මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිරට

    දෙසැම්බර් 21, 2015

    රන් පදක්කම් 77ක් දිනා ගනිමිනි 41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත සමත්විය.

     

    මධ්‍යම පළාත රන් පදක්කම් 47ක් දිනා ගනිමින් අනුශූරතාව හිමිකරගත් අතර වයඹ පළාත තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ රන් පදක්කම් 26ක් දිනා ගනිමිනි. හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවූ 41ක් වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ නව ශ්‍රී ලංකා වාර්තා 2ක් සමග නව තරගා වාර්තා 12ක් බිහිකරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙනුණි.

    තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.19ක දක්ෂතාවක් දැක්වූ දකුණු පළාතේ මංජුල කුමාර සම්මාන දිනාගත් අතර දුර පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකළ බස්නාහිර පළාතේ එන්.සී.ඩී.ප්‍රියදර්ශනී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. පසුගිය වසරේ අනුරාධපුරයේ පැවැති 40වැනි ජාතික ක්‍රීඩා උළෙලේ දීද දක්ෂතම ක්‍රීඩකයා ලෙස මංජුල කුමාර සම්මාන දිනා තිබිණි.

     

    මෙවර තරගාවලියේ පළමු ශ්‍රී ලංකා වාර්තාව ඌව පළාතේ පී.කේ.ඒ.ඒ මධුවන්ති විසින් බිහිකළේ ඇය විසින්ම පසුගිය වසරේ මීටර් 42.74 කින් තබා තිබූ වාර්තාව මකා දමමිනි. මෙවර ඇය මීටර් 43.18ක දක්ෂතාවක් දැක්වූවාය.

     

    තරගාවලියේ දෙවැනි නව ශ්‍රී ලංකාව වාර්තාව එන්.සී.ඩී.ප්‍රියදර්ශනී සතු වූවාය. ඇය එම වාර්තාවට හිමිකම් කිවේ 2002 වසරේ එන්.කේ.චන්ද්‍රසේන තබා තිබූ මීටර් 6.40ක වාර්තාව 0.03කින් අබිබවා යමිනි. ප්‍රියදර්ශනී විසින් දැක්වූ දක්ෂතාව මීටර් 6.43කි.

     

    වේගවත්ම ධාවකයා ලෙස මීටර් 100 හා 200 ඉසව්වන්ගෙන් නව තරග වාර්තා 2ක් බිහි කිරීමට දකුණු පළාතේ එම්.වී.සුරංජය සමත්වීම මෙවර තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් විය. සුරංජය මීටර් 100 ඉසව්ව තත්පර 10.45කින් නිම කළ අතර ඔහු වෙතින් බිඳ වැටුණේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන දකුණු පළාතේ චින්තක ද සොයිසා වසර 17කට පෙර මේ තරගාවලියේදී තබා තිබූ තත්පර 10.47ක වාර්තාවය. 2011 වසරේ තත්පර 21.28කින් බස්නාහිර පළාතේ ෂෙහාන් අඹේපිටිය මීටර් 200 ඉසව්වෙන් තබා තිබූ වාර්තාව සුරංජය බිඳ දැමූවේ තත්පර 21.02ක දක්ෂතාවක් දක්වමිනි. හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන නදීකා ලක්මාලි මීටර් 58.52ක දක්ෂතාවක් සමගින් නව තරග වාර්තාවක් බිහිකළද ඇයට ජාතික වාර්තාව සම කිරීමට නොහැකි විය. නව තරග වාර්තාව ඇය විසින් 2013 වසරේ මීටර් 57.89ක් බිහිකර තිබූ අතර ජාතික වාර්තාව මීටර් 60.64කි.

     

    42වැනි ජාතික මහා ක්‍රීඩා උ‍ළේලේ සත්කාරකත්වය උතුරු පළාතට පිරිනැමීම ක්‍රීඩා උළෙල අවසානයේදී සිදු කෙරිණි. තරගාවලිය නැරැඹීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වී සිටි අතර තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට නියෝජ්‍ය ඇමැති එච්.එම්.එම්.හාරිස්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී.දිසානායක, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහත්වරුන් හා පළාත් ක්‍රීඩා ඇමැතිවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්වූහ.

     

    මෙවර තරගාවලියේදී බිහි නව වාර්තා මෙසේය:

     

    පිරිමි- හෙල්ල විසිකිරීම- ආර්.එම්.එස්.ජේ.රණසිංහ (සබරගමුව) මීටර්.75.91, රිටි පැනීම - එම්.එච්.අයි.සඳරුවන් (බස්නාහිර) මීටර් 4.83, මීටර් 200 - එම්.වී.සුරංජය (දකුණ) තත්.21.02, මීටර් 100 - එම්.වී.සුරංජය (දකුණ) තත්.10.45

     

    කාන්තා- මිටිය විසිකිරීම - පී.කේ.ඒ.ඒ.මධුවන්ති (ඌව) මීටර් 43.18 (නව ශ්‍රී ලංකා වාර්තාවකි), දුර පැනීම - එන්.සී.ඩී.ප්‍රියදර්ශනී (බස්නාහිර) මිටර් 6.43 (නව ශ්‍රී ලංකා වාර්තාවකි), මීටර් 5000 - නිලානි රත්නායක (සබරගමුව) විනාඩි 16.50:67, තුම්පිම්ම - විදූෂා ලක්ෂානි (බස්නාහිර) මිටර්. 12.98, මීටර් 800 - ඩබ්.කේ.එල්.ඒ.නිමාලි (දකුණ) වි.2.05:32, මීටර් 400 කඩුලු - ඩබ්.පී.ඊ.ආර්.දුලක්ෂි (දකුණ) තත්.59.51, හෙල්ල විසිකිරීම - නදීකා ලක්මාලි (දකුණ) මීටර්. 58.52, මීටර් 400x4 - දකුණු පළාත විනාඩි 3.43:98

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya