Print this page

මහරගමට විධිමත් නාගරික සැලැස්මක්

පෙබරවාරි 11, 2018
පසුගිය දශක 3 ක පමණ කාලය පුරා ජනගහනය පැත්තෙන් කොළඹ නගරය ගත්තම මේ කලාපයේ අනෙකුත් ප‍්‍රදේශත් සමග මහරගම එකතැන පල්වෙන ස්වරූපයක් ගන්නා බවත් මහරගමට විධිමත් නාගරික සංවර්ධනයක් අත්‍යාවශ්‍ය වී තිබෙන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ පසුගිය දින මහරගම සංවර්ධන සැලසුම එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
 
1991 වසරේදී කොළඹ නගරයේ ජනගහනය ලක්‍ෂ 6ක පමණ, දැනුත් අඩුවැඩි වශයෙන් ඉන්නේ ලක්‍ෂ 6 ක් පමණ. කොළඹ නගරයේ ජනගහණය දශක තුනක පමණ කාලයක සිට සීමා වී තිබෙනවා. නමුත් මේ අවට නගරයන් කෝට්ටේ, මහරගම, කැස්බෑව, කඩුවෙල වැනි ප‍්‍රදේශවල සීග‍්‍ර ජනගහන වර්ධනයක් දැක ගන්න පුළුවන්. මේ නිසාම විශාල ප‍්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. එකක් අපේ ජල තීරයන් විශාල වශයෙන් දූෂණයට ලක්වීම. උදාහරණයක් වශයෙන් මේ බොරලැස්ගමුව වැව. ඒ වගේම කසළ කළමනාකරණයේ තිබෙන අවිධිමත් භාවය. එයට හොඳ උදාහරණයක් කරදියානේ තිබෙන විශාල කසල කන්ද. ඒ වගේම රෝගාබාධ ආදියේ ඒ සමගම ව්‍යාප්ත වෙලා යනවා. ඒ වගේමයි මෙම මාර්ග තදබදය. මේ කරුණු නිසා අපේ මේ ප‍්‍රදේශ තවදුරටත් දියුණු කරන්න අපහසු තත්වයට පරිවර්තනය වීගෙන යනවා. ඒ නිසා තමයි අපට විධිමත් නාගරික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.
 
මහරගම නාගරික සැලැස්ම ගිය වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කර පියවරෙන් පියවර අරමුදල් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළට අද එකතු වෙලා තිබෙවා යැයි ද පෙන්වා දුන්නේය.
 
ඇළ මාර්ග පවිත‍්‍ර කරණය සඳහා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉදිරිපත් වී විධිමත්ව එම ඇල මාර්ග පිරිසිදු කිරීමත්, පිළිසකර කිරීමත් සිදු කරනවා. එහි ප‍්‍රධානම එකක් තමයි මේ මහරගම බොරලැස්ගමුව ඓතිහාසික වැව සංරක්‍ෂණය කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙළ ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සමග එකතු වී මේ වැව තව අවුරුදු 1 1/2 කින් ඉතාම සුන්දර ස්ථානයක් බවට පරිවර්ථනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම නාවින්නේ බස්නැවතුම්පලත් සමග විධිමත් වාණිජ මධ්‍යස්ථානයක් ඉදිකරන්න මේ වසර මැද භාගයේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බහුමහල් වාහන නතර කිරීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුත් දැන් ආරම්භ වෙලා සෑහෙන දුරට සිදු කෙරීගෙන යනවා. එයත් මේ වසර මැද භාගය වන විට විවෘත කරන්න හැකියාව ලැබෙයි යැයි ද කීය.
 
මේ සියලුම සංවර්ධන කටයුතු එළැඹෙන වසර 3 ඇතුළතදී නිම කිරීමට කටයුතු කරන බවත් මෙම කටයුතු සිදු කිරීමේ දී විරෝධතා බලපෑම් එල්ල විය හැකි බවත් සියලු කටයුතු සිදු කිරීමට සෑම දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.