ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කෙරෙන දෙවැනි ප්‍රධාන රැලිය නාවලපිටිය නගරයේ දී අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණු අවස්ථාවේ ජනාධිපතිතුමා මෙසේ ද පැවසීය.
එදා 2005 දීත් 2010දීත් තමා නාවලපිටිය නගරයට පැමිණ ජනතාව ඇමතූ බවත් අද තිබෙන්නේ එදා තිබූ නගරය නොවන බවත් අද නගරය අලුත් වී ඇති බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඒ නගරයේ ගෞරවය හිමිවන්න ඕනේ මට නෙමෙයි මහින්දානන්ද හදපු නගරය. අපි ඇමතිවරුන්ට නිදහසේ වැඩකරන්න අයිතිය දීලා තියෙනවා. අපි ඇමතිවරුන්ට ප්‍රතිපාදන දෙනවා. ඒක දීලා කියනවා දැන් එය ඔබ පාලනය කරගෙන යන්න ඕන. ඒකෙ සහයටයි කැබිනට් මණ්ඩලය තියෙන්නේ. මට පුදුම දැන් සෞඛ්‍ය ඇමතිතුමා කියනවා සෞඛ්‍ය පිරිහිලාලු. ක්‍රීඩාව පිරිහිලා නම් ඒකට වගකියන්න ඕන ක්‍රීඩා ඇමති, ක්‍රීඩාව ජයග්‍රහණය කරන කොට අපි. ඒක තමයි සාමාන්‍ය සිරිත. දැන් කියනවා සෞඛ්‍ය පිරිහිලා.
අපි ඇත්ත වශයෙන් ම ඉල්ලන ඉල්ලන ගාන දුන්නා සෞඛ්‍ය අමාත්‍යංශයට. අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රතිපාදන වැඩි කළා බිලියන ගාණක්. පළමුවැනි වතාවට එහෙම මුදල් දීලා තියෙනවා. සමහර වෙලාවට සල්ලි ආපහු භාණ්ඩාගරයට එනවා. ඒක අපේ වරදක් නෙවෙයි. නටන්න බැරි මිනිහා කියනවලු පොළොව ඇදයි කියලා. එහෙම කතාවක් තමයි මෙයා කියන්නෙ. මේවා අද තමයි මතක් වෙලා තියෙන්නේ. අද හුඟක් අයට අමතක වෙලා යනවා. මම මතක් කරන්නම්. 2005 මගෙන් ඉල්ලුවේ එකම දෙයයි. මේ රටේ මුහුදු තීරුවෙන් තුනෙන් දෙකක් කොටින්ට අයිතිවෙලා රට දෙකට බෙදිලා. ත්රස්තවාදීන් හැමදාම මරනවා. මේකෙන් නිදහස් කරලා දෙන්න කියලා ඉල්ලුවේ. මගෙන් රස්සාවල් සංවර්ධනය ඉල්ලුවේ නැහැ. ජනාධිපතිවරුන්ට නොහැකි වූ දේ අපි අවුරුදු තුනෙන් ඉවර කරලා දුන්නා. මේක තමයි අභය දානය.
ඊට පස්සේ ජනතාව ඉදිරියට ඇවිත් කිව්වා නිදහස් කරගත්ත රට සංවර්ධනය කරන්න ඕන. සංවර්ධනය කරන්න අපිට දුන්නා. අපි රට සංවර්ධනය කළා. අද ගමනාගමනය පහසුවෙලා. පාසල්, රෝහල්, සමාජයම නවීකරණය වෙලා. යටිතල පහසුකම් අපි ගමට දුන්නා. අද 98%කට විදුලිය ලබා දීලා අවසන්. ඉතුරු 2%ත් දෙසැම්බර් 31ට පෙර දෙන්න කියලා මම කියලා තියෙන්නේ. පැය 24ම 100%ක් විදුලිය ලබා දෙන කලාපයේ තියෙන එක ම රට ලංකාවයි කියලා මම බය නැතුව කියනවා. මේවා නිකන් හම්බවුණේ නැහැ. කොත්මලේ, නොරොච්චෝලේ ඒ කාලේ හදන්නේ නැතුව හිටියා. ඡන්දය විතරක් බලාගෙන වැඩ කළොත් රටත් සංවර්ධනය කරන්න බැහැ.
දැන් කොළඹ යන්න පැය කීයක් යනවද? තව ටික දවසකින් පැයයි විනාඩි 30න් ඔබට කොළඹට යන්න පුළුවන්. අද වෙනස බලන්න. හැමදාම රටකට එක තැන පල්වෙන්න පුළුවන්ද?
සමහරුන්ට ඕක එක තැන පල්වෙන සමාජයක්. මට ඕන ඉදිරියට යන සමාජයක්. ශක්තිමත් සමාජයක්. ලෝකය දිනන්න පුළුවන් දරු මුණුපුරන් හදන සමාජයක් බව පොහොම පැහැදිලිව කියන්න ඕන. කිව්ව දේවල් කරලා අපි යළිත් ඇවිල්ලා තියෙනවා. 60%කට අපි නළ ජලය දීලා. ඊළඟ පාර හැම ගෙදරකටම නළ ජලය සපයනවා. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. සංචාරකයෝ එදා ආවේ ලක්ෂ හතරයි. අද ලක්ෂ විස්සයි. සංචාරනක ව්‍යාපාරයට අවශ්‍ය තරුණ කැළක් හැදෙන්න ඕන. තරුණයින් 150,000කට රැකියා දෙන වැඩපිළිවෙළ මේ පාර අයවැයෙන් අපි සකස් කළා.
මේ සියල්ල කළත් වැඩක් නෑ සමාජය තුළ විනයක් නැතිනම්. අම්මට තාත්තට ගරු කරන, පන්සලට පල්ලියට කෝවිලට යන සමාජයක් අපි හදන්න ඕන. දරුවාට යහපත් සමාජයක්, සුරක්ෂිත ලංකාවක් හදන්න ඕන. මේ රට නෙවෙයි මේ ලෝකය දිනන්නයි අපි වැඩපිළිවෙළ හදලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙළ තියෙන්නේ සංධාන වේදිකාවේ.
ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ ලොකුම එක්. ඒක කරගන්න බැරිවුණාට මගේ වරදක් නෙවෙයි. දැන් මඩ ගහනවා. මගේ දරුවන්ට, සහෝදරවරුන්ට. මම දේශපාලනයට ගෙනාපු සහෝදරයෝ එක්කෙනෙක්වත් නැහැ. මගේ ඉඳන් ම ගෙනාවේ බණ්ඩාරනායක මැතිනිය. චමල් රාජපක්ෂ කතානායකතුමාට එදා කතා කළාම එතුමා බැහැ කිව්වා. එයා බෑ කිව්වම මට දුන්නා. ඊට පස්සේ මැතිනිය ආපහු එයාට එන්න කියලා කිව්වා. අතුරු මැතිවරණයේ උඹ තරග කරපන් කියලා. ඒ පාර එතුමා රස්සාවෙන් අස්වෙලා ආවා. බැසිල් පක්ෂයේ උප ලේකම්. මට ඡන්ද 27යි. බැසිල්ට ඡන්ද 97යි. එහෙම තමයි එයා ආවේ. 77 දී එයාට දුන්නා මුල්කිරිගල ආසනය. මැතිනිය දුන්නේ මම නෙමෙයි. ඒකයි අපි අපේ ගෞරවය අදත් මැතිනියට තියෙන්නේ. ඒක හින්දා තමයි මැතිනියගේ පින්තූරයක් අපේ ගෙවල්වල තාමත් තියෙන්නේ. ඒක හින්දා තමයි අපි ගරු කරන්නේ. අපිට ඉතිහාසය අමතක වෙන්නේ නෑ. බණ්ඩාරනායක මහත්තයත් එක්ක ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා, අපේ තාත්තා එදා විපක්ෂයට ගියා ආණ්ඩු පක්ෂයෙන්. අද ඉතිහාසය අමතක වෙලා. මම ගෙනාවේ එක්කෙනයි. ගෝඨාභය. ඒ ගේන්න ඕන වුණේ හාමුදුරුවනේ මට යුද්දේ කරන්න විස්වාසවන්ත මනුස්සයෙක් මගේ ගාව ඉන්න ඕන නිසා. එයා හමුදාවේ හිටපු නිලධාරියෙක්. ඒකයි ඒ වගකීම දුන්නේ. එයාගෙ වැඩ ගැන මම කියන්න යන්නේ නැහැ තමුන්නාන්සේලා දන්නවා. කොළඹ නගරය කවුද ලස්සන කළේ. කවුද වැඩ කළේ කියලා.
මට මතකයි විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ, ජවිපෙ දිසානායකලා මෛත්‍රීපාල උන්නැහේටත් ඔය චෝදනාව ඉදිරිපත් කරනවා. එයාගෙ සහෝදර පිරිස පිළිබඳ ව. ඒ චෝදනාව ඔවුන් කිව්වේ. මේ රටේ වී සහ හාල්වල මිල පාලනය තිබුණේ එක සහෝදරයෙකුට. ඩඩ්ලිට. එක සහෝදරයෙක් මේ රටේ වී මිලයි හාල් මිලයි පාලනය කළා. මෙහෙම කියන්නේ එක්සත් ජාතික පක්ෂය. මෙහෙම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අපි කිව්වේ නැහැ. ඒ වගේ ම වැලිවල පාලනය කවුද ගත්තේ?. කැටගල් ප්‍රාදේශීය සභාවලට වික්කේ කවුද අපිද? ඒකාධිකාරය එක සහෝදරයෙක්. කැලෑවේ ගස් ටික තිබුණේ තව සහෝදරයෙක් ගාව. ඒක කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ. කෙනෙක් කිව්වා හාමුදුරුවනේ මට “ඔබතුමාගේ හතරයි කෑව කියන්නේ. උන්ගෙ ආවොත් 12ක් කයි. ඒක තමයි ඇත්ත කතාව කියලා.“ මම කිව්වා අපහාස කරන්න මට බෑ. මම අපහාස කරන්නේ නැහැ කාටවත්.
වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. මට කියන්න තියෙන්නේ එච්චරයි. අපහාස කළාට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ මේ ඡන්දෙදි. මේක රටක් ගැන කතා කරන ඡන්දයක්. ජාතියේ ඉරණම තීන්දු කරන අවස්ථාවක්. මේක වගකීමකින් යුක්ත විස්වාසවන්තයෙකුට දෙන්න ඕන. නැත්නම් මේ විශ්වාසය... රෑත් හිටියා දෙයියනේ. රෑ 12 වෙනකන් හිටියා ආප්ප කකා. උදේම ගියා පැනලා. කිව්වෙත් නැහැ. මේක මනුෂ්‍යත්වයට කරපු නින්දාවක්. මේ විශ්වාසය... මේ රටකට දෙන්න යන්නේ. පක්ෂයකට නෙමෙයි. මේ සටනින් අපි භාරදෙන්න හදන්නේ රටක්. ඔබේ දරුවාගේ අනාගතය. ඔබේ අනාගතය. තරුණයාගේ තරුණියගේ අනාගතය. ලෝකය ඉදිරියට ගෙනියන්න.
අද අපි ව ගෙනියනවලු හේග් එකට. එල්ටීටීඊය කියනවා මාව අරන් යන්න ඕන කියලා හේග්වලට. වගකියන්න ඕනලු යුද්දධයට. ඇයි යුද්ධය දින්න හින්දා. මිනිස්සුන්ට ජීවිත දානය දුන්න හින්දා. බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය දුන්න හින්දා. පාරවල් ටික හදලා දුන්න හින්දා. ලයිට් ටික දුන්න හින්දා. යාපනයට රෑ 12ට වුණත් ගිහිල්ලා එන්න පුළුවන් බය නැතිව. යාල් දේවිය දාපු හින්දා. අවතැන් වූවන්ට ඉඩම් ලබා දෙන හින්දා. මේවද අපි කරලා තියෙන වැරදි?. යැයි ජනාධිපතිතුමා විමසා සිටියේය.
ඔබ අප කෙරේ තැබූ විශ්වාසය අපි අබමල් රේණුවකින්වත් කඩලා නෑ. ඒ වගේම කඩන්නෙත් නෑ. ඉදිරියටත් ඒ විශ්වාසය ඒ අකාරයෙන්ම තබාගන්නට අපි කටයුතු කරන බවට ප්‍රතිඥා දෙන බව ද ජනාධිපතිතුමා කීය.
අතිවිශාල ජනතා සහභාගීත්වයකින් පැවැත්වුණු මේ රැලිය අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, විජිත් විජයමුණි සොයිසා, රෙජිනෝල්ඩ් කුරේ, තිස්ස අත්තනායක මහත්වරුන් ඇතුළු පිරිසක් ඇමතූහ.
HC/Pix by: Sudath Silva