Print this page

ආපදා වූවන් වෙනුවෙන් විකල්ප ඉඩම් හඳුනා ගැනේ

ජූනි 19, 2017

කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර හා නායයෑම්වලින් විපතට පත් වූ මේ වනවිට අනාරක්ෂිත ප්‍රදේශවල සිටින ජනතාවට නව නිවාස ඉදිකිරිම සඳහා සුදුසු විකල්ප ඉඩම් මේ වන විට හඳුනාගනිමින් සිටින බව කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

බුලත්සිංහල, පාලින්දනුවර,  අගලවත්ත, වලල්ලාවිට, මදුරාවල, හා මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ඉඩම් අක්කර 247 ක් දැනටමත් හඳුනාගෙන  ඇත.

මෙම ප්‍රදේශවල පිහිටි රජයේ , ඉඩම් ප්‍ර‍තිසංස්කරණ සභාවේ හා වතු සමාගම්වලට අයිතිය සතු ඉඩම්වලින් මෙම බිම් කොටස් තෝරාගෙන තිබේ.

ඉදිරියේදි මෙම ඉඩම්වල නිවාස ඉදිකොට ජනතාව පදිංචිකරලීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්   දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන 30 ක් නායයාමට ලක්විය හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවලින්ද ජනතාව ඉවත් කර සුරක්ෂිත ප්‍රදේශවල ඔවුන් පදිංචිකරලීමද ඉතාම කඩිනමින් ආරම්භකිරිමට සැලසුම් කර තිබෙන බව ද එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.