සාමය හා සෞභාග්‍ය ගෙන ඒම සඳහා වත්මන් ශ්‍රී ලංකා රජයට අවස්ථාව ලැබී තිබෙන අතර ඒ වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බව ඔස්ට්‍රියානු ජනාධිපති හෙන්ෂ් ෆිෂ්චර් මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ධනාත්මක පරිවර්තනයකට ලක්ව තිබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව පෙන්වා දෙන ඒ මහතා ජාතීන් අතර සමගිය සහ ජීවනය ගොඩනැංවීමට මෙන්ම ඇති වු තුවාල සුවපත් කිරීමට අද වන විට අවස්ථාව නිර්මාණය වී තිබෙන බව ද කියා සිටී.
ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ඒ.එල්.ඒ. අමිෂිස් මහතාගේ සේවය අවසන් කරමින් ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා සමග වියනාහි හොෆ්බර්ග් මන්දිරයේ පැවැති විශේෂ හමුවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග ධනාත්මක වර්ධනයක් සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
සාමය ගොඩනැඟීම සහ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ද්විපාර්ශවික සබඳතා වැඩි දියුණුකර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන ඔස්ට්‍රියානු ජනාධිපති හෙන්ෂ් ෆිෂ්වර් මහතා කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට පැමිණිමේ අවශ්‍යතාවන් ශ්‍රී ලංකාව සතු බවද වෙළෙඳ ආයෝජන හා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් වත්මන් රජයේ අවධානය යොමුව තිබීම අගය කරන බවද ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.මේ අතර පසුගිය ගැටුම් සමයේදී ශ්‍රී ලංකාවේ සිදු වි යැයි පවසන මානව හිමිකම් උල්ලංඝනයන් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත දේශීය යාන්ත්‍රණය පිළිබඳව ද ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙන අතර දෙරට අතර ද්විපාර්ශවික සබඳතා දියුණු මට්ටමකට ගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සතුට පළ කර ඇත.
ශ්‍රී ලංකාව සඳහා පැමිණෙන ඔස්ට්‍රියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව මෙන්ම සංවර්ධනය සඳහා ලබා දෙන ආධාර ප්‍රමාණය ඉහළ නැංවීම කෙරෙහි එම හමුවේදී විශේෂ අවධානය යොමු කර තිබේ.
ඊට අමතරව ඔස්ට්‍රියානු අයෝජන ඉහළ නැංවීම මෙන්ම මේ මස 27 දා සිට ඔස්ට්‍රියානු ගුවන් සේවය කොළඹ දක්වා සතියකට ගුවන් ගමන් වාරයක් යෙදවීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.