ප්‍රවර්ධන ජාතික වැඩ සටහන කෑගල්ලෙන් ඇරඹේ

ඔක්තෝබර් 08, 2016
ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහනට සමගාමීව  පැවැත්වෙන ගෙවතු වගා ප්‍රවර්ධන ජාතික  උළෙල මේ මස 10 වන දින කෑගල්ල දිඹුල්ගමුව වෙල්යායේදී පැවැත්වේ
වත්මන් රජයේ ප්‍රම්‍රඛ ජාතික වැඩ සටහනක් ලෙස ක්‍රියාත්මක ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන 2016-2018  වර්ෂ ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක වේ. මෙම ජාතික වැඩ සටහන තුළින් ශ්‍රි ලංකාවේ  චිරාගත  කෘෂි කර්මයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගැනීම  අපේක්ෂා  කෙරේ. එසේම ශ්‍රි ලංකාවේ සොබාදහම සමග බද්ධව ඇති තිරසාර සබදතාවයන් ශක්තිමත් කිරිමේ අරමුණු ඇතිව ක්‍රියාත්මක  කරන අතර ශ්‍රි ලංකාවේ ආර්ථිකයට කෘෂි  කාර්මික දායකත්වය ප්‍රමුඛ කිරිමත් අරමුණු වේ . තවද ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවයන් ඉහළ නංවමින් නිරෝගී පරපුරක් ඇති කිරිමද මෙම ජාතික වැඩ සටහනේ  ප්‍රධාන අරමුණු වේ. 
ඉහත වැඩ සටහනේ දිගුවක් ලෙසද , සමගාමී වැඩ සටහනක්  ලෙසද  ගෙවතු වගා ප්‍රවර්ධන ජාතික වැඩ සටහන හැදින්විය හැකිය.
 
ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහනේ ප්‍රධාන පාර්ශව කරුවන් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු , මුදල් , ධීවර , කෘෂි කර්ම , වැවිලි කර්මාන්ත  යන අමාත්‍යංශද ගොවිජන සංවර්ධන  දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය, සියළුම පලාත් සභා  ඇතුළු දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන එක්ව කටයුතු කරයි.
 
ලෝකයේ කිසිම රටකට නොමැති ලෙස කෘෂි කර්මාන්තයට  හිතතර දේශගුණයක් අපට හිමි විම අප ලද භාග්‍යයකි. සංඛ්‍යා ලේඛන වලට  අනුව ශ්‍රි ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 65% ක් පමණ කෘෂි කර්මාන්තය සදහා  යොදා ඇත. එම භුමි ප්‍රමාණයෙන් 40%ක් වී වගාවටද, 38% ක් වැවිලි බෝග වගාවටද, 22% ක් අපනයන බෝග වගාවද සිදු කර ඇත. ශ්‍රි ලංකාවේ දළ දේශිය නිෂ්පාදනයෙන් 10% කට වැඩි දායකත්වයක් ලබා දෙනු ලබන්නේ කෘෂි කර්මාන්තය තුළිනි. 
 
වර්තමානයේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ව   ඉදිරියට ගෙන  යාමට කෘෂි කර්මාන්තය දරන දායකත්වය  මෙයින් මනාව ඔප්පු වේ.  විශේෂයෙන් 2016- 2018 තුළ ක්‍රියාත්මක ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන  හේතුවෙන් කෘෂි කාර්මික ආර්ථිකය ශක්තිමත් විමට හේතු වී ඇත.  මෙහිදි  වත්මන් ජනාධිපතිතුමන් , අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ දායකත්වය පැසසුමට ලක් විය  යුතුය. 
ආහාර භෝග නිෂ්පාදනය හා ඵලද්‍රයිතාවය ඉහළ නැංවීමට  මේ යටතේ වෙනමම අවධානය යොමු කර තිබීම  වැඩ සටහන ශක්තිමත් වීමට හේතු වී ඇත. 
 
නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය වශයෙන් රටපුරා විසිරි ඇති සියළුම ගෙවතු  ඉලක්ක කරගෙන  ගෙවතු වගා ප්‍රවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට යෝජීතය.  මේ තුළින් පවුල් වල  ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමත් රටේ සමස්ත  ආහාර නිෂ්පාදනය වැඩි කිරිමත් අරමුණු වේ.  වි‍ශේෂයෙන් වස විසෙන් තොරව  මෙම ගෙවතු වගා වැඩ සටහන ක්‍රියාත්මක කිරිමද ඉතාමත් කාලෝචිතය. 
තවද ගෙවතු  වගා ප්‍රවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරිමේදී  ප්‍රදේශගතව බෝග වගාවද  සැලසුම් කර තිබේ.  මෙහිදී එක් එක් භෝගයන් සදහා වැඩි විභවයක් ඇති ප්‍රදේශ අනුව  භෝග වගාව මෙහිදි සිදු වේ.  මේ තුළින් ඵලදායී සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ. 
ගෙවතු වගා ප්‍රවර්ධනයේදී කාර්යාල වතු, පාසල් වතු,  පෞද්ගලික ආයතන වතු, ආරක්ෂක  අංශ ගෙවතු වශයෙන්  වෙන් වෙන්ව සංවර්ධනය කිරිමට සැලසුම් කිරිම මෙහි  ප්‍රවර්ධනයට හේතුවකි. 
ගෙවතු වගා ප්‍රවර්ධන ජාතික වැඩ සටහනට සමගාමිව , ක්ෂේත්‍ර ගතව ඇති අනෙකුත් සියළුම කෘෂි අංශ දියුණුවට සැලසුම් කර තිබීමද මෙහි විශේෂත්වයකි.
 
මෙම  ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහනේ ජාතික සැලසුම් කමිටුවේ ප්‍රධානත්වය ගරු ජනාධිපතිතුමන් විසින් දැරීමද වැඩ සටහනේ ජවය වැඩි වීමට හේතු වනු ඇත.
බත බුලතින් සපිරි, වස විසෙන් තොර, සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් ගොඩ නංවාලීමේ වත්මන් රජයේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස ක්‍රියාත්මක ගෙවතු වගා ප්‍රවර්ධන ජාතික වැඩ සටහන ශ්‍රි ලංකාවාසීන් වන අප සැමටම ආඩම්බරයක් ගෙන දෙන්නකි.
 
 
සටහන-
තිලකරත්න ලියනපටබැදී