වසර සිය ගණනක් තිස්සේ නිසි ප්‍රයෝජනයක් නොමැතිව කළපුවල දිරාපත් වු කාවාටි බෙල්ලෝ මේ වනවිට අන්තර්ජාතික වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇති මුහුදු ආහාරයක් බවට පත් වී තිබේ. විශේෂයෙන් දේශීය මෙන්ම විදේශීය තරු පහේ හෝටල්වල ඉහළ මිල ගණන් යටතේ බෙල්ලන් ආශ්රිත ආහාර අලෙවි කරනු ලබයි.මේ නිසාම ධීවර පවුල් සඳහා විකල්ප ආදායම් මාර්ගයක් වශයෙන් බෙල්ලන් වගාව හඳුන්වාදීමට, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි, නාරා ආයතනය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව, කල්පිටියේ ආනපල්ලම ජනසවිපුර ගම්මානය බෙල්ලන් වගා ව්‍යාපෘති ගම්මානයක් වශයෙන් නම් කිරීම පසුගියදා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු විය. මේ සඳහා නාරා ආයතනය විසින් අවශ්‍ය තාක්ෂණික උපදෙස් සපයයි. එමෙන්ම සංවර්ධන පහසුකම් සැලසීම සඳහා වන ශ්‍රී ලංකා මධ්‍යස්ථානය (Centre for Sri Lanka Development Facilities) විසින්, ධීවර ප්‍රජාව සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් හා වෙළෙඳපොළ හඳුන්වා දීමේ පහසුකම් සලසයි. මීට අමතරව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ද, මෙම ධීවර ප්‍රජාව සඳහා අවශ්‍ය පහසුකම් සපයයි.
මේ වනවිට ආනපල්ලම පවුල් 367ක් සිටින අතර, බෙල්ලන් වගා කිරීමේ නියාමණ ව්‍යාපෘතියේ පවුල් 10ක් යෙදී සිටිති. මෙහි එක් පවුලක් විසින් මසකට රුපියල් 40,000ත් 50,000ත් අතර අමතර ආදායමක් මෙමගින් උපයා ගනී. සෙසු පවුල් ද බෙල්ලන් වගාව සඳහා කැමැත්ත පළ කර තිබෙන අතර, ඔවුන් ද ඒ සඳහා යොදවා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කෙසේ වුවද, වසර සිය ගණනක් තිස්සේ නිසි ප්‍රයෝජනයක් නොමැතිව මුහුදු පත්ලට දිරා පත් වු මුහුදු ජීවි විශේෂයක් වන කාවාටි බෙල්ලෝ ධනය උපයන නිධානයක් බවට පත් වී ඇතැයි, මෙම අවස්ථාවට එක්වෙමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එමෙන්ම, ධීවර පවුල්වල ආදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා විකල්ප ආදායම් මාර්ගයක් වශයෙන් බෙල්ලන් වගාව ඉහළ ප්‍රතිපල ලබා දී ඇතැයි ද, හෙතෙම කීය.
බෙල්ලන් යනු ඉහළ ප්‍රෝටීන් සහිත අධි පෝෂිත මුහුදු ආහාරයකි. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් හා මේදය රහිත නිසා හෘදය වස්තුව හා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඇතැම් රෝග වළක්වා ගැනීමේ හැකියාවක් මෙම මුහුදු ආහාරවල ඇති නිසා අන්තර්ජාතිකව මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.
එමනිසා සෞඛ්‍ය සම්පන්න ආහාරයක් වශයෙන් බෙල්ලන් සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉහළ ඉල්ලුමක් පැවතීම නිසා බෙල්ලන් වගාව අප රටේ ව්‍යාප්ත කරලීමට රජය අවධානය යොමු කර ඇතැයි ද, විශේෂයෙන් ජනාධිපතිතුමාගේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ බෙල්ලන් වගාව කළපු ආශ්රිත වෙනත් ධීවර පවුල්වලට ද හඳුන්වා දී, ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.
මෙම අවස්ථාවට වයඹ පළාත් සභා මන්ත්‍රී වික්ටර් ඇන්තනි, නාරා ආයතනයේ සභාපති අනිල් ප්‍රේමරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.