අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කීරමුන්දලම ආදර්ශ ධීවර ගම්මානයක් බවට පත් වෙයි

    අගෝස්තු 10, 2017
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් "දියවර පියස" නමින් ධීවර ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව කීරමුන්දලම ධීවර ගම්මානය ආදර්ශ ධීවර ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
     
    ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කරම ධීවර ගම්මානයක් වන කල්පිටිය, කීරමුන්දලම ධීවර ගම්මානය ආදර්ශ ධීවර ගම්මානයක් වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත. පවුල් 50ක් පමණ වෙසෙන කීරමුන්දලමේ ජනතාවට ස්ථිර ධීවර නිවාස නොමැති අතර ඔවුන් සියලු දෙනාම ජීවත් වනුයේ කැඩී බිදී ගිය පැල්පත්වලය. එම ප්‍රදේශය භාර කතෝලික පූජකතුමන්ලාගේ ඉල්ලීම පරිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් "වැවක් සමඟ ගමක්" වැඩපිළිවෙළ යටතේ ධීවර ගම්මාන නගාසිටුවීම සඳහා රජය විසින් ලබා දී ඇති මූල්‍ය ප්‍රතිපාදන අනුව රුපියල් මිලියන 15ක වියදමින් නව නිවාස ඉදිකර දීමට පියවර ගෙන ඇත.
     
    ඒ අනුව එක් පවුලකට රුපියල් ලක්ෂ 3 බැගින් ලබා දෙන අතර සහන ණයක් වශයෙන් තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇත.
     
    "ධීවර ප්‍රජාව තමන්ට ලැ‍‍බෙන ආදායම ගත්විට සාමන්‍යයෙන් අපේ රටේ සෙසු අය විසින් උපයනු ලබන ආදායමට වඩා වැඩි ආදායමක් ලබනවා. නමුත් ගැටළුව නම් සෙසු අයට වඩා ඉතා දුෂ්කර ජීවිතයක් ධීවර ප්‍රජාව විසින් ගත කිරීමයි. තමන්ට ලැබෙන ආදායම නිසි පරිදී කළමනාකරණය කිරීම වැදගත්. එහිදී උපයන ධනය මත්පැන්, දුම්වැටි සහ වෙනත් අනවශ්‍ය දෑවලට වැය කිරීම පාලනය කරගත යුතු යැයි මෙහිදී අදහස් පළ කළ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    "ඒ වගේම දරුවන්ට හොඳ අනාගතයක් ලබා දීමට කැප වී කටයුතු කළ යුතුයි. අද අපි ආරම්භ කරන මෙම වැඩසටහන යටතේ අපගේ ඉලක්කය ඔබට ලස්සන කුඩා නිවසක් ලබා දීමයි. අපි මෙම මුදල් ලබා දෙන්නේ ණයක් වශයෙන් නොවේ. ආධාරයක් වශයෙනුයි. මෙම මුදල් උපයෝගී කරගනිමින් සහ තමන්ගේත් කැපවීමෙන් ඉදිකෙරෙන මෙම ආදර්ශ ගම්මානය ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අද අපි මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පැවසූ විට එතුමා, මේ වැඩපිළිවෙළට එතුමාගේ ආශීර්වාදය පළ කළා. ඒ වගේම තවත් අවශ්‍ය දෙයක් වෙතොත් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් පැවසීය.
     
    "එම නිසා මෙම වැඩපිළිවෙළට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබී තිබෙනවා. අවශ්‍ය වන්නේ අපේ කැපවීමයි. ධීවර ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසදීම සඳහා රජය විසින් අයවැය ලේඛනයෙන් මෙම වසරට පමණක් රුපියල් මිලියන 1200ක මුදලක් ලබා දී තිබෙනවා". 
     
    ඉදිරි වර්ෂවලදී මහා භාණ්ඩාගාරය වෙතින් මීට වඩා වැඩි මුදලක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya