නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    18 වන ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල ඇරඹේ

    සැප්තැම්බර් 17, 2015

    අප්‍රතිහත ධෛර්යයෙන් හා නොසැලෙන ශක්තියෙන් යුතු ආබාධිත යුද හමුදා ක්‍රීඩකයින් 450කගේ සහභාගීත්වයෙන් 18වන වරටත් පවත්වනු ලැබූ ‘ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උ‍ළෙල - 2015’ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී  බදාදා (16) දින ආරම්භ විය.

    යුද හමුදා මලල ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා ජාත්‍යන්තරයට රැගෙන ඒමේ අදිටනින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ මෙම මලල ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 18 වන දින නිමා වීමට නියමිතය.       

     

    මෙහි දී ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීය. ඉන් පසු ජාතික ධජය, යුද හමුදා ධජය, සහ පැරා මලල ක්‍රීඩා ධජය එසවීමෙන් අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කොට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසු මලල ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය.

     

    අනතුරුව ඔලිම්පික් පහන දල්වාලීමෙන් පසු සියලුම ක්‍රීඩකයින් සහ විනිසුරුවන් ක්‍රීඩා ප්‍රතිඥාව දෙනු ලැබීය.

     

    මෙසේ ආරම්භ වූ යුද හමුදා පැරා ක්‍රීඩා උ‍ළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා  ලෙස සහභාගි වූ යුද හමුදාපතිතුමන් විසින් ඉන්දියාව, පාකිස්ථානය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ නේපාලය යන රටවල් නියෝජනය කරමින්  සහභාගිවූ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුභ පැතුම් ද එක් කරන ලදී.

     

    මෙහි දී යුද හමුදාපතිතුමා විසින් තම ක්‍රීඩා කුසලතා දේශීය සහ ජාත්‍යන්තර මට්ටමට ගෙන යමින් යුද හමුදාවට කීර්තියක් අත් කර දෙනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුභ පැතුම් එක් කරන්නට ද අමතක නොකළහ.


      
    මාස 2 ක කාලයක් පුරා මෙවර තරඟාවලියේ අවසන් තරඟ ඉසව් රෙජිමේන්තු මධ්‍යස්ථාන තුල දී පැවැත්වුන අතර, බැඩ්මින්ටන්, පාපැදි තරඟ, රෝද පුටු මැරතන්, දුනු විදීම්, බර ඉසිලීම, අත්පන්දු, අත්පන්දු (වාඩි වී), වෙරළ අත්පන්දු, මේස පන්දු, ක්‍රිකට්, පිහිනුම්, රෝද පුටු ටෙනිස්, වායු රයි‍ෆල් වෙඩි තැබීම් සහ තවත් ක්‍රීඩා ඉසව් රැසක්  පැවැත්වීමට නියමිතය.

     

    මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොළ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, ආඥාපති යුද හමුදා පුහුණු අණසක, මේජර් ජෙනරාල් මනෝ පෙරේරා, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල්  බී.ඒ පෙරේරා, යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ජේ.ආර් අම්පෙමොහොට්ටි, යුද හමුදා පැරා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් රජිව් වික්‍රමසිංහ, යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් ලුතිතන් කර්නල් දීපාල් හේරත් ඇතුළු නිළධාරින් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් එක්ව සිටියහ.

     

    ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බලලත් නිලධාරි II ප්‍රදීප් සංජය 2012 වසරේ දී ආසියානු පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර 400 තරඟය තත්පර 49.28 කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගෙන ප්‍රථමවරට පැරා ක්‍රීඩාවන්හි ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට ගෙනදීමට සමත් වූවේය. තවද 2013 වසරේ ප්‍රංශයේ ලියෝන් නගරයේ පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දි ද එම තරඟයෙන්ම ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඉහත ක්‍රීඩකයාට හැකිවිය. එමෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් වයි.පී.ඒ.පී ජයලත් 2014 වසරේ පැරා ඔලිම්පික්  තරඟාවලියේ දී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

     

    1991 වසරේ ‘යුද හමුදා ආබාධිත ක්‍රීඩා උළෙල’ ලෙස ආරම්භ කෙරුණු මෙම ක්‍රීඩා උළෙල 2010 වසරේ දී ‘ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල’ ලෙස නැවත නම් කරනු ලැබීය.

     

    මෙවර යුද හමුදා පැරා ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගිවන යුද හමුදා ක්‍රීඩකයින් ඉදිරියේ දී දකුණු කොරියාවේ පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලිය සඳහාද සහභාගිවීමට නියමිතය.

     

    Army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya