මැයි 24, 2019
tami eng youtube  twitter facebook

    සංහිදියාවේ ඇත්ත පැත්ත

    අගෝස්තු 31, 2016
     
    සහජීවනය, සංහිදියාව, යහ පාලනය ආදි වදන් වර්තමාන සමාජයේ නිතර කතාබහට ලක්වන ඒවාය. ගැටුමෙන් තොරව සාමය සාමදානය රජයන සමාජයක් නිර්මාණය කර ගැනීමට නම් ඉහත කී වචන වලට අදාල ක්‍රියාකාරිත්වය මනාව සිදුවිය යුතුයි. ගැටුමකින් තොර සමාජයක් සොයා ගැනීම අසීරුය. පුද්ගල මනසේ ඇතිවන ගැටුමේ  සිට විවිධ පාර්ශව අතර,කණ්ඩායම් අතර මෙන්ම අන්තර් රාජ්‍ය ගැටුම් ද ඕනෑම කාලයකදී ක්‍රියාත්මක වේ. නමුත් කවුරුන් වුවද දැනගත යුතු ප්‍රධානතම කරුණ නම් සියලු ගැටුම් වලට මුලික පදනම සකසන්නේ මානසික ගැටුම වීමයි. විද්‍යානුකූලව සලකා බලන්නේ නම්,විවිධ සමාජ අසමතුලිතතාවයන් මත මුලින්ම ගැටුම හට ගන්නේ මනස තුලය. එය ගැටුමේ අප්‍රකාශිත අවස්ථාවයි. මානසික ගැටුම චර්යාවකට පෙරලුණු පසුව ගැටුමේ ප්‍රකාශිත අවස්ථාව සටහන් වේ. එහෙයින් ගැටුමට අවශ්‍ය බීජ හටගන්නේ මනසේ වීම නිසා එම බීජ පැළවී වැවෙන්නට ඉඩ නොදී මුලිනුපුටා දමා සාමයේ යහ බීජ වැපිරිය යුත්තේ ද මනස තුලය.
    ගැටුමක් කුඩා පරිමාණයේ සිට අති විශාල හානි ගෙන දෙන තත්වයක් දක්වා වර්ධනය විය හැකියි.එහෙත් ගැටුමක් විනාශකාරී මට්ටමට යා නොදී ඵලදායීව පාලනය කිරිම හෙවත් ගැටුම් කළමණාකරණයට පිවිසුන හොත් ගැටුමකින් ඇතිවන හානිය,පීඩාව අවම කරගත හැකිය.ඊට අවශ්‍ය වන්නේ හුදු උපදෙස් මාලාවක් පමණක් නොවේ.ඉන් ඔබ්බට ගිය ශක්තිමත් මැදිහත් කරණයක් ඒ සදහා තිබිය යුතුයි.විනිවිද බව,අපක්ෂපාතීත්වය,ඉවසීම මෙන්ම පෞරුෂාත්මක නායකත්වය ද අන්තර්ගත මැදිහත් කරුවන් සිටී නම් බොහෝ ගැටුම් පාලනය කිරිම අසීරු නොවේ.
     
    අධ්‍යතන සමාජය තුල පවතින දැඩි තරගකාරී ජීවන රටාව නිසා ගැටුම් උත්සන්න වීම ශීඝ්‍ර වී තිබේ.නිස්සාර අවශ්‍යතා පදනම්ව මනස ද වැරදි මගට යොමුව පවතී. නමුත් පෙර සමාජයන් හි ගැටුම් පැවති නමුදු මනා ගෘහස්ථ , සමාජ කළමණාකරණයක් පැවතිනි .පවුලේ සමගිය සාක්ෂාත් විය. සරල අවශ්‍යතා ඊට බලපෑවේය. ජිවත් වීම යන්නේහි සැබෑ අර්ථය වනසා දමන අයහපත් රටාවක් වර්තමානය තුල දියත් වීම මීට මුළුමනින්ම බලපා තිබෙන බව කණගාටුවෙන් වුවද කිව යුතුයි.තවත් විදිහකින් කිවහොත් සංවර්ධනයේ වැදගත්ම අංශය වන අධ්‍යාත්මීක සංවර්ධනය ගිලිහුණු අවධියකි, වර්තමානය.  ඒ තුල ගරු බුහුමන,  පුද්ගලයා කවුරුන් ද යන්න හදුනා ගැනීම, අචාරශිලිත්වය අත්‍යන්තයෙන්ම ගිලිහී ගොසිනී. නීති නැති කාලයේ ගැටුම් අඩුය. නීති රීති අපරිමිත වර්තමානයේ ගැටුම් අධිකය. මමත්වය පීරිම,අධි මානසිකත්වය,අනවශ්‍ය අවශ්‍යතා නිරිමාණය කර ගැනීම,අසම්මත නිර්මාණ ඇසුර ආදිය මීට බලපා තිබේ.
     
    මාධ්‍යයෙන් පවා අද වක්‍රව උගන්වන්නේ යහපත් සංවර්ධන මාවත වෙනුවට ගැටුම් ඇති වීමට අදාල මංපතයි.ටෙලි නාට්‍ය ඊට හොදම සාක්ෂියකි. ජනතාවට වැඩිම අවධානයක් ඇති මාධ්‍ය ක්ෂේත්‍රය යහ අතට පරිවර්තනය නොකර කොතරම් සංහිදියා, සහජීවන ක්‍රමවේද නිර්මාණය කලත් ඉන් ඵලක් උදාවන්නේ නැත. වෛරය,ඊර්ෂ්‍යාව,පලි ගැනීම, ආදි අසම්මතයන්ගෙන්  පිරී පවතින මාධ්‍ය සංදේශ නිසා කුඩා අවධියේ සිට මනස විකෘති වීමට පටන් ගනී. වැඩිහිටි පරම්පරාව ඉදිරිපත්ව බාල පරපුරට සත්‍ය වටහා දීමට උත්සහා කළ ද ඔවුන්ගේ උපදෙස් අනුශාසනා පිළිගන්නා ප්‍රමාණය ඉතා අඩුය.පරිගණකය අසල,රූපවාහිනිය අසල නිතර මනස නතරකරන දරුවා මනස වැඩෙන හොදම කාලයේ එහි පුරවා ගන්නේ දිවියට අවැසි දෑ නොවේ.දෙමව්පියන්ද තම දරුවන්ගෙන් ඇති අපහසුතා,අකීකරුකම් මගහරවා ගන්නේ පරිගණකයට, රූපවාහිනියට දරුවා හුරු කරමිනි.නමුත් පාලනය කරගත නොහැකි අකීකරුකමක් දරුවා තුල අනාගතයේ දී  ගොඩනැගීමට එය හේතුවන බව දෙමව්පියන් වටහා ගන්නේ නැත.එමෙන්ම දෙමාව්පියන් ද නිසි මාධ්‍ය සාක්ෂරතාවයක් නොමැති අය නිසාම රූපවාහිනි මාධ්‍ය වලට දැඩිව ඇබ්බැහි වී සිටී.එයින් සිදුවන්නේ දරුවන් සමග වැරදි හුවමාරු කරගැනිමකී.
     
    වර්තමානයේ පවතින දුෂණ,චංචා,මිනි මැරුම් ආදී සමාජ සහජීවනය සිද දමන තත්ව මතුවන්නේත්,ගෘහස්ථ හිංසනය වැඩිවන්නේත් මුලීන් කී කරුණු පිරුණු අසම්මත  අධ්‍යතනයක් නිර්මාණය වී ඇති බැවිණි.
    නමුත් රට තුල දස දහස් ගණන් අධ්‍යාත්මීය ගුණ වගා කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.මනෝ විද්‍යාත්මක වැඩසටහන් දියත් කරයි.එහෙත් ඒවායින් සැලකිය යුතු යහ ඵල හටගත් බවක් පෙනෙන්නට නැත.ඊට හේතුව වී ඇත්තේ ඉහළ සිට පහළටත්,පහළ සිට ඉහළටත් මනා අන්තර් සබදතාවක් හරහා සමීපතාවක් ගොඩනගා ගැනීමට තරම් වන බලයක් එම වැඩසටහන් තුල නොමැති කමයි.තවත් ලෙසකින් කිවහොත් එබදු බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ වැඩසටහන හමාර කරගැනීමේ අරමුණින් පමණි.පසුව ඊට සම්බන්ද වු පිරිස හොදම වැඩසටහන කෙරුණා යැයි උදම් නගයි.එහෙත් මිනිසුන් හිටි තැනමය.
     
    අප මුලින්ම කළ යුත්තේ සමාජිය විවිධත්වය හදුනා ගැනිමයි.වයසින්,දැනුමින්,ස්ත්‍රී පුරුෂ බවින්,භාෂාවෙන්,ආගමින් ආදී විවිධ අංශ වලින් පිරුණු දැඩි විවිධත්වයක් සමාජය තුල තිබේ.එම විවිධත්වයට මුහුණ දීමට නොහැකි පිරිසක් බිහිවේ නම් ඔවුන් යමක් දරාගත නොහැකි අයයි.එම නිසා පවුල තුලින් මනා සහජිවන ගුණාංග උගන්වා ,  එනම් ඉවසීම,සතුටින් සිටීම,සුහදතාව,ලද දෙයින් සතුටු වීම ආදී ගුණාංග සපයා පුද්ගලයින් සමාජයට දායාද කරයි නම් සමාජය තුල ද සහජිවන ගුණාංග රැක ගනී.එවිට සමාජීය විවිධත්වය ගැටළුවක් බවට පත්කරගන්නේ නැත.ඕනැම කෙනෙක් තම ආගම ඇදහීම,භාෂාව කතා කිරිමේ කිසිදු ගැටළුවක් නැත.එය එසේ සිදුවෙද්දී ජාතිකත්වය වෙනුවෙන්,ජාතික අභිලාශය වෙනුවෙන් සැවොම එකතුවීම වටී.උප්පැන්න සහතිකයේ පවතින ශ්‍රීලංකික යන යෙදුම සදා තිර සාර්ථකත්වයට පත්වන්නේ එවිටයි.සෑම ආගමකටම ගෞරව කිරීමේ ශක්තිය සැමට තිබිය යුතුය.සෑම භාෂාවකට වැදගත්කම ලබා දිය යුතුය.දෙමළ කතා කරන්නන් සිංහල දන්නේ නම් සිංහල කතා කරන්නන් දෙමළ ද දන්නේ නම් එකී සංස්කෘතික හුවමාරුව මත කොතරම් ගැටළු මගහරවා ගත හැකි ද? මේ සියල්ලටම හේතුව අදාල වැදගත්ම දෑ පිළිබදව ගැඹුරින් සිතා කටයුතු නොකිරීමයි.පවුල තුල සහජීවනයටත්,සමාජය තුල  සහජීවනයටත්, ජාතින් අතර සහජීවනයටත් ඕනෑතරම් උදාහරණ අප රට තුලම පවතී. ශ්‍රී ලංකාව යටත් විජිතයක් වශයෙන් පැවතී සමයේ ඒ වෙනුවෙන් මුහුණ දීමට සියලු ජාතීන්ට අයත් ජනතාව එකට එක් වු ආකාරය වැනි ඓතිහාසික වැදගත් කරුණු පාසල් තුල පවා උගන්වයි.ඉන් ඵල අත් නොවීම අතිශය දුක්ඛ සහගත තත්වයකි.
     
    අප රටේ හිංදු පාසල් වෙනමය, සිංහල පාසල් වෙනමය,මුස්ලිම් පාසල් වෙනමය.එතනම ඇත්තේ බෙදීමකි. බෙදීම පාසල් දරුවන් තුලින්ම පටන්ගෙන තිබේ. එහි සහජිවනයක් අන්තර් ගත නැත.මෙහිදී පාර්ශව කිහිපයක්ම උඩු හිත හා යටි හිත අතර වෙනස අඩුකර නොගන්නේ නම් අප සිදුකරන කිසිවක් සාර්ථකත්ව ලැබෙන දෑ බවට පත් නොවේ.
    කෙසේ වෙතත් විවිධ ජාතීන් අතර භේද හට ගැනීම නැමැති සුව නොවන තුවාලය තව දුරටත් සුව නොකරම  තබා ගැනීම අප නතර කළ යුතුය.එහෙයින් මේ ගතවෙමීන් පවතින්නේ සමගි සංවිධාන ගැන කතා කළ යුතුම කාලයකි. එම සමගි සංවිධාන ඇති කිරිමට නම් හැමෝම වැරදි පිළිගත යුතුය.සංහිදියා සිත් සංහිදියාවේ ව්‍යාප්තිය සදහා එක්විය යුතුය.ජාතික සමගි හා සංහිදියා කාර්යාල,සමගි සංධාන මධ්‍යස්ථාන,සාම සේවයේ ජාතික ලේකම් කාර්යාලය,ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ ආදිය අප රට තුල  බිහිව ඇත. මේවායින් ලහි ලහියේ නොවුනත් ක්‍රමානුකූල සංහිදියාව පිළිබද සමාජ බලපැමක් කළහැකි වැඩසටහන් ආරම්භකර ධනාත්මක ලෙස බිම් මට්ටමේ සිටින ජනතාව වෙත පවා රැගෙන යා යුතුය.
     
    මෑත කාලයක සංහිදියා කාර්යාලයෙන් මෙහෙය වු වැඩසටහනක දී බොහෝ පිරිසක් එකගතාව පල කළ අදහසක් තිබුණි.අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජි. කුමාරසිරි මහතා  නුවරඑළිය ප්‍රදේශයේ අත්දැකීම් පැහැදිලි කරමින් දෙමළ සහ සිංහල පිරිස් එහි සමගියෙන් කටයුතු කළ ආකාරය පැහැදිලි කළේ ය.එහිදී එතුමා සදහන් කළ පාසල් දරුවන්ගෙන්  සමගි සංහිදියා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට කාගේත් උණුසුම් එකගතාවය පලකළේ ය.සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකීක නැමැති එකමුතු බවේ සංකේතයෙහි අභිමානවත් බව රැකීමට නම් විවිධ ජාතීන් ඔවුනොවුන්ගේ පෞද්ගලික ගමන් මගකට අවතීර්ණ වීමෙන් සිදුකළ නොහැකියි.
     
    මෙහිදී ඇෆ්ගනිස්ථානය ගැන කියමින් හෝ සිරියාව ගැන කියමින් හෝ තවත් වෙනත් රටක ස්වභාවය ගැන සිතමින් අපට මෙම කාර්ය කළ නොහැකියි.සමගි සංහිදියාව සදහා අපට අවශ්‍ය ආකෘතිය අපිම සකසා ගැනිම වටී. මැදිහත්කරුවන් ද අපේ රටේම අය වීම වැදගත්.මන්ද යත් ජාත්‍යන්තර වශයෙන් අපක්ෂපාතී ස්වාධීන මැදිහත්කරුවන් හදුනා ගැනීම ඉතා අසීරු බැවිනි. ශ්‍රී ලංකාව වැනි රටකට පවතින දැඩි ජාත්‍යන්තර අවධානය අපගේ සුබ සිද්ධිය සදහාම නොවන බවද අපි වටහා ගත යුතුයි.
     
    සමාජ අවධානය දී අපට පෙනෙන්නේ අපේ සංහිදියාවට අවැසි මාවත අපම සකසාගත යුතු බවයි.මෙයට මහා සුත්‍ර අවශ්‍ය නැත.අවශ්‍ය වැදගත්ම දෙය නම් සර්ව ආගමානුකූලව පවතින සංහිදියාවට අවැසි ධර්ම කාරණා සමාජ ගත කිරිම පමණි.ජනතාව තුල කියවීමක් නොමැතිකම හා ඇහුම්කම් දීමේ ගුණයක් නොමැතිකම නැවත වරක් ඇති මට්ටමට දක්වා වර්ධනය කරගත හොත් ජනතාව තුල සංහිදියාව ඇතිකරන්නට ගැල්ටූන්ගේ ගැටුම් ත්‍රිකෝණ හෝ මාස්ලෝගේ අවශ්‍යතා පිරිමීඩ ගැන හෝ වහා මිනිසුන්ට සමීප නොවන කාරනා උපයෝගයෙන් විවිධ දේ පැහැදිලි කරන්නට අවශ්‍යතාවක් උපදින්නේ නැත.එමෙන්ම ඒවා ප්‍රායෝගික ද නැත.
    මානසීක සාම කතිකාවකට අවශ්‍ය ඉගැන්වීම් බුදු දහම,ඉස්ලාම්,හිංදු මෙන්ම ක්‍රිස්තියානි යන ප්‍රධාන ආගම් සියල්ලෙහිම  පාහේ පවතී.ඉහතින් කීවා සේ කියවීමත්,ඇහුම්කම් දීමත් යන සාධක හිගකම හේතුවෙන් ගැටළු පැන නැගී අනවශ්‍ය ලෙස ඒවා උත්සන්න වෙමීන් පවතී.
     
    මානසීක පීඩා හටගත් පිරිස සමාජය තුල වැඩිවුව හොත් නියත වශයෙන් සැකය,අපිළිවෙළ,අසතුට,උපදෙස් පිළි නොපැදීම ආදී තත්ත්ව මිනිසුගෙන් මතුවීම වලකාලිය නොහැකියි.නමුත් සිත පිළිබදව දැඩිව කතා කරන බුදු දහමෙහි අන්තර්ගත අලෝභ,අදෝෂ,අමෝහ යන ඉගැන්වීම් නිදහස් චින්තනය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී ධර්ම කරුණු  පිළිපැදීමෙන් සහජීවනයේ මාවත හෙළිකර ගැනීමේ හැකියාව තිබේ.ඒ කිසිවක් නැතත් පංචශිල ප්‍රතිපත්තිය රැකිය හැකි නම් සහජිවනය සදහා එයම ප්‍රමාණවත්ය.චේතනාවට අනුව සියල්ල සිදුවේය යන්නත්,ඔබට මෙන්ම ඔබගේ අසල්වැසියාට ද ප්‍රේම කරන්න,ඔබේ දිවෙන් අනුන් නොරවටන්න ආදී වශයෙන් පවතින කිතු දහමේ ඉගැන්වීම් වලින් ද, " දෙවියනි, මාගේ ජීවිතයට,සර්ව ලෝකයේ සියලු වස්තූන්ගේ අධිපතියන්,සියලු මිනිස් වර්ගයාම එකිනෙකාට සහෝදරයන් බවට සත්‍යයයි".ආදි ලෙස ඉස්ලාම් දහමේ කරන ඉගැන්වීම් වලින් ද,බුදු දහමේ භාවනා ක්‍රම බදු වු යෝගි ක්‍රමවේද මගින්,සාම මන්ත්‍රය වැනි ඉගැන්වීම් මගින් හිංදු දහම පෙන්වා දෙන පරිදි ද සාම මාවතට අදාල සර්ව ආගමික ඉගැන්විම් අවබෝධයට ගත හැකි ය.
     
    මෙවැනි දෑ නිතර පරිහරණය කිරීමෙන් ගැටුම් මැඩ මනා කළමණාකරණයකින් යුතුව මානව සාමය හා මානව ධර්මතා සංවර්ධනය කරගත හැකිය.හිත් සුවපත් බව පෙන්වන දයාව,කරුණාව,ඉවසීම,මානව සේවය, තෘප්තිය, සත්‍යවාදී බව,සංතෘප්තිය  සතුට,සාධාරණ බව, සහවේදනය,බෙදා හදා ගැනීම,සංවේදී බව ආදීය ගොඩනගා ගැනීම එයින්ම සිදුකර ගත හැකියි.මෙබදු කරුණු කාරණා මත සියලු දෙනා පිළිවෙතින් පෙළ ගැසුන හොත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය,සාමාජීය ප්‍රචණ්ඩත්වය ඒවා මතු කිරීමට තුඩු දෙන මාධ්‍ය ප්‍රචණ්ඩත්වය ආදී සියලු ප්‍රචණ්ඩතා මැඩ අඛණ්ඩව ගොඩනැගෙන සහජීවනයක් රදවාගෙන ලොවටම අදර්ශයක් දිය හැකිය.භෞතික සංවර්ධනයට පෙර අධ්‍යාත්මික සංවර්ධනය පිළිබද මාවත හෙළිපෙහෙළි කරගැනීමෙන් මනා මනසකින් හෙබි මිනිසුන් හරහා සංහිදියාවේ සංවර්ධනයත් ඉන් ශ්‍රීලංකාවේ සංවර්ධනයත් සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව උදා වේ.
     
    සටහන
    - ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya