මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015දී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් මිලියන 2000ක වාර්තාගත ආදායමක් අපේක්ෂිතයි

    ජූනි 25, 2014

    වර්ෂ 2015 වන විට විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2000 ක හෙවත් රුපියල් බිලියන 02ක වාර්තාගත ආදායමක් ලබා ගැනීම ඉලක්ක කර ගනිමින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය හරහා දැවැන්ත වැඩපිළිවෙළක් යොදා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේ දී විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයන් හමුවී සාකච්ඡා කිරීමේදීය.

     

    ගෙවී ගිය වසර 03ක කාලය තුළ විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වී තිබේ. එනම් වර්ෂ 2010දී විසිතුරු මත්ස්‍ය වාර්ෂික අපනයනය තුළින් ලද ආදායම රුපියල් මිලියන 919ක් විය. එය 2013 දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 1383 දක්වා සියයට 50කින් පමණ වැඩි වී තිබේ. මෙය ගෙවීගිය දශක ගණනාව තුළ ලද වැඩිම ආදායම වේ.

     

    ලෝක වෙළෙඳපොළේ මෙම විසිතුරු මසුන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 355ක පමණ ඉල්ලුමක් පවතී. එයින් ශ‍්‍රී ලංකාව සපයනු ලබන්නේ ඩොලර් මිලියන 10ක් පමණ වන විසිතුරු මසුන් ප‍්‍රමාණයකි. එය ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 2.7ක් පමණ වේ. මින් පැහැදිලි වන්නේ විසිතුරු මත්ස්‍ය අපනයනට පවතින දීප ව්‍යාප්ත වෙළෙඳපොළේ ප‍්‍රමාණයයි. එම නිසා අප වැනි රටක ජනතාව විසිතුරු මත්ස්‍ය වගාවට දිරිමත් කිරීමෙන් ලෝක වෙළෙඳපොළෙන් සුවිශාල අපනයන ආදායමක් ලැබිය හැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

     

    මේ නිසාම ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් රට පුරා ධීවර දිස්ත‍්‍රික්ක 26ම ආවරණය වන පරිදි ගෘහ කර්මාන්තයක් ලෙස විසිතුරු මත්ස්‍ය වගාව දීප ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

     

    විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තුළින් ප‍්‍රධාන ලෙස අපනයනය කරන මත්ස්‍ය වර්ග වන්නේ ගප්පි (Guppies), ස්වොඩ්ටේල් (Sword tails), ප්ලෙටිස් (Platys), බාබ්ස් (Barbs), ටෙට්රාස් (Tetras), ඒංජල් (Angles), ගුරාමි (Guramis), කැට්ෆිෂ් (Cat fishes) ඇතුළු මත්ස්‍ය වර්ගයන්ය. මින් සියයට 60-70ක් පමණ ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව අපනයනය කරනු ලබන්නේ ගප්පි වර්ගයේ මත්ස්‍ය විශේෂයන්ය.

    දැනට අප විසිතුරු මත්ස්‍ය වර්ගවලින් සියයට 50කට වඩා අපනයනය කරනු ලබන්නේ ඇමරිකාවටය. ඉතුරු ප‍්‍රමාණය ජපානය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, බෙල්ජියම ඇතුළු තවත් රටවල් කීපයකට අපනයනය කෙරෙති. මෙසේ විසිතුරු මසුන් අපනයනය කරනු ලබන සමාගම් 40ක් පමණ අප රටේ තිබේ.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ විසිතුරු මත්ස්‍ය අපනයනය දිරි ගන්වන සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "මම ධීවර අමාත්‍ය ධූරය භාරගන්න කොට 2010 වසරේ මෙරට විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් වාර්ෂිකව ලැබූ ආදායම රුපියල් මිලියන 919ක් වුණා. එය අපි ගෙවී ගිය වසර 03 තුළ විසිතුරු මත්ස්‍ය ක්‍ෂේත‍්‍රය සංවර්ධනය කිරීමටත් ඔවුන්ට දිරිය ලබාදීමටත් ගත් පියවර නිසා 2013 දෙසැම්බර් 31 වන විට විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබාගැනීමට හැකිවුණා. එය රුපියල් මිලියන 1383ක් වුණා. මෙම වැඩිවීම ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 50කටත් වඩා වැඩි වෙනවා. මගේ ඉලක්කය වන්නේ වර්ෂ 2014 අවසාන වන විට මෙය රුපියල් මිලියන 1600 දක්වා වැඩි කිරීමත් ඉන් පසුව 2015දී එය රුපියල් මිලියන 2000ක් හෙවත් රුපියල් බිලියන 02 දක්වා වර්ධනය කිරීමයි. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය හරහා දැනටමත් මේ පිළිබඳව යෝධ වැඩපිළිවෙළක් ආරම්භ කරල තියෙනවා. දිවි නැඟුම එක්ක එකතුවෙලා කුඩා ගෘහ කර්මාන්තයක් ලෙස විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ව්‍යාප්ත කරමින් සිටිනවා. ලෝක අපනයන වෙළෙඳපොළට අප විසිතුරු මත්ස්‍යයෙන් අපනයනය කරන්නේ සියයට 2.7ක් පමණ ප‍්‍රමාණයක්. එය ඉදිරියට කුමානුකූලව වර්ධනය කරමින් සියයට 5 දක්වා වැඩි කර ගැනීමට අපේක්‍ෂා කරනවා. ඒ වගේම විවිධ රටවල්වල අලුත් අපනයන වෙළෙඳපොළවල් සොයාගෙන යාමටත් බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya