නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධනයට අවශ්‍ය වන්නේ රැකියා නිපුණත්වයෙන් හෙබි දක්ෂ පිරිසක්

    මැයි 12, 2015
    රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය කරමින් අඟුණුකොළපැලැස්ස කෘෂිකර්ම විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
     
    දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් පුස්තකාලයක් සහ බිම් මහල කථිකාචාර්යවරුන් සඳහා වන කාර්යාලවලින් සමන්විතය. අඟුණුකොළපැලැස්ස කෘෂිකර්ම විද්‍යාලය තුළ සිසුන් 115ක් පමණ අධ්‍යාපනය හදාරති.
     
    මෙහිදී අදහස් පළ කළ ගරු කෘෂිකර්ම අමාත්‍යවරයා, රජයේ කෘෂිකර්ම විද්‍යාලවල ආරම්භ කළ කෘෂිකර්ම පාඨමාලාව රැකියා ඉලක්ක කරගත් පාඨමාලාවක් බව සඳහන් කළේය. මේ පාඨමාලාවට කලින් බඳවාගත්තේ සිසුන් 40ක කණ්ඩායමක්. නමුත් මේ වන විට බඳවාගන්නා සිසුන් ප්‍ර‍මාණය 70 දක්වා ඉහළ දමා තිබෙනවා. ඊට හේතුව මේ පාඨමාලාවට රැකියා සඳහා ඉහළ ඉල්ලුමක් තිබීමයි. කෘෂිකර්ම අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා ඉදරියේ දී කෘෂිකර්ම විද්‍යාලවල පහසුකම් වැඩිකිරීමත් සමඟ බඳවා ගන්නා පිරිසත් ඉහළ දැමීමට. දැනට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම විද්‍යාල 09ක් තිබෙනවා. කොරියානු ආධාර යටතේ 10 වැනි කෘෂිකර්ම විද්‍යාලය අනුරාධපුරයේ ආරම්භ කරන්න අපි සැලසුම් කරනවා. මේ තුළින් කෘෂි ක්ෂේත්‍ර‍ය සඳහා වැඩි සුදුසුකම් සහිත පිරිසක් බිහිකිරීමයි අපගේ ඉලක්කය.
     
    උපාධිය යනු රැකියාවකට සුදුසුකමක් නොවන බවත්, රැකියා ඉලක්ක කරගත් නිපුණතාවෙන් හෙබි දක්ෂ පිරිසක් බිහිකිරීම රටේ සංවර්ධනයට ඉවහල් වන බවත් අමාත්‍යතුමා මෙහිදී ප්‍ර‍කාශ කළේය. පසුගිය සමයේ උපාධිධාරීන් 90,000කට පමණ රැකියා ලබාදුන්නත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතැම් තනතුරු තවමත් පිරවිය නොහැකි වී ඇත්තේ ඒ සඳහා සුදුසුකම් ලත් පිරිසක් බිහිවී නොතිබීම නිසාය.  මෙහිදී දෙමව්පියන් සතුව ද විශාල වගකීමක් තියෙනවා. බොහෝ දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ තම දරුවන්ව වෛද්‍යවරුන්, නීතීඥවරුන් කිරීමටයි. පරිගණක කටයුතුවලට දක්ෂ දරුවන්ව එම ක්ෂේත්‍රයේ දක්ෂයන් බවට පත් කළ යුතුය. කෘෂිකර්මයට නැඹුරුවක් දක්වන දරුවන් ඒ සඳහා යොමු කළ යුතුයි. දරුවන්ගේ දක්ෂතාවන් හඳුනාගෙන ඒ ඒ ක්ෂේත්‍ර‍යන්ට දරුවන් යොමු කිරීමෙන් ඔවුන්ගේ අනාගතය සාර්ථක වනු ඇත.
     
    කෘෂිකර්මාන්තය දියුණු කිරීමට තාක්ෂණය ගමට ගෙනයාමේ අවශ්‍යතාව ද අමාත්‍යතුමා මෙහිදී පැහැදිලි කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවතීම තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ගමට ගෙනයාම පහසුකරවන්නක් බවත් කෘෂිකර්ම ප්‍ර‍තිපත්තිය නිර්මාණය කිරීමේ සිට වෙනස්කම් රාශියක් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශය රටේ ජනතාවට උපරිම සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya