Print this page

කළුතර මාර්ග සංවර්ධනයට මිලියන 600ක ඇස්තමේන්තුවක්

අගෝස්තු 11, 2017
කළුතර දිස්ත්‍රික්කයේ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන  වශයෙන් දැනට ක්‍රියාත්මක  හා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 600 ක මුදලක් අවශ්‍ය බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
 
මේ සඳහා ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කරන අතර කෙටි කාලීන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 30 ක් හා මධ්‍ය කාලීන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 130 ක් වැයවේ. ඉතිරි රුපියල් මිලියන 320 දීර්ඝ කාලීන ව්‍යාපෘති වෙනුවෙනි. කෙටි කාලීන හා මධ්‍ය කාලීන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් රජය විසින් දැනටමත් ලබා ඇත.
 
පසුගියදා ඇති වු ආපදා තත්ත්වය නිසා මාර්ග සංවර්ධන අධිකාරිය සතු ප්‍ර‍ධාන මාර්ග 12 කට හානි වු අතර මේ සෑම මාර්ගයක්ම දින කිහිපයක් තුළ වාහන ගමනාගමනයට සුදුසු තත්වයට පත්කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය සමත් විය.
 
මෙම මාර්ගවල ඉතිරි ප්‍ර‍තිසංස්කරණ කටයුතු ඉතා කඩිනමින් මේ දිනවල සිදුකර ගෙන යනු ලබන අතර 50% කට වඩා වැඩ  මේ වන විට අවසන් කර තිබේ.
 
ඉදිරියේ දි ඇතිවිය හැකි ගංවතුර හා නායයෑම් තත්ත්වයන්  නිසා හානිවීමට ඉඩ ඇති මහමාර්ග මාර්ග සංවර්ධන අධිකාරිය මගින් හදුනාගෙන ඇත. මෙම පාරවල්  ආරක්ෂක වැටි වැනි ආරක්ෂක ක්‍ර‍ම යොදා ගනිමින් ඉදිකිරිමට සැලසුම් කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන 320 ක මුදලක් වැයවෙතැයි මාර්ග සංවර්ධන අධිකාරිය තක්සේරු කර ඇත.