Print this page

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන එන විවාදය ජනපති අරඹයි

මාර්තු 04, 2015

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර විවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද (04) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කරන ලදී.


නව රජයේ දින 100 වැඩසටහන යටතේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් ලෙස ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන එන බව ප්‍රකාශයට පත් කොට තිබුණි. ඒ අනුව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත අද දින සම්මත කිරීමට නියමිතය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අනුකූල වන ආකාරයට ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම, නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම සහ එකී ඖෂධ, වෛද්‍ය උපකරණ හා සීමාස්ථ නිෂ්පාදනවලට අදාළ කරුණු මෙහි ප්‍රධාන වේ.

සායනික පරීක්ෂණ පවත්වන ආකාරය නියාමනය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් වගකීම් පැවරෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමට ද කෙටුම්පත් කර තිබේ.

තවද ඖෂධ නියාමන අංශය, වෛද්‍ය උපකරණ නියාමන අංශය, සීමාස්ථ නිෂ්පාදන නියාමන අංශය සහ සායනික පරීක්ෂණ නියාමන අංශය ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අංශ පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද කෙටුම්පතෙහි අන්තරගතය.

 

එසේම 1980 අංක 27 දරන විලවුන්, උපකරණ සහ ඖෂධ පනත ඉවත් කිරීමට සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම යන කරුණු මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත.

 

PR/NDH