අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටු ප්‍රසාදය ශ්‍රී ලංකාවට

    මාර්තු 20, 2016

    සැම්බියානු ජනාධිපති  එඩ්ගාර් චග්වා මහතා ඊයේ (19) දින සවස 7.30 ට අන්තර් පාර්ලිමේන්තු 134 වැනි සමුළුව සැම්බියා අගනුවර වන ලුසාකාහිදී විවෘත කළේය. මෙම සමුළුව ලබන 23 වැනි දා දක්වා පැවැත් වේ.

    මීට පෙර නොබැදි සමුළුව පැවැත්වූ ලුසාකා අගනුවර නවීන පහසුකම් සහිත මුළුන්ගෂ් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන මෙම සමුළුව සඳහා ලෝකයේ නන් දෙසින් නියෝජිත පිරිස් පැමිණ සිටිති.  

    පාලක සභාව, විධායක කමිටුව, කාන්තා පාර්ලිමේන්තු කමිටුව ඇතුළු සංගමයේ ස්ථාවර කමිටු,  දින කිහිපයකට පෙරාතුව සිය රැස්වීම් මෙහිදී ආරම්භ කොට තිබි අතර,  පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ සංගමය ද මීට සමගාමීව  රැස්විය.  

    පෙරේදා (18) අන්තර් පාර්ලිමේන්තු සංගමයේ දෙවැනි සැසිවාරයෙහි ශ්‍රී ලංකා නියෝජිත පිරිස සංගමයේ මානව හිමිකම් කමිටුව හමුවේ පෙනී සිටියහ.   එම කමිටුව වෙත බරපතල මානව හිමිකම් කඩකිරීම් සිද්ධීන් පහක් ගොනු කොට තිබී අතර,  ඒවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එවක සිටි පහත සඳහන් මන්ත්‍රීවරුන්ගේ ඝාතන හා මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳ වූ ඒවා බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.  එම මන්ත්‍රීවරු නම්,  
    01.    ජෝසප් පරරාජසිංහම් මහතා
    02.    නඩරාජා රවිරාජ් මහතා
    03.    ත්‍යාගරාජා මහේෂ්වරන් මහතා
    04.    ඩී.එම් දසනායක මහතා
    05.    සිවඥානම් ශ්‍රී ධරන් මහතා
    මානව හිමිකම් කමිටුව පරිණත දැනුමෙන් හා විෂය ඥාණයෙන් ප්‍රබුද්ධ සාමාජික පිරිසකගෙන් සංයුක්ත වූ අතර,  කමිටුව විසින් එක් එක් සිද්ධියක් පිළිබඳ නගන ලද ප්‍රශ්න කිරීම්වලට නිසි පිළිතුරු සැපයීම නියෝජිත පිරිස හමුවේ වූ අභියෝගය විය.   එක් එක් ඝාතනයන් හා බිය ගැන්වීමක් සම්බන්ධයෙන් ම නිවැරදි තොරතුරු කමිටුව හමුවේ තැබීමෙහි කතානායකවරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිස සමත් වූ අතර,  අදාළ සිද්ධින් පිළිබඳ පැවැත්වෙන අපක්ෂපාතී පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාදාමයන් පිළිබඳ පැහැදිලි කිරීම් කරන ලදුව ඒවා කමිටුවේ සතුටට හේතු විය.  කමිටුවේ සාමුහික ප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පළ කර තිබේ.

    වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කතානායකවරයා ශ්‍රී ලාකාවේ වත්මන් මානව හිමිකම් පිලිබඳ කමිටුව ද ප්‍රබල සාමාජික පිරිසකගෙන් සමන්විත වන අතර,  එම කමිටුවේ ද පුළුල් කාර්යභාරයක් ඉටු කිරීමෙහි කැප වී ක්‍රියා කරන බව ද සඳහන් කළේය.

    නව පාර්ලිමේන්තුව කවරාකාර මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සඳහා වුව ද ඉඩ නොතබන බව ට පරීක්ෂණ කමිටුවට සහතික වූ කතානායකවරයා යහපාලනයේ මූලධර්ම වන ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය හා පාරදෘෂ්‍යභාවය ආරක්ෂා කරමින් රාජ්‍ය ව්‍යවසාය හා මූල්‍ය පරිපාලනය ශක්තිමත් කෙරෙන රාජ්‍ය ව්‍යවසාය කමිටුව මෙන්ම රාජ්‍ය ගිණුම් කමිටුව වැනි පාර්ලිමේන්තු කමිටු වඩාත් ශක්තිමත් කරනු ලැබ ඇති බැව් ද පැහැදිලි කළේය.

    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණෙන් නව පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම,  ආංශික (අධීක්ෂණ)  කාරක සභා පිහිටුවීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම අවසාන කොට ඇති අතර, ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන බැව් දීර්ඝ වශයෙන් පෙන්වා දුන් කතානායකවරයා පළාත් පාලනයෙහි කාන්තා නියෝජනය වැඩි කිරීමේ නීති දැනටමත් සම්මත කර ඇති අතර,   තොරතුරු දැන ගැනීමේ පනත දින කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ප්‍රකාශ කළේය.
       
    මෙම ප්‍රගතිශීලි පියවර සියල්ල පිළිබඳ කමිටුවේ ප්‍රශංසාව ශ්‍රී ලංකාවට පුද කරනු ලැබීම සුවිශේෂී සිද්ධියක් විය.    

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya