නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපයෝජනයන්ට ලක්වුණු ළමුන් වෙනුවෙන් මනෝ සමාජීය පුනරුත්ථාපන ඒකකයක්

    මාර්තු 11, 2015
    අපයෝජනයන්ට ලක්වුණු ළමුන් සමාජගත කිරීමේ දැනට පවතින ක‍්‍රමවේදය තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් අපයෝජනයන්ට ලක් වූ දරුවන් රෝහල්ගත කළ අවස්ථාවේ සිට සමාජය වෙත යොමුකරන තෙක් මනෝ සමාජීය පුනරුත්ථාපනය සඳහා කටයුතු කිරීමට රාගම පුනරුත්ථාපන රෝහලේ ඉදිකරන ලද "ළමා පියස" ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    රුපියල් මිලියන 13.9ක වියදමින් ප්ලෑන් ශ‍්‍රී ලංකා ආයතනය විසින් සදා නිම කරන ලද මේ ගොඩනැගිල්ල සඳහා කොළඹ රොටරි සමාජය ද මුල්‍යමය වශයෙන් ආධාර කරන ලදී. 
     
    ළමා අපයෝජනයට ලක්වූ පිරිස සහ ඔවුන්ගේ දෙමාපියන් සමඟ කටයුතු කිරීම සඳහා ආරක්ෂිත මෙන්ම විශ්වාසදායී, සංවේදී පරිසරයක දැඩි අවශ්‍යතාව වසර ගණනාවක සිට අවධානයට ලක්ව තිබේ. මේ වනවිට මෙවැනි දරුවන් රෝහලට ඇතුළත් කිරීමේදී දක්වන ගැටලුවලට අනුව විවිධ වාට්ටුවලට ඇතුළත් කර ගැනීමට සිදු වේ. විටෙක ගැබ්ගැනීමක් සිදු වී ඇති තරුණ දරුවන් වැඩිහිටි වාට්ටුවල නතර කිරීමට සිදුවීම නිසා ඔවුන්ට විවිධාකාරයේ ගැටලුවලට මුහුණදීමට සිදු වේ. එබැවින් මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ දී අපයෝජනයට ලක්වූ අවුරුදු 18ට අඩු සියලු ම දරුවන්ගේ ගැටලුවලට මූලික ප‍්‍රතිකාර සහ ඉදිරි ප‍්‍රතිකාර ක‍්‍රම සැලසුම් කිරීමේ කාර්යයන් සිදුවනතෙක් කාලය ගතකිරීමට විශේෂිත ස්ථානයක ඇති අවශ්‍යතාව පැහැදිලි විය. ළමා පියස ගොඩනැගීම මෙම අවශ්‍යතාවය මත ඇති වූ සංකල්පයකි. ඒ අනුව කායික ගැටලු සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර සැපයීම, නීතිමය ගැටලු සඳහා අවශ්‍ය උපදෙස් සැපයීම, මානසිකව ඇති වූ ගැටලු සඳහා ප‍්‍රතිකාර සැපයීම, මනෝ-සමාජයීය ගැටලු අවබෝධ කොට එම අවශ්‍යතාවන් සපුරාලීම, මේ ආශ‍්‍රිත අනෙකුත් අංශ සමඟ සම්බන්ධ වී දිර්ඝකාලීනව මෙම සේවාවන්වලට සහභාගීවීමට සැලැස්වීම මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වේ. 
     
    මෙම කාර්යය සඳහා වෘත්තීය දායකත්වය ශ‍්‍රී ලංකා අධිකරණ වෛද්‍ය සංගමය, ශ‍්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමය, ළමා ආරක්ෂණ හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශය යනාදී විවිධ ක්ෂේත‍්‍ර මඟින් සැපයෙනු ඇත.
     
    මෙම ළමා පියස ව්‍යාපෘතිය සඳහා අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබාගත් පසු මූලික වැඩකටයුතුවලින් පසුව 2013 නොවැම්බර් 27 දින රාගම පුනරත්ථාපන රෝහල තුළ අත්තිවාරම ගොඩනගන ලද අතර, මෙම ගොඩනැගිල්ල අංශ දෙකකින් සමන්විත වේ. අභ්‍යන්තර රෝගී අංශය සහ වීඩියෝගත කරන අංශය මෙම අංශ දෙකයි. ළමා අපයෝජනයට ලක්වූවන්ගේ සාක්ෂි උසාවියට ඉදිරිපත් කිරීම සඳහා මෙම වීඩියෝ පටිගත කිරීම වැදගත් වේ. මෙය අපයෝජනයට ලක්වූ දරුවන් නැවත නැවතත් ප‍්‍රශ්න කිරීම මඟින් ඇතිවන මානසික පීඩාව වලක්වාලීමට ඉවහල් වේ. 
     
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා, අද අපේ රටේ ළමා හිංසනයත්, කාන්තා හිංසනයත් ඉතාමත්ම ඉහළ මට්ටමකට පැමිණිලා තිබෙනවා. එකම පවුලේ පියවරුන්ගෙන් හිංසනයට පත්වන දරුවන් සිටින තත්ත්වයකට අද සමාජය සදාචාරාත්මක පිරිහිමකට ලක්වෙලා. රටේ භෞතික සම්පත් වැඩිවෙනවා, රටේ සමාජ සම්පත් වැඩිවෙනවා නමුත් විනයගරුකභාවය පිරිහීමට ලක්වෙමින් තිබෙනවා. ඒ නිසා හිංසනයට පත්වන බොහෝ අය බොහෝ අසරණ තත්ත්වයට පත්වෙනවා. සමාජය ඔවුන් දිහා වපර ඇසින් බලනවා. නීතියේ පිහිට පතාගෙන ඒ ස්ථානවලට යොමු වුනත් ඒ අවශ්‍ය රැකවරණය ඔවුන්ට ලැබෙන්නේ නැති තත්ත්වයක් උද්ගතව තිබෙනවා. මේ රටේ නීතිය ආරක්ෂක ආයතනවලින් අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ නැහැ. එක තැනතකින් අසරණ වුණ අය මේ සියලු ම තැන්වලින් අසරණ වෙනවා.
     
    මෙම තත්ත්වය මත මෙයට ඇති එක ම විසඳුමක් වන්නේ හැම පළාතකම මෙවැනි ආයතනයක් පිහිටුවීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවයි. ඒ සඳහා අවශ්‍ය වෛද්‍යවරුන්, මනෝ විශේෂඥ වෛද්‍යවරුන්, චිකිත්සකයන් සහ ළමා ආරක්ෂණ අධිකාරියේ මේ සඳහා විශේෂ පුහුණුව ලැබූ පිරිස් ඒකාබද්ධ කර මෙවැනි ආයතන හැම පළාතකට ම එකක් වශයෙන් ශික්ෂණ රෝහල්වලට අනුබද්ධ ව පිහිටුවිය යුතුයි. ඒ සඳහා මුදල් ලබා දෙන්න මා කටයුතු කරනවා. මෙවැනි ආයතන හැම පළාතකටම පිහිටුවීම තුළින් නීතියේ ආරක්ෂාවත් ඒ අයට බාරදෙන්න පුළුවනි. ඒ මඟින් නීතිමය ආරක්ෂාව සහ නීතියේ සාධාරණත්වය ඒ අයට ලබා දිය හැකියි. ඒකත් ඔවුන්ට මානසිකව උපයෝගී වෙනවා. ඒ නිසා අපි ළමා කටයුතු අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මෙම කටයුතු සිදුකරන්න අවශ්‍යයි.
      
    මෙම ආයතනය රාගම ප‍්‍රදේශයේ පිහිටුවීම මඟින් මෙම ප‍්‍රදේශයේ මෙන්ම ඒ අපයෝජනයට ලක්වුණ දරුවන්ට විශාල සේවාවක් ලබාගන්න පුළුවන්. මෙම ආයතන බිහිවීම ම ළමා හිංසනය අවමවීමට හේතුවෙයි කියලා අපි විශ්වාස කරනවා යැයි ද වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, රාගම පුනරුත්ථාපන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත කරුණාපේ‍්‍රම, ශ‍්‍රී ලංකා ළමා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති මහාචාර්ය අස්විනී ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya