අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනාවාස දිනය අදයි

    ඔක්තෝබර් 07, 2019

    අද (07) ලෝක ජනාවාස දිනයයි. 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත්කොට ඇත. 1985 වසරේ බටහිර ඉන්දියානු කොදෙව් දූපතක් වූ ජැමෙයිකානු රාජ්‍යයේ කිංස්ටන් නුවරට රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම, සිය වාර්ෂික සැසි වාරයේ දී වාර්ෂිකව ලෝක ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    එවකට එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා සිය ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින් ජගත් ජනාවාස දිනයක් පිළිබඳ අදහස ප්‍රථම වරට ජගත් මානව ජනාවාස සංවිධානය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
    එකී යෝජනාව තුළින් අපේක්ෂා කරනු ලැබූ, ජාත්‍යන්තර නිවාස වසර තුළින් ලොව සෑම සියලු ජනකොටසකගේම අවධානය නිවාස හා ජනාවාසකරණය වෙත යොමු කර ගැනීමයි. එම අවස්ථාව වනවිටත් රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට පෙරදැරිව, 1987 වර්ෂය ජාත්‍යන්තර නිවාස වර්ෂය ලෙසින් ප්‍රකාශයට පත්කොට තිබේ. එය වඩාත් අර්ථ ගන්වමින් වාර්ෂිකව සමස්ත ලෝක ජනතාවගේ අවධානය නිවාස හා ජනාවාසකරණය කෙරෙහි යොමු කර ගැනීම මේ ලෝක ජනාවාස දින ක්‍රියාදාමය තුළින් අපේක්ෂා කරනු ලැබීය.


    එදා අද කාලපරිච්ඡේදයේ ගත වූ වසර 33ක කාලය තුළ 1996 වසරින් ඇරැඹි ලෝක ජනාවාස දින සැමරුම, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විවිධ වූ තේමාවන් යටතේ සිදු කරනු ලැබීය. එහි ආරම්භක සැමරුම 1986 වසරේ ක්‍රියාත්මක වූයේ ‘නිවස මගේ අයිතියකි‘ නම්වූ තේමාව යටතේය. මෙකී කාලපරිච්ඡේදය තුළ ලොව ප්‍රමුඛතාව වූයේ, ජීවත්වන නිවෙසේ අයිතිය ලබා ගැනීම කෙරෙහි යොමු කරමිනි.


    ඉන් අනතුරුව දශක තුනක කාලය තුළ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම වාර්ෂිකව ලෝක ජනාවාස දිනය සැමරුම සිදුකිරීමේ දී නිවාස හා ජනාවාසකරණයට තත්කාලීනව බලපෑ විවිධ වූ විෂය ක්‍ෂේත්‍රයන් සිය වාර්ෂික
    තේමාවන් ලෙසින් යොදා ගනු ලැබීය. ගත වූ දශක තුනකට අධික කාලය තුළ දී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ මඟ පෙන්වීමෙන් ජනාවාස දින වාර්ෂික තේමාවන් ශ්‍රී ලාංකික ජන සමාජයට ගැළපෙන අයුරින් ජනගත කරමින් එය වඩාත් ඵලදායී වූ වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාවට නැංවීම නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය නිරන්තරයෙන් ඉටු කර තිබේ.

     

    1986 වසරේ එම වැඩපිළිවෙළ ආරම්භ වූ අවස්ථාවේදී නිවාස දසලක්ෂයේ වැඩසටහන, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ අතර, ඒවා එම සංවර්ධන කාර්යයදාමය සඳහා නිවාස ගැටලුවට මුහුණපා සිටි දුගී දුප්පත් ජනතාව සමඟින් වූ අඩු ආදායම්ලාභී ජනකොටස් වඩාත් ඵලදායී අයුරින් මැදිහත්ව සිදුවිය. මේ සෑම අවස්ථාවකදීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් ගෙනදෙමින් ශ්‍රී ලංකාව ජනාවාස දින වාර්ෂික සැමරුම් සිදු කළ අතර, එය හැකිතාක් දුරට මෙරට ක්‍රියාත්මක වූ නිවාස හා ජනාවාස වැඩසටහන්හි තිරසර බව ඇති කරලීමට දායක කර ගැනීම එහිලා ඇති විශේෂිත ලක්ෂණයයි.

    මෙවර ලෝක ජනාවාස දින තේමාව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සැම සියලු රටක්ම එහි ජීවත්වන ජනකොටසක්ම මුහුණපාන මූලික අභියෝගයක් තේමාකොට ක්‍රියාත්මක වේ. නවීන තාක්ෂණ ශිල්ප ක්‍රම නව ප්‍රවේශයක් කර ගනිමින් අපද්‍රව්‍ය ධනයක් කර ගනිමු යන්න මෙවර ලෝක ජනාවාස දින තේමාවයි.

    මෙවර ලෝක ජනාවාස දිනයේ දී විශේෂිත අවධානයක් යොමුවී ඇත්තේ අපද්‍රව්‍ය, හුදෙක් කවර හෝ අයුරකින් බැහැර කිරීම වෙනුවට එය කිසියම් ප්‍රතිනිර්මාණ කටයුත්තක් තුළින් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු කර ආදායමක් ඉපැයීමේ කාර්යයදාමයකට යොමු කිරීමයි. ලොව බොහෝ රටවල මේ අපද්‍රව්‍ය, ආදායම් ඉපැයීමේ ක්‍රමවේදයක් බවට පත් කර තිබේ. අපද්‍රව්‍ය භාවිතය තුළින් ගොඩනැගිලි ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ.

    ලොව සෙසු රටවල හා සැසඳීමේ දී මේ කාර්යයදාමය ශ්‍රී ලංකාව තුළ අවම ප්‍රමාණයකින් ක්‍රියාත්මක වුවද, සැබෑ ලෙසින්ම අපද්‍රව්‍ය සියල්ල නිසි ආදායම උපද්දන කාර්යයදාමයක් බවට පත් කරන නව ප්‍රවේශයන් ලොව හඳුනාගෙන තිබේ. එනයින් බලන කල මෙවර ලෝක ජනාවාස දින තේමාව අතිශයින් වැදගත්වන අතර, එය වර්තමානයේ නිවාස හා ජනාවාසකරණයේ සිට සැබෑ ලෙසින්ම සාකච්ඡාවනට බඳුන් විය යුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙළකි.

    කසුන්මලී ජයසේකර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya