මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෑතකාලීනව දක්නට ලැබෙන ප්‍රවණතා හමුවේ වුවද, විශේෂයෙන්ම, විදේශීය මූල‍්‍යන අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුළුව ආර්ථිකය මත ඇති විය හැකි ඕනෑම බලපෑමක් අවම කිරීම සඳහා මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇත. 2019 වසරේ ජනවාරි මාසයේදී එ.ජ. ඩොලර් බිලියන 1 ක සහ 2019 අප්‍රේල් මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම් වෙනුවෙන් රජයට ඇති විදේශීය ණය වගකීම පියවීම සඳහා බලධාරීන් විසින් සක්‍රීය වගකීම් කළමනාකරණ ක්‍රියාමාර්ගය යටතේ රුපියල් බිලියන 310 නොඉක්මවූ සීමාවක අරමුදල් සම්පාදනයට ඉඩ ප්‍රස්ථා සලසා ගැනීමට අමතරව දැනටමත් උපායමාර්ගික නොවන වත්කම් මගින් ලැබුණු ආයෝජන සහ මෑතකදී ඒකාබද්ධ ණය පහසුකමෙන් වූ ලැබීම් තුළින් ස්වාරක්ෂක අරමුදලක් ගොඩනංවාගෙන ඇත. මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවලට ණය පහසුකම් ලබා ගැනීමේ මාර්ග වැඩිදියුණු වීම මත මෙම වසරේ ඉදිරි කාලපරිච්ඡේදයේදී සහ 2019 වසරේ මුල් කාලපරිච්ඡේදයේදී දළ වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 750 ත් එ.ජ. ඩොලර් බිලියන 1 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියරෙහි පවතී. තවද, ඒකාබද්ධ ණය වැඩසටහන යටතේ 2019 වසරේ පෙබරවාරි මාසය වන විට තවත් එ.ජ. ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව, ඊළඟ වසරේදී ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතන විසින් ප්‍රතිපාදනය කරනු ඇතැයි අපේක්ෂිත එ.ජ. ඩොලර් මිලියන 600 ක් තුළින්ද මේ සඳහා තවදුරටත් සහාය ලැබෙනු ඇත. මෙම ලැබීම්, පවතින අරමුදල් ද සමඟ 2019 වසරේ කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සියල්ලම පියවීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් වේ.
මේ අතර, සංචිතවල ප්‍රමාණාත්මභාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව විදේශ විනිමය හුවමාරු ගිවිසුම් වෙත යොමු වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාර්ක් විනිමය හුවමාරු රාමුව වැනි කලාපීය අරමුදල් සමඟ මෙන්ම මහ බැංකු සමඟ ද සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම ක්‍රියාමාර්ගය තුළින් රටේ විදේශීය සංචිතවල ප්‍රමාණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කිරීමට පමණක් නොව, එමගින් විදේශීය ණය සේවාකරණ වගකීම් නිසි කලට සිදු කිරීමට සහ විනිමය අනුපාතිකයේ අක්‍රමවත් විචලනයන් වැළැක්වීම සඳහා විදේශ විනිමය වෙළෙඳපොල වෙත විචක්ෂණශීලීව මැදිහත්වීමට අවශ්‍ය අවකාශය සපයනු ඇත. මෑත දිනවල, විදේශ විනිමය ලැබීම් ඉහළ යාම තුළින් විනිමය අනුපාතිකයන්හි සැලකිය යුතු ලෙස සතුටුදායක ගැළපුම් සිදුවූ අතර, මෙම තත්ත්වය ඉදිරි නිවාඩු සහ නව අවුරුදු සමයේදී තවදුරටත් වර්ධනය වනු ඇත. මීට අමතරව, මේ වන විටත් සිදු කර ඇති රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ක්‍රියාමාර්ග වෙළඳ ගිණුමේ ශේෂය වැඩිදියුණු වීම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එමගින් විදේශීය සංචිත සහ විනිමය අනුපාතිකය මත ඇති පීඩනය අඩු කෙරෙනු ඇත.
මේ අතර, මෑතකදී හඳුන්වා දුන් ණය කළමනාකරණ උපායමාර්ග සහ දේශීය ණය වෙළඳපොළට ප්‍රවේශවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නිර්මාණය වීම ඔස්සේ දේශීය මූල්‍ය තත්ත්වයන්ගේ සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර ඇත. මෙමගින් 2019, 2020 වර්ෂ තුළ සහ මැදි කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නැවත නිකුත් කිරීමේ අවශ්‍යතාව අඩු කර ඇත. බැංකු අංශය විසින් රජයේ සුරැකුම්පත් අලුතින් ලබා ගැනීම මෑත වර්ෂවලදී පිළිබිඹු කළ සියයට 5 ක පමණ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද 2018 වර්ෂයේදී එම ඉහළ යාම සියයට 1.5 ක් පමණක් විය.
ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශය දේශීය හා විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණදීමට හැකි මට්ටමේ පවතින බව තවදුරටත් අවධාරණය කළ යුතුය. මෙහෙයුම් වාතාවරණය අභියෝගාත්මක වුවද, බැංකු අංශය දැඩි අධීක්ෂණ හා නියාමන රාමුවක් යටතේ පවතී. ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා අවශ්‍යතා ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමට බැංකු අංශයේ ඇති කැපවීම තුළින් මෙම අභියෝගවලට මුහුණදීමට ඇති හැකියාව පෙන්නුම් කෙරෙන අතර, එමගින් බැංකු අංශය සම්බන්ධයෙන් ස්ථාවර ඉදිරි දැක්මක් නිර්මාණය කෙරෙයි.
ඉහත දැක්වූ කරුණු අනුව, ෆිච් ආයතනය සහ එස් ඇන්ඩ් පී ග්ලෝබල් ආයතනය විසින් මෑතකදී කරන ලද ශ්‍රේණිගත කිරීම් සාධාරණ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අදහස වේ. එවැනි ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීමක් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල හෝ මූලධර්මවල දුර්වල වීමක් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලන අස්ථාවරභාවය ඉහළ යාම යන කරුණ මත පමණක් පදනම්ව සිදු කිරීම සාධාරණීකරණය කළ නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනෙහි පස්වන සමාලෝචනය අවසානයේ ඇති කර ගත් නිලධාරී මට්ටමේ එකඟතාවය (2018 ඔක්තෝබර් 26 දින) මගින් පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන් තවදුරටත් ශක්තිමත් කෙරිණ.