Print this page

කරවනැල්ල මූලික රෝහලේ සේවක ගැටලුවලට විසඳුම්

අගෝස්තු 10, 2018
කෑගල්ල, කරවනැල්ල මූලික රෝහලේ මේ වන විට පවතින සේවක ගැටලුවට පිළියමක් ලෙස වහාම කනිෂ්ඨ සේවකයින් 46ක් ලබාදීමට පියවර ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
 
එමෙන්ම වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවාවන් ඇතුළු රජය මගින් පත්වීම් ලබාදෙන තනතුරු රැසක පුරප්පාඩු සබරගමුව පළාත පුරා ඇතැයි පෙන්වාදුන් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය එම තනතුරු ද කඩිනමින් සපුරා ගැනීමට ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉල්ලීම් කර ඇතැයි ද පැවසීය.
 
කරවනැල්ල මූලික රෝහල සඳහා සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 4500 වැයකර, පස්මහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඇතුළු සංවර්ධිත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. එම භෞතික සම්පත් සංවර්ධනයත් සමගම හැටන්, අවිස්සාවේල්ල, රුවන්වැල්ල ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රජාව ප්‍රතිකාර ගැනීම සඳහා මෙම රෝහලට පැමිණීමත් සමග සේවක ගැටළු රැසක් පැන නැඟි ඇත. 
 
මීට අමතරව පළාත් සෞඛ්‍ය සේවාවට අදාළ ව පවතින සෙසු කණිෂ්ඨ කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා බඳවාගැනීම කඩිනම් කරන බවද ආණ්ඩුකාරවරිය පැවසීය.
 
කරවනැල්ල මූලික රෝහලේ පවතින සේවක ගැටලු පිළිබඳ ව සාකච්ඡා කිරීම වෙනුවෙන් පැවැති මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.