මාර්තු 26, 2019

tami eng youtube google twitter facebook

    තෙත් බිමේ කතාව...

    පෙබරවාරි 02, 2016

    ස්වභාව ධර්මයේ අපූරු නිමැවුමක් වන පාරිසරික විවිධත්වය තුළ තෙත් බ්ම් වලට හිමි වනුයේ මුලික ස්ථානයකි. සෑම රටකම සමතුලිත පාරිසරික තත්වයක් රැකදීමෙහි ලා මෙමගින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාම සෑම වසරකම පෙබරවාරි 02 වන දින ජගත් තෙත් බිම් දිනය ලෙස නම් කර තිබේ.

    බාහිර භෞතික පරිසරයට සාපේක්‍ෂව පහත් බිමක පිහිටා ඇති, පාංශු සැකැස්‌ම ජලයෙන් සමන්විත තෙත්බිම් වැඩිම කාලයක්‌ ජලයෙන් පිරී පවතින භූමිය පැළෑටි, පඳුරු සහ ගස්‌වලින් සැකසී ඇත. තෙත් බිම් පරිසර පද්ධතීන් ආවේණික වූ ජෛව විවිධත්වයකින් ද සමන්විතය. මෙවැනි පරිසර පද්ධතියකට වැසි දිය මඳ වශයෙන් ලැබුණද, ජලය ගලා නොගොස්‌ රැඳී පවතින බැවින් ජලයෙන් සංතෘප්තව පවතී. එනම් පස ස්‌පොන්ඡ් ස්‌වභාවයක්‌ ගනී.

     

    පරිසර පද්ධතියක්‌ තුළදී එකිනෙකට වෙනස්‌ තෙත්බිම් පවතී. වගුරු වනාන්තර, කඩොලාන, තලා, පිටාර තැනී, මෝය, ඩෙල්ටා, උදම් ඊට උදාහරණ වෙති. ස්‌වාභාවිකව හෝ කෘත්‍රිමව නිර්මාණය වූ කරදියෙන් හෝ මිරිදියෙන් සමන්විත ගලා යන දිය, නිශ්චල දිය හෝ සාගර කලාපයේ නම් මීටර් 06 ක්‌ ගැඹුරැති ප්‍රදේශයෙන් ආදී වූ පාරිසරික තත්ත්වයන් හමුයේ තෙත්බිම් නිර්මාණය වේ. තෙත්බිම් පරිසර පද්ධතීන් ජල විද්‍යාත්මකව, ජෛව විද්‍යාත්මකව මෙන්ම පාංශු විද්‍යාත්මකව ද වැදගත් කාර්ය භාරයක්‌ සොබා දහමට ඉටු කරති.

     

     

    1960 දශකයේ යුරෝපය තුළ තෙත් බිම් සීඝ‍්‍රයෙන් අඩුවීම හා ජලාශ‍්‍රිත පක්ෂීන් විශාල ලෙස වද වීම යාම මූලික කොට ගනිමින් තෙත්බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් 1971 පෙබරවාරි මස 2 දින ජාතීන් 18කගේ සහභාගිත්වයෙන් ඉරානයේ රැම්සාර් නුවරදී පවත්වන ලදි. එහිදී ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතියක් අත්සන් තබන ලද අතර එය රැම්සාර් සම්මුතිය නමින් හැදින්වේ. 1971 අත්සන් තබා සම්මත කර ගත් මෙම සම්මුතිය 1975 වසරේ සිට බලාත්මක වී ඇත. මෙම සම්මුතිය ලෝකයේ තෙත්බිම් සංරක්ෂණය හා යහපාලනය සඳහා ක‍්‍රියාත්මක වන අතර දැනට රටවල් 160 කට වැඩි ප‍්‍රමාණයක් මෙයට අත්සන් තබා තිබේ. මෙම සම්මුතියෙහි පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ,

     

        ”ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන් ම ජාතික හා අනතර්ජාතික සහයෝගිතා මගින් සියලූ තෙත්බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිතා කිරීම ”

     

    යන්නයි. මීට අමතරව මෙමගින් තිරසර සංවර්ධනය පරිසර පද්ධති සම්බන්ධයෙන් හිතකර කිරීම සඳහා ”නැණවත් භාවිතාව” නමින් චින්තනයක් ද ක‍්‍රියාත්මක කෙරේ. මෙම සම්මුතිය දැනට ලෝකයේ ක‍්‍රියාත්මක වන්නාවූ පැරණිතම නූතන අන්තර්ජාතික එකගතාව වශයෙන් ද සැලකේ. මේ වන විට මෙයට සම්බන්ධ වන තෙත්බිම් සංඛ්‍යාව දහසට වැඩි ය.

     

    1990 වසරේ ජුනි 22 වැනි දින ශ්‍රී ලංකාව ද මෙකී සම්මුතියේ පාර්ශ්වකරුවකු වශයෙන් එකී සම්මුතිය හා සමග එකතු විය. රැම්සාර් සම්මුතියට අයත් මෙරට සතු තෙත් බිම්වල අයිතිය දරනුයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වේ.

    වසර 6000 කට පමණ පෙරදී ජනාවාස ගොඩනගා ගත් ජනයා නයිල් නිම්නය, ඉන්දු නිම්නය, යුප්‍රටීස්‌ - ටයිග්‍රීස්‌ නිම්නයන් ආදී වූ තෙත් බිම් ආශ්‍රිතව ලොව ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාර කළහ. ජනාවාස ව්‍යාප්තියට බලපාන මූලිකම සිද්ධාන්තයන් වන එම ප්‍රදේශයේ වැසි රටාව, ජලය, භූමියේ පිහිටීම ආදිය පිළිබඳවත් සැලකිලිමත්ව ගංගා නිම්න ආශ්‍රීතව ජනපද ගොඩනඟාගත් ජනතාව ඇළ දොළ ගංගා පමණක්‌ නොව කලපු, මුහුදු, සාගර ආශ්‍රිතව පරිභෝජනය සකසා ගත්තද ජනපද ව්‍යාප්ත වත්ම අවශ්‍යතා සංකීර්ණ විය.

    ශ්‍රී ලාංකේය ඉතිහාසය ගවේෂණයේදී ජනාවාස දෙකක්‌ ගංගාධාර තෙත් බිම් පරිසර පද්ධතීන් ඇසුරේ ජනපද ඉදිකරගෙන ජීවත් වූහ. මල්වතු, කලාඔය, වලවේ නදී නිම්න ආශ්‍රිතව යක්‍ෂ ගෝත්‍රික ජනතාවත්, විජය කුමරුන්ගේ ලංකා ගමනයෙන් ඉනික්‌බිතිව විජය ඇතුළු පිරිවර ද මල්වතු ආශ්‍රිතව ස්‌ථාන ගත වෙමින් ජනාවාස පිහිටුවා ගත්හ.

    අතීත මුතුන් මිත්තන්ගේ කෘෂිකාර්මික ජීවන රටාව තුළ තෙත් බිම් සමග දැඩිව බැඳී සිටියද වර්තමානයේ භෞතික ජෛව සම්පත් පරිහරණය නිසා සිදුවන පරිසර දූෂණයේ අනිසි ප්‍රතිඵල තෙත්බිම් විනාශයට මඟ කියති.

    සංවර්ධනය වෙමින් පවත්නා රටකට භූමිය යනු අනඟි සම්පතකි. භූමිය සීමිතය. භාවිතය අසීමිතය. නාගරීකරණ සංකල්පය හමුවේ තෙත්බිම් යනු සංවර්ධනයට බාධාවකි. ජලය ගලා නොබැස එක්‌තැන රැඳී පවතිමින් දුඟද හමන නිසරු බිමකි. එබැවින් තෙත්බිම් ගොඩ කර නොයෙකුත් ඉදිකිරීම් සිදු කරති.

    ශ‍්‍රී ලංකාව ගත්කළ තෙත්බ්ම් බහුල වශයෙන් හඳුනාගත හැකි රටකි. කරදිය , මිරිදිය මෙන් ම කෘත‍්‍රීම තෙත්බිම් ද ඒ අතර වේ. කලපු, කඩොලාන, කොරල්පර, මුහුදු තෘණබිම් හා මෝය කරදිය තෙත්බිම් ය. මිරිදිය වගුරු, ගංගා, ඇල-දොල, ඔයවල් මිරිදිය තෙත්බිම් වලට අයත් වේ. කුඹුරු, වැව් හා ජලාශ වලින් යුත් කෘත‍්‍රීම තෙත්බිම් වලින් ද ලංකාවේ තෙත්බිම් පද්ධතිය ගොඩනැගී තිබේ. එනිසාම ලෝක තෙත් බිම් ප‍්‍රමාණයෙන් විල් හැරුණු විට අනිකුත් සියලූ අංගයන්ගෙන් සමන්විත අපූරු සොභා සෞන්දර්යකින් යුතු රටක් ලෙස ලෝකයේ ම පිළිගැනීමට ලක්ව තිබීම අප කාගේත් සිත් වලට නිරහංකාර ආඩම්බරයක් ද එක් කරයි.

    ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්‌ඩ තුනකි.

    1. ගංගා, ඇලදොල, විල්ලු, මිරිදිය වගුරු වනාන්තර ඇතුලත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්
    2. කුඹුරු, වැව්, ජලාශ ඇතුලත් වන කෘතිම තෙත්බිම්
    3. මෝය, කඩොලාන, කලපු, කොරල්පර, මුහුදු තෘණ බිම් ආදිය ඇතුලත් වන කරදිය තෙත්බ්ම්

    තෙත් බිම්, ස්‌වභාවික විපත් පාලනය මෙන්ම වැසි ජලය අපවහනය වීමට ඉඩ නොදි ගබඩාකරණය කිරීම මඟින් ගංවතුර පාලනය කිරීමට සුවිශාල දායකත්වයක්‌ දරයි. කෘෂිකර්මයට, ජල විදුලිය නිපදවීමට, ලූණු කර්මාන්තයට මෙන්ම තවත් මිනිසාගේ ජීවනෝපාය සඳහා වැදගත් වන කර්මාන්ත රාශියකට අවශ්‍ය දායකත්වය සපයයි. ප්‍රවාහන කටයුතු සඳහාද මිනිසාට තෙත් බිම් වැදගත් වේ. මේ අනුව පරිසරය සමතුළිතව තබා ගනිමින් ස්‌ථායි පරිසර පද්ධතියක්‌ සැලසීමේ මහඟු විද්‍යාත්මක යාන්ත්‍රනයට තෙත් බිම් සෘජුවම දායක වේ.wet land

    ස්‌වභාවික තෙත් බිම් වලට අමතරව කෘතිම තෙත්බිම් ඝණයට වැටෙන කුඹුරු, වැව් සහ ජලාශ ශ්‍රි ලාංකික සංස්‌කෘතියට, මානව ශිෂ්ටාචාරයට මෙන්ම පෝෂණයට අවශ්‍ය සුවිසාල දායකත්වයක්‌ දරයි.

    ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇති තෙත්බිම් 41 කට ආසන්න ප්‍රමාණයක්‌ වර්ග කිලෝමීටර් 2740 ක්‌ පුරාවට ව්‍යාප්තව පවතී. ඒ අතර ස්‌වාභාවික මෙන්ම මිනිසාගේ මැදිහත්වීම මත නිර්මාණය වූ තෙත් බිම් ද විසිර පවතී. සංවර්ධනය වෙමින් පවතින අප රට තුළ ව්‍යාප්තව ඇති තෙත් බිම් පරිසර පද්ධතීන් අතුරින් ආර්ථිකමය, සංස්‌කෘතිකමය, විද්‍යාත්මක සහ විනෝදාත්මක වශයෙන් වටිනාකමකින් අනූන වූ ජාත්‍යන්තර රැම්සා සම්මුතියට අයත් තෙත් බිම් පරිසර පද්ධති 06 ක්‌ ප්‍රකාශයට පත් කර ඇත.

    1. බුන්දල ජාතික උද්‍යානය
    2. වයඹ පළාතේ ආනවිලූන්දාව අභය භූමිය
    3. දකුණු පළාතේ මාඳුගඟ අභය භූමිය
    4. මන්නාරම් දිස්ත‍්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය
    5. කුමන - පානම අභයභූමිය
    6. විල්පත්තුව

    1969 දෙසැම්බර් 05 වන දින අභය භූමියක්‌ ලෙසටත් 1993 ජනවාරි 04 දින ජාතික උද්‍යානයක්‌ බවට පත්වූ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම රම්සා තෙත්බිම ලෙස 1990 වර්ෂයේ ඔක්‌තෝම්බර් 15 වන දින ප්‍රකාශයට පත් කෙරුණු බුන්දල ජාතික උද්‍යානය සතු කලපු පද්ධතිය ඉන්දු ආසියා පක්‍ෂි සංක්‍රමණ මාර්ගයේ නවාතැනක්‌ බවට පත්ව ඇත. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති මෙම රම්සා තෙත් බිමේ වර්ග ප්‍රමාණය හෙක්‌ටයාර් 6216 ක්‌ පමණ වේ. එහි තිබෙන ප්‍රධාන කලපු ලෙස මලල බුන්දල දැක්‌විය හැකි අතර ඒ ආශ්‍රිත වගුරු බිම් සහ තෘණ බිම් සංක්‍රමණික සුන්දර සුවපහසු නවාතැනක්‌ සපයයි. වන සත්ත්ව සහ වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතේ රැකවරණය ලබමින් බුන්දල ජාතික උද්‍යානය නමැති අන්තර්ජාතික රම්සා තෙත් බිම ශ්‍රී ලංකාවට ආර්ථික, සංස්‌කෘතික මෙන්ම මෙන්ම සමාජයීය දායාදයකි.

    මාදුගඟ අභය භූමියක්‌ ලෙස 2006 ජුනි 20 දින ප්‍රකාශයට පත්වූ අතර 2003 දී එය රම්සා තෙත් බිමක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ප්‍රමාණයෙන් හෙක්‌ටයාර් 2300 ක්‌ විශාලත්වය දරමින් දකුණු පලාතේ ගාල්ල දිස්‌ත්‍රිකක්‌යේ බලපිටිය සහ කරන්දෙනිය ප්‍රාදේශීය ලෙකම් කොට්‌ඨාශ වල මෙය පැතිරී ඇත. අභ්‍යන්තර තෙත්බිම් රාශියකින් මෙන්ම දූපත් විශාල සංඛ්‍යාවකින් මෙය සමන්විත වේ. මෙහි බහුලව කඩොලාන ශාක ප්‍රජාව දැකිය හැකිය. ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම වඳවීමේ තර්ජනයට ලක්‌වූ ජීවි විශේෂ දැකිය හැකිය. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සඳහා සෞන්දර්යාත්මක වටිනාකමක්‌ මෙන්ම දේශීය ජනතාවගේ ආර්ථික දායාදයකි. බවට මෙය පත්ව ඇත.

    පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ පිහිටා තිබෙන අනවිලුන්දාව රම්සා තෙත්බිම 1997 ජුනි 11 දින වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත යටතේ අභයභූමියක්‌ ලෙස ප්‍රකාශයට පත්කළ අතර 2001 අගෝස්‌තු 03 දින රම්සා තෙත් බිමක්‌ ලෙස පිළිගන්නා ලදී. මෙය සංක්‍රමණික පක්‍ෂීන්ගේ නවාතැන්පලක්‌ මෙන්ම ඓතිහාසික සංස්‌කෘතික මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන තෝතැන්නකි.

    අධ්‍යාපන හා සංරක්‍ෂණ කලාපයක්‌ ලෙස 1980 දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගත් බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියක්‌ ලෙස 1990 ජුලි 25 දින ප්‍රකාශයට පත්විය. හෙක්‌ටයාර් 372 පමණ බිම් ප්‍රදේශයක්‌ ඇති මෙය ආසියාවේ වැදගත් තෙත්බිම් නාමාවලියට ඇතුලත්ය. මෙහි ඇති වගුරු බිම් බෙල්ලන්විල, බොරලැස්‌ගමුව, පැපිලියාන, නැදිමාල, නුගේගොඩ, ආදී ප්‍රදේශ වලට එකතු වන වැසි ජලය රඳවා තබා ගැනීමේ ස්‌පොන්ජ එකක්‌ ලෙස ක්‍රියාත්මක වේ. අභය භූමියක්‌ තුළ රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම් තිබිය හැකි බවත් එකී පුද්ගලික හෝ රජයේ ඉඩම් සඳහා වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ 7 වන උප වගන්තිය ක්‍රියාත්මක වන බව ජනතාව අවබෝධ කරගත යුතු කරුණක්‌ වේ.

    1996 ඔක්‌තෝම්බර් 31 දින හෙක්‌ටයාර 1285. 8 ක්‌ සහිත ප්‍රදේශයක විහිදී ඇති මුතුරාජවෙල අභය භූමියක්‌ ලෙස වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ජා ඇල, වත්තල, කටාන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුල පැතිරී ඇති මෙය ආශ්‍රිතව සුප්‍රසිද්ධ "හැමිල්ටන්" ඇළ පවතී. ආසියානු තෙත් බිම් ලැයිස්‌තුවේ 41 වන ස්‌ථානයට පත්වී ඇති මෙය සංක්‍රමණික පක්‍ෂීන්ගේ කදිම නවාතැන් පොලකි.

    ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ හික්‌කඩුව ප්‍රදේශයේ තිබෙන හික්‌කඩුව ජාතික උද්‍යානය අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ සුවිශේෂී කොරල් සහිත පරිසර පද්ධතියක්‌ වශයෙන් වන අතර එය වැදගත් කරදිය තෙත් බිමකි.

    එසේම ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ නිට්‌ටඹුව ප්‍රදේශයේ තිබෙන හොරගොල්ල ජාතික උද්‍යානය තුලද ඉතා ආකර්ශණීය අභ්‍යන්තර තෙත්බිම් දැකිය හැක. මීට අමතරව වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනතේ 2 උප වගන්තිය යටතේ රක්‍ෂිත ලෙෂ ප්‍රකාශයට පත් කර තිබෙන ජෛව විවිධත්වය අතින් ඉතාමත් ඉහළ මට්‌ටමක පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක්‌ දක්‌වන තෙත්බිම් ලෙස ලුණුගම්වෙහෙර, කවුඩුල්ල, මින්නේරිය, සෝමාවතිය, වස්‌ගමුව, උඩවලව, විල්පත්තුව, ගල්ඔය ආදී ජාතික උද්‍යාන හැඳින්විය හැක.

    දකූණු පළාතේ බුන්දල ජාතික වන උද්‍යානය මෙරට ප‍්‍රථම රැම්සාර් තෙත්බිම වශයෙන් 1990 ජූනි 15 වන දින නම් කර ඇත. මීට අමතරව මුතුරාජවෙල අභය භුමිය, කලමැටිය, හික්කඩුව, රූමස්සල වැනි අභය භූමි 42ක් පමණ ආසියානු තෙත්බිම් නාමාවලියට ඇතුලත් කර තිබීමත් විශේෂත්වයකි. මේ නිසාම තෙත් බිම් පාරිසරික සම්පත් උපරිම වශයෙන් ඇති රටක් ලෙස අප රට සැලකීම සාවද්‍ය නොවේ. අතීතයේ සිට ම කෘෂිකාර්මික රටක් වන ලංකාවට කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පාදනය, වැව් මගින් වැසි ජගය ගබඩා කර ගැනීම, ලූණු කර්මාන්තය මෙන්ම ජල විදුලිය නිපදවීම වැනි කර්මාන්ත රැසකට මේවා මගින් විශාල දායකත්වයක් ලබා දෙයි. තවත් අතකට කඩොලාන ශාක ප‍්‍රජාව මගින් වෙරළ ඛාදනය වැලක්වීම, ස්වභාවික විපත් පාලනය කිරීම ආදී සේවා රැසක් ද ඉටු කෙරේ.

    මේ අනුව වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත ශ්‍රී ලංකාවේ තෙත්බිම් සංරක්‍ෂණයට සෘජුවම හා සක්‍රීයව සපයන දායකත්වය අප මඟ බිමේ ජෛව විවිධත්වය සුරකිමින් පරිසරය සමතුළිතව තබා ගැනීමටත් , ඒ තුළින් දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ශණය දිනා ගැනීමටත් හේතු වේ. මෙය ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක්‌ කරා යන ගමනේදී අතිශයින්ම වැදගත් මාර්ගෝපදේශයක්‌ සපයන බව ඉඳුරාම කිව යුතුවේ.

    වර්ෂාවෙන් අතිරික්‌ත ජලය ගලා විත් රැස්‌ වනුයේ පහත් බිමෙහි පිහිටි තෙත් බිම්වලට බැවින් ගං වතුර සමයට අතිරික්‌ත ජල ගබඩාවක්‌ වශයෙන් ක්‍රියාකරයි. ස්‌පොන්ඡ් තත්ත්වයේ පසු වන පස ගංවතුර සමග ගලා එන අපද්‍රව්‍ය රැගත් ජලය පස්‌ ස්‌ථරය හරහා භූගත ජලය තෙක්‌ මනා ලෙස පෙරී බේරී යයි. රොන් මඩ ආදියෙන් සමන්විත පස කඩොලාන ශාක සැකැස්‌මට කදිමය. කඩොලාන පරිසර පද්ධතියක්‌ යනු සංචාරක ආකර්ෂණය බැඳ ගන්නා ස්‌ථානයක්‌ වන්නා සේම එකී පරිසරය අනන්‍ය වූ ජීවී විශේෂයන්ට ව්‍යාප්ත වීමට ආරක්‍ෂිත පසුබිමද සපයති. වායුගෝලීය උණුසුම වැඩි කරනු ලබන අහිතකර මුදා හැරීම් කාබන් ආදිය වැඩි වශයෙන් අවශෝෂණය කර ගනී. වෙරළ ඛාදනයට විරුද්ධව ක්‍රියාත්මක වන ආරක්‍ෂිත වැටි වශයෙන් (කඩොලාන) ක්‍රියා කරයි.

    තෙත් බිම් පරිසර පද්ධතීන් මූලික වශයෙන් මුහුණ දී සිටිනුයේ අනවසර ඉදිකිරීම්, ගොඩ කිරීම්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ආදී මානව ක්‍රියාකාරකම්වලට වේ. සමහරෙක්‌ අනවබෝධී ව්‍යාපෘතීන් සඳහා තෙත් බිම් පරිසර පද්ධතීන් යොදා ගනිති. වෙරළාශ්‍රිත ස්‌වාභාවික තෙත් බිම්, ලුණු ලේවායන් ආදිය තැනීමට යොදා ගනියි. කර්මාන්තශාලා ආදියෙන් කාර්මික අපද්‍රව්‍ය බැහැර කරනුයේද තෙත්බිම් වෙතටය.

    තෙත්බිම් ආශ්‍රිත රැකියාවන්හි නියුතු වූවෝ නොදැනුවත් කමින් මෙකී පරිසර පද්ධතීන් වනසති. ඉස්‌සන් කොටු ඉදිකිරීමට දැව දඬු සඳහා කඩොල් ශාක කපති. එසේම මසුන් කොටු සඳහා අවශ්‍ය මස්‌ අතු ද සොයමින් කඩොල් පරිසරය වනසති. මෙකී පරිසර පද්ධතීන් අවට කෘෂිකර්මාන්තයන්හි නිරතව සිටින්නෝ තෙත් බිම් බලා ගලා බසිනා දිය පහරවල් තම වගා ප්‍රදේශයන් හරහා ගමන් කරන සේ සකස්‌ කර ගනිති. කෘෂි රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර පාංශූ දූෂණයට මුල් වේ. කාර්මික අපද්‍රව්‍ය බැහැර කරලීම නිසාවෙන් මෙකී බිම් ආශ්‍රිත ජලය දූෂිත වේ. මාදු ගඟ ආදී තෙත් බිම් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයේ යෙදෙන බෝට්‌ටු මගින් ජලයට මුදාහරින තෙල් වැනි අපද්‍රව්‍ය ද ජලය සමඟ මුසු වේ.

    බෝට්‌ටු ගමන් මාර්ගයන්හි ඇති විශේෂිත ජලජ පැළෑටි එමගින් විනාශ වෙති. මේ වනවිටදී ලෝකවාසීන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ නිරන්තරයෙන්ම අවිනිශ්චිතව සිදුවන දේශගුණික විපර්යාසයන් කෙරෙහිය. තෙත්බිම් සංරක්‍ෂණය කිරීම තුළින් අනාගතයේදී ඇතිවිය හැකි පාරිසරික ගැටලු බොහෝමයකට පිළියම් නිවැරැදිව සොයා ගැනීමටත්, අහිතකර වූ දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීමටත්, හැකිවනු ඇත. ඒ උදෙසා අප අද දිනයේ දී ගනු ලබන තීන්දු තීරණයන් හි නිවැරැදිතාවන් භුක්‌ති විඳිනුයේ අනාගත පරම්පරාවයි.

     

    සකස් කළේ-ගංගා වනසිංහ

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu