1848 මාතලෙන් ඇරඹි නිදහස් අරගලයට නායකත්වය දුන් වීර පුරන් අප්පු විරුවා වෙනුවෙන් මීට බොහෝ කාලයට පෙර නගරයේ ඉදිකළ ස්මාරකය හැරුනු කොට එම විරුවාගේ පිළිරුවක් තවමත් නගරයේ ඉදිවී නැති බවද සදහන් කළ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා 1948 අපට ලැබුණේ තවදුරටත් එංගලන්ත රජයට සහ රැජිනට පක්ෂපාති පාලන ව්‍යුහයක් බවත් පැවසීය. එකී ඩොමීනියන් නිදහස පූර්ණ නිදහසක් බවට පරිවර්තනය වූයේ 1972 මැයි 22 දින සිට ක්‍රියාත්මක වන ජනරජ ව්‍යවස්ථාවත් සමග බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා මේ බැවි සදහන් කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල්ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 22දා මාතලේ දිසා ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති ජනරජ දිනය සැමරීම වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ රැස්වීමකදීය.
එහිදී වැඩිදුරටත් කතා කළ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා 1972 නිදහස් ජනරජයේ ජනාපතිවරයා ලෙස පත්වූවේද මාතලේ දිස්ත්‍රික්කයේ ජනනායකයෙකු වන විලියම් ගොපල්ලව මැතිතුමා බවත් එය මාතලේට ආඩම්බරයක් බවත් 1972 ජනරජ ව්‍යවස්ථාවත් සමගම අපේ රට සම්පූර්ණයෙන්ම එංගලන්ත කිරීටයෙන් නිදහස් වූ බවද එහෙත් ජනරජ ව්‍යවස්ථාව සදහා ගිය ගමනද අභියෝග මැද ගිය ගමනක් බවද එවකට සමගි පෙරමුණ මේ සදහා ජනවරමක් ඉල්ලා සිටි බවද මුළු පාර්ලිමේන්තුවම කාරක සභාවක් ලෙස සිටිමින් ජනරජ දිනය සම්මත කරගත් බවද පැවසූ ඒ මහතා එහි ප්‍රතිඵයක් ලෙස අද අපි භුක්ති විදින සම්පූර්ණ නිදහස හිමිවූ බවද ඒ අනුව රාජ්‍ය සේවය අධිකරණය පරිපාලන, රාජ්‍ය
පාලනය ආදි සියලු අංශවල ස්වාධීනතාව ඇතිවූ බවද අතිරේක දිසාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට දිසා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වී හිටියහ.
PM