මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු ජනරජය සමඟ පවත්නා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතුයි

    මාර්තු 22, 2016

    ශ්‍රී ලංකා රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය අනුව, කොරියානු ජනරජය සමඟ පවත්නා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බවට ශ්‍රී ලංකා රජය අදහස් කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.  

     

    විදේශ කටයුතු අමාත්‍යවරයා, කොරියානු ජනරජය වෙත කරන ලද නිල සංචාරයක් අතරතුර මේ බව පවසා ඇති බව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

     

    කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනය නිකුත් කර ඇත.

     

    ''කොරියානු ජනරජය වෙත කරන ලද නිල සංචාරයක් අතරතුර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, සෝල් නුවර දී දෙරටටම ප්‍රතිලාභ අත්කරගත හැකිවන පරිදි ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ශ්‍රී ලංකාව අදහස් කරන බැව් පෙන්වා දෙන ලදි.

     

    කොරියානු විදේශ අමාත්‍ය යුන් බ්යුන්-සේ ද එම මතයේ පිහිටා සිටී. ශ්‍රී ලංකා රජය, කොරියාව සමග පවත්නා කම්කරු සබඳතා වල වැදගත්කම පෙන්නුම් කරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ විදේශ සේවා නියුක්තිය පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ද මෙම සංචාරයට එක්වූවාය. 2015 වසරේ නව රජය පත්වීමෙන් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කොරියානු ජනරජය වෙත කරන ලද පළමු නිල සංචාරය මෙය වේ. 

     

    ද්වීපාර්ශවීය සාකච්ඡා අතරතුර දී, දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් ශ්‍රී ලංකාව හා කොරියාව අතර පවත්නා දීගුකාලීන සබඳතා වල වැදගත්කම අවධාරණය කරන ලදි. 2017 වසරේ දී පැවැත්වීමට නියමිත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වල 40 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව දෙරට වෙත කරන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සංචාර ද ඇතුළුව ද්වීපාර්ශවීය සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳ ඔවුහු වැඩිදුරටත් සාකච්ඡා කළහ. ආයෝජනය හා වෙළඳාම යන කරුණු දෙක කෙරේ විශේෂ අවධානය යොමු කරමින් කොරියානු රජය සමඟ පවත්නා ආර්ථික සබඳතා පුළුල් කරගැනීම සඳහා ඇති අවශ්‍යතාවය ද මංගල සමරවීර මහතා විසින් අවධාරණය කරන ලදි.

     

    ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රතිසන්ධානය හා සංවර්ධනය තහවුරුකිරීම සඳහා දක්වන ප්‍රයත්නය සම්බන්ධයෙන් කොරියානු රජය විසින් විශ්වාසය තැබීම පිළිබඳ සමරවීර මහතා මෙහිදී විශේෂයෙන් අගයන ලදි.  ජාතික උපදේශන ක්‍රියාවලිය හරහා පූර්ණ සංහිඳියාව ළගාකරගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන අන්තර් කාලීන යුක්ති ක්‍රියාවලිය පිළිබඳ ඔහු වැඩිදුරටත් විස්තර කළේය. එමෙන්ම, මානව හිමිකම් කවුන්සිලයේ වර්තමාන සභාපතීත්වය දැරීම ඇතුළු, බහුපාර්ශ්වීය තලයේ දී කොරියානු ජනරජයේ ප්‍රායෝගික කැපවීම, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

    කොරියානු අර්ධද්වීපයේ මෑත කාලීන ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් පසුවන බවත්,කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව විසින් සිදුකරන ලද න්‍යෂ්ඨික අත්හදා බැලීම සහ දිගු දුර මිසයිල හදුන්වා දීම සමස්ත ලෝක ප්‍රජාව සමඟ එක්ව හෙලා දකින බවත් මංගල සමරවීර මහතා මෙහිදී කොරියානු විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දෙන ලදි.  එමෙන්ම, තම ජාත්‍යන්තර වගකීම් මත පිහිටා කටයුතු කරන ලෙසත්, ‍සමස්තයක් වශයෙන් ලෝකයේ හා කොරියානු අර්ධද්වීපයේ සාමය හා ආරක්ෂාව අනතුරේ හෙලන ආකාරයේ ක්‍රියාවල නිරත වීමෙන් වලකින ලෙසත් කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවෙන් ඉල්ලා සිටි බවත් ඔහු විසින් මෙහිලා සිහිපත් කරන ලදි.

    ආයෝජනය හා වෙළදාම ප්‍රවර්ධනය කිරීම, ගෝලීය වශයෙන් වැදගත් කාරණා වලදී සම්බන්ධ වී ක්‍රියා කිරීම, හා දැනුම මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීම යනාදී ඉලක්ක ‍සපුරා ගැනීම කෙරේ යොමු වූ ශ්‍රී ලංකා රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය අනුව, කොරියානු ජනරජය සමග පවත්නා ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බවට ශ්‍රී ලංකා රජය අදහස් කරන බව සමරවීර මහතා විශේෂයෙන් අවධාරණය කරන ලදි. ඒ අනුව දෙරටේ විදේශ අමාත්‍යවරුන් ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි අතර ඒ අනුව, යෝජිත ආර්ථික, වාණිජ හා තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමේ කටයුතු කඩිනමින් අවසන් වනු ඇතැයි යන්න ශ්‍රී ලංකා රජයේ බලාපොරොත්තුවයි.

    දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර ද්වීපාර්ශවීය දේශපාලන සාකච්ඡා නුදුරේදීම ආරම්භ කිරීමට දෙපාර්ශවය විසින් මෙහිදී තීරණය කරන ලදි. කොරියානු EXIM බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන නිල සංවර්ධන ආධාර සම්බන්ධයෙන් සහ ද්වීපාර්ශවීය සබඳතාවන්හිදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ කෘතවේදීත්වය මෙහිලා කොරියානු රජයට ඵලකිරීමට මංගල සමරවීර මහතා අමතක නොකලේය. එහිදී සංවර්ධන කාර්යයන්හි දී අඛණ්ඩව සහයෝගීතාවය දක්වමින් ශ්‍රී ලංකා රජයට සහය වීමට අදහස් කරන බව යුන් මහතා යලි අවධාරණය කලේය.

    මංගල සමරවීර මහතා කොරියානු රජය විසින් තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සිසුන්ට ලබා දෙන අවස්ථාවන් පිළිබඳ අගය කරන ලද අතර අධ්‍යාපන විද්‍යා, තාක්ෂණ හා නව නිපැයුම්, හා සංස්කෘතිය යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවය තවදුටත් වැඩිදියුණු කරගත හැකි ක්‍රම පිළිබඳව ද සාකච්ඡා කරන ලදි. Saemaul Undong නොහොත් නව ගම්මාන ව්‍යාපාරය ය‍ටතේ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා සහය වීම‍ට ද දෙපාර්ශවය අතර එකතාවයක් ඇති විය. කොරියානු විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.

    කොරියානු විදේශ අමාත්‍යවරයා සහ ‍රැකියා හා කම්කරු අමාත්‍ය ලී කි-ක්වෝන් සමඟ පැවති සාකච්ඡා වලදී මංගල සමරවීර මහතා, කොරියානු ජනරජය විසින් වාර්ෂිකව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබාදෙන රැකියා අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා රජයේ කෘතඥතාවය ඵලකරන ලදි. කොරියාවේ සේවා නියුක්ත 25,000කට ආසන්න ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන් විසින් දෙරටේ ආර්ථිකයන් කෙරේ ඇතිකරන ධනාත්මක බලපෑම ද මෙහිලා සමරවීර මහතාගේ ඇගයීමට ලක්විය. මෙම කාරණා වලට අමතරව, රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන වාර්ෂික රැකියා කෝටාව, ධීවර කර්මාන්තයේ යෙදී සිටින ශ්‍රමිකයන් සම්බන්ධ ගැටළු මෙන්ම ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ගේ සුභසාධනය හා ප්‍රතිලාභ ආරක්ෂා කිරීම හා ඔවුන්ගේ හැකියාවන් සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද සමරවීර මහතා සහ අතුකෝරාල මහත්මිය විසින් ඵලදායී සාකචඡා පවත්වන ලදි.

    කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍ය කන් හො-ඉන් මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී බස්නාහිර මෙගාපොලිස් සංවර්ධන සැලැස්ම ඇතුළු තාක්ෂණය මත පදනම් වූ ලංකාවේ සංවර්ධන කටයුතු වලදී කොරියාවේ නමගිය ව්‍යාපාර අයතන වලට ආයෝජනය සඳහා ආරාධනා කරන ලදි. කොරියානු පාර්ශවයෙන් ඒ සඳහා සුභවාදී ප්‍රතිචාර ලැබිණි. ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය වඩාත් හිතකාමී එකක් කිරීම සඳහා රජය විසින් ගනිමින් පවතින ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කොරියානු පාර්ශවය මෙහිදී දැනුවත් කරන ලදි. පසුගිය දා පැවති 2016 ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර සභාවට සහභාගී වූ කොරියානු නියෝජිත පිරිස සිහිකරමින් මංගල සමරවීර මහතා වෙළඳ හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා දෙරටේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල අතර වඩා හොඳ සබඳතාවයක් පවත්වාගත් යුතු බවටත් අවධාරණය කරන ලදි.

    KOICAහි සභාපති කිම් යොන්ග්-මොක් සමඟ පැවති සාකච්ඡාවේ දී මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රමුඛ ක්ෂේත්‍රයන් සඳහා KOICA ආයතනය වෙතින් ලබාදෙනු ලබන ආධාර හා තාක්ෂණික සහයෝගිතාවය සම්බන්ධයෙන් කෘතඥතාවය ඵලකරන ලදි.  KOICA මිත්‍රත්ව වැඩසටහන යටතේ ධාරිතා වර්ධනය සම්බන්ධයෙන් ලබාදෙන සහයෝගය සහ ඵලදායී සංස්කෘතික තානාපතිවරුන් වශයෙන් කටයුතු කරන KOICA ස්වේච්ඡා සේවකයන්ගේ සේවය ද අගයන ලදි. පුහුණු අවස්ථාවන් ලබාදීමෙන් සහ මව් රට වෙත යලි පැමිණීමේ දී අවශ්‍ය සමාජගත කිරීම් කටයුතු සඳහා KOICAඅයතනය විසින් ඉටුකරන කාර්යභාරය ද සාකච්ඡාවට භාජනය විය.

    කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිනී මනීෂා ගුණසේකර,මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියා සහ පැසිෆික් අධ්‍යක්ෂ සාවිත්‍රී පානබොක්කේ, කාර්ය මණ්ඩල ප්‍රධානී රන්සිරි පෙරේරා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩබලන කළමණාකරු කේ.එස්.පුෂ්පකුමාර සහ ‍සෝල්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya