මාර්තු 24, 2019

tami eng youtube google twitter facebook

    ගල් අඟුරු මිළදී ගැනීම සොයාබැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

    අගෝස්තු 10, 2016

    ගල් අඟුරු මිළදී ගැනීම සම්බන්ධව පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරි පත් කළේ ය.


    කමිටු වාර්තාව පෙන්වා දී ඇති ආකාරයට  තවදුරටත් විනිවිද භාවය සුරැකෙන ආකාරයට මෙම ජාතික කර්තව්‍යය මතභේද වලට තුඩු නොදෙන පරිදි ඉදිරියේදී ක්‍රියාකරන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ ය.



    තවදුරටත් අඳහස් දැක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා;

    පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තාවල පලවූ ද සමාජයේ කථා බහට ලක්වූ ද 2015 වසරේ ගල් අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් මා සහ මාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දීර්ඝ ලෙස කරුණු සොයා බැලීමෙන් පසුව එම කාරණය සම්බන්ධයෙන් මා මේ ගරු සභාවට 2016 පූලි 23 දින විශේෂ ප්‍රකාශයක් කරන්නට යෙදුනා. එම ප්‍රකාශයෙන් පසුව බොහෝ දුර්මත පහවී ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. මා එම ප්‍රකාශය කරමින් මේ ගරු සභාවට දන්වා සිටියේ ප්‍රශ්ණගත කාරණය සම්බන්ධයෙන් මා ඒ වන විටත් පත්කර තිබූ ස්වාධීන විද්වත් කමිටුවේ වාර්තාව 2016 ජූලි මස 29 දින මා වෙත ලැබෙන්නට නියමිත බවත් එම වාර්තාව ලද පසුව එහි නිරීක්ෂණ අනුව තව දුරටත් අවශ්‍ය කටයුතු කරන බවත්ය.

        මා විසින් දැන්වු පරිදි එම වාර්තාව 2016 අගෝස්තු මස 01 දින මා වෙත ලැබුණා. එම කමිටුවේ සංයුතිය වූයේ
              මහාචාර්ය විද්‍යාජෝති කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා මහතා              -  සභාපති
              මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල මහතා                                     - සාමාජික
              මහාචාර්ය ජනක ඒකනායක    මහතා                                       - සාමාජික


    ගරු කථානායක තුමනි,

    මෙම විද්වත් කමිටුව ඉතා ගැඹුරින් මෙම කාරණය අධ්‍යනය කර ඇති බව පෙනෙනවා. බාහිර පාර්ශවයන්ගෙන් කරුණු විමසා බලා ඇති අතර ප්‍රශ්නගත ගල් අගුරු ටෙන්ඩරයේ පරිපාලනමය පියවරයන් ද පරීක්ෂා කර තිබෙනවා. පරීක්ෂණ වාර්තාවේ නිගමනයන් වශයෙන් දක්වා ඇති කරුණු මා මේ අවස්ථාවේදී මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නට කැමතියි. ඒවා පහත සදහන් පරිදි වේ.

       

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ගල් අඟුරු මිළදී ගැනීම සඳහා ක්ෂණික මිළදී ගැනීම් ටෙන්ඩර් ක්‍රමය (Spot Tender)  හඳුන්වා දී ඇත. වාර්තාවේ වගු 01 න් පෙන්වා දී ඇති පරිදි දීර්ඝකාලීන ටෙන්ඩර් ක්‍රමය මඟින් ගල් අඟුරු මිළදී ගැනීම සමඟ සසඳා බලන විට ක්ෂණික ගල් අඟුරු මිළදී ගැනීමේ ක්‍රමය (Spot Tender) මගින් ගල් අඟුරු මිළදී ගැනීමෙන් පසුගිය වසර තුළ දී ඇ.ඩො.දශලක්ෂ 7.6 ක මුදලක් ඉතිරි වී තිබෙනවා.

       

    අමාත්‍යාංශය දැනට ගල් අඟුරු මිළදී ගැනීමේදී  ක්ෂණික මිළ දී ගැනීම් (Spot Tender) ක්‍රමය මත පමණක් විශ්වාසය නොතබා දීර්ඝ කාලීන ස්ථාවර ටෙන්ඩර් ක්‍රමය හා ක්ෂණික  මිළදී ගැනීමේ ක්‍රමය යන ක්‍රම දෙකම යොදා ගනිමින්  මිශ්‍ර   ප්‍රසම්පාදන ක්‍රමයක් ක්‍රියාත්මක කරයි.  මෙම ක්‍රමය තුළින් ගල් අඟුරු සැපයුම් සුරක්ෂිතතාවය ඇති කිරීමට හා සැපයුම් මූලාශ්‍ර ගණන වැඩි කිරීමට හැකි වී ඇත. (Source Diversity and Supply Security)


    ලෝක වෙළඳපොළෙහි ගල් අඟුරු මිල ගණන් වෙනස් වීම් සැලකිල්ලට ගැනීමේදී   ක්ෂණික ටෙන්ඩර් සහ දිගු කාලීන ටෙන්ඩර් ක්‍රමයෙහි තුලනයක් පවත්වා ගැනීම ඉතාවැදගත් වේ.

    ගල් අඟුරු කැටවල ප්‍රමාණය (Size)    මිළ තීරණය සඳහා යොදාගැනීම පිළිබඳ ගැටලුව විසදීම සඳහා ලොකු කැබලි සහිත ගල් අඟුරු කුඩු කිරීම සඳහා යන වැඩි වියදම දල එම කාර්යාවලිය තුළ ඇතිවන පාරිසරික බලපෑම් ද පිළිබඳව ගැඹුරු අධ්‍යනයකින් පසුව කුඩා කැබලි සහ ලොකු අඟුරු කැබලි පිළිබඳ තාක්ෂණික පිරිවිතර නීර්ණායකයන්ට අදාළ වගන්ති ටෙන්ඩර් ලියකියවිලිවලට හඳුන්වා දිය යුතුය .

        

    ගල් අඟුරුවල කැට වල ප්‍රමාණය  අනුව මිළට අධිභාරයක් පැනවීමෙන් පසුව වුවද  මුල්ම ලංසු මිළ හා සසඳා බලන විට සාකච්ඡා කර එළඹෙන ලද මිළ නිසා අප රටට ඇ.ඩො.287,029.73 ක ශුද්ධ ඉතිරියක් ඇති කර දීමට හේතු වී ඇත.

       

    ටෙන්ඩර් ලේඛණවල සඳහන් ගල් අඟුරුවල කැටවල ප්‍රමාණය යන නිර්ණායකය සදහා අධිභාරයක් පනවා දීර්ඝකාලීන ටෙන්ඩරය මගින් ගල් අඟුරු මිළදී ගත්තද මේ දක්වා මිළදී ගෙන ඇති නැව් වලින් විශාල ප්‍රමාණයකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය ලාභයක් ලැබෙනු ඇත. ඊට අදාළ විස්තර ප්‍රස්තාර රූපසටහන් 4 හි ඇතුළත් වේ

     

    ගල් අඟුරු සඳහා ගෙවන මිළ පදනම් වන්නේ නැව් ගත කරන අවස්ථාවේ දී පැවති දර්ශක මිළ මත වූව ද ගල් අඟුරු තොග විවිධ රටවලින් එනම් ඉන්දුනීසියාවල දකුණු අප්‍රිකාවල ඔස්ට්‍රේලියාවල රුසියාව වැනි රටවලින් නැව් ගත කරනු ලබන බැවින් ගල් අඟුරු මිළ තීරණය කිරීම සඳහා සංයුක්ත(Composite) දර්ශකයක් භාවිතා කිරීම සුදුසු යයි යෝජනා කෙරේ.

     

    මේ දක්වා දීර්ඝ කාලීන හා ක්ෂණික මිළදී ගැනීම් (Spot Tender)  ටෙන්ඩර් ක්‍රමය යන ක්‍රම දෙක යටතේ මිළදී ගත් සමස්ථ ගල් අඟුරු ප්‍රමාණය සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල සලකා බැලීමේදී රජයට අනිවාර්යයෙන්ම මූල්‍ය වාසියක් ඇති බව සඳහන් කළ හැකිය.


     මෙම නිගමනයන් අනුව පෙනී යන්නේ ද විශාල ආන්දෝලනයක් ඇති කළ මෙම ගල් අගුරු මිළදී ගැනීම නිසා ලං.වි.ම. ට පැහැදිලි ලාභයක් සිදුවී ඇති බවයි.

       

    තවද අපි දැනට ඉතා දූරදර්ශීව ගෙන ඇති පියවරක් වන  ක්ෂණික මිලදී ගැනීම (Spot Tender)සහ දීර්ඝකාලීන මිලදී ගැනීම් යන ගල් අඟුරු ප්‍රසම්පාදන මිශ්‍රණය ඉතා විශ්වාසවන්ත එසේම ලාභදායී පියවරක් බවද පෙන්වා දී තිබෙනවා.

    කමිටු වාර්තාව පෙන්වා දී ඇති ආකාරයට ගල් අගුරුවල  "ප්‍රමාණය” (Size)   සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අවශ්‍ය තාක්ෂණික පිරිවිතර නිර්නායකයන් අදාල ප්‍රසම්පාදන ලියකියවිලි වලට ඇතුලත් කරමින් මේ සම්බන්ධයෙන් තවදුරටත් විනිවිද භාවය සුරැකෙන ආකාරයට මෙම ජාතික කර්තව්‍යය මතභේද වලට තුඩු නොදෙන පරිදි ඉදිරියේදී ක්‍රියාකරන බවට ද ප්‍රකාශ කරමින් එම සම්පූර්ණ කමිටු වාර්තාව මේ අවස්ථාවේ දී සභාගත කරමි යැයි පැවසී ය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu