අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිෂ්ඨානය තියෙනවනම් ක්‍රීඩාව පමණක් නෙවෙයි ජීවිතයම ජය ගතහැකියි...-අමාත්‍ය අර්ජුන රණතුංග

    මාර්තු 19, 2016
    අධිෂ්ඨානය ඇත්නම් ක්‍රීඩාව පමණක් නොව ජිවිතයම ජයගත හැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. සෑම ක්‍රීඩකයකුගේම සාර්ථකත්වය රදා පවතින්නේ දක්ෂතාව මත පමණක් නොව විනය සමග බවද ඒ මහතා අවධාරණය කළේය.
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 96 සමරමු - සේව් ද ස්පෝර්ට්ස් ක්‍රිකට් පුහුණු කඳවුරට ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වෙමිනි. පුහුණු කඳවුර දෙහිවල කවුඩාන ශාස්ත්‍රානන්ද (නවෝද්‍යා) මහා විද්‍යාලයේදී පැවැත්විණ. එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේ,
     
     “අපි ක්‍රීඩකයෝ හැටියට ගහන පිත්තෙත්, එන වාහනෙත් නෙවෙයි වැදගත්කම තියෙන්නේ. අධිෂ්ඨානය කියන එක තියෙනවනම්, ඕනකම තියෙනවා නම් ක්‍රීඩාවේ විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ ඕනම තැනකට යන්න පුළුවන්. නමුත් ඒක ලෙහෙසියෙන් හම්බ වෙන්නේ නැහැ. මම කොළඹ SSC ක්‍රීඩා සමාජයට ගියාම මට ඒක අලුත් තැනක් වුණා. මට එතකොට අවුරුදු පහළොවයි. ඉංග්‍රීසියෙන් කතාකරන්නේ එතන. ඉංග්‍රීසි මට තේරුණත් කතා කරගන්න බැහැ. පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්නවා. අහගෙන ඉන්නවා. ලැජ්ජාවෙන් ඉන්නවා. මාස කිහිපයක් යනකොට අපේ තත්ත්වය වෙනස් වුණා. මම ආඩම්බරයෙන් කියනවා අපි ක්‍රීඩා කරන කාලයේ  SSC ක්‍රීඩාංගණයට යනකොට මට ක්‍රිකට් පිත්තක්වත් තිබුණේ නැහැ. රෝයි ඩයස් මහත්තයා තමයි මට ඉස්සෙල්ලාම ක්‍රිකට් පිත්තක් දුන්නේ. ඒ වගේ අමාරුකම් මධ්‍යයේ තමයි මමත් ක්‍රිකට් ගහලා තියෙන්නේ.....” යනුවෙනි.
     
    දෙහිවල කවුඩාන ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය අඩු පහසුකම් සහිත එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළ දක්ෂතා දක්වන පාසලකි. එම පාසලේ සත්කාරකත්වයෙන් පැවැති 96 සමරමු සේව් ද ස්පෝර්ට්ස් ක්‍රිකට් පුහුණු කඳවුර සංවිධානය කළේ සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සංවිධානය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා ඒකකයයි. 
     
    ජාතික සමඟිය සංකේතවත් කරමින් යාපනය දිස්ත්‍රික් සහෝදරත්වයේ ක්‍රිකට් කණ්ඩායම සහ මීරිගම පස්යාල නාඹුළුව බාබුසලාම් මුස්ලිම් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමද මෙම පුහුණු කඳවුරට එක් විය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමග පුහුණු කඳවුර මෙහෙයවූයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම, ක්‍රිකට් පුහුණුකරු මැල්කම් පෙරේරා යන මහත්වරුන් විසිනි. කඳවුරේ පෞර්ෂ සංවර්ධන දේශනයට එක් වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ විනය නැති විට රටක් වුවත් අයාලේ යන බවයි.
     
    “දරුවෝ හැම මොහොතකම හිතන්නේ, මට පිත්තක් නැහැ, මටම කියලා සපත්තු දෙකක් නැහැ කියලා. මේ වගේ දේවල් අවශ්‍ය දේවල් වුණාට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. තමන්ටම කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ එක තත්ත්වයකට යනකොට විතරයි. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ සමහර වෙලාවට ඉතාම ඉක්මනින් තීරණ ගන්න ඕන තැනක්. එයට බුද්ධියක් අවශ්‍යයයි. තීරණ ගැනීමේ හැකියාවත් අවශ්‍යයි. ඒ නිසා ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් පමණක් නෙවෙයි පතපොතින් දැනුම ලබා ගැනීමත් අවශ්‍යයයි. ඒ වගේම තමයි විනය. ක්‍රීඩාවේ වෙන්න පුළුවන්, අධ්‍යාපනයේ වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්, විනය නැති වුණාම අයාලේ යන ස්වභාවයක් තියෙනවා. ඇත්තටම ක්‍රීඩකයෙකු වුණාම බොහෝ දෙනකුගේ ඇස් ඔහු දෙස යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා වැරදි දෙයක් කළොත් ඉස්සෙල්ලාම චෝදනා ලබන්නේ දෙමව්පියෝ. ඊළඟට ලැබෙන්නේ පාසලට, ඊළඟට ලැබෙන්නේ ගුරුවරුන්ට. ඒ නිසා අපි ක්‍රීඩා කරනකොට ඒ සියල්ලම ඔළුවේ තියාගන්න ඕන...” යනුවෙන්ද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා එම දේශනයේදී පැවසීය. 
     
    පුහුණු කඳවුර සඳහා සේව් ද ස්පෝර්ට්ස් සංවිධානයේ ලේකම් බැඩ්මින්ටන් පුහුණුකරු චින්තක ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සංගමයේ ලේකම් එස්. ඩී. වීරසිංහ යන මහත්වරුද සහභාගි වූහ. පුහුණු කඳවුරේදී දෙහිවල කවුඩාන ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලයට ක්‍රිකට් ලණු පැදුරක් මෙන්ම ක්‍රීඩා භාණ්ඩද අර්ජුන රණතුංග මහතාගේ සුරතින් ප්‍රදානය කෙරිණ. ඊට අමතරව යාපනය දිස්ත්‍රික් සහෝදරත්වයේ ක්‍රිකට් කණ්ඩායමට සහ සෙසු ක්‍රීඩකයින්ද ක්‍රීඩා උපකරණ බෙදා දෙන ලදි. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya