ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකේය වාරි තාක්ෂණයට අභිමානයක් එක්කරන දැදුරුඔය ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීමේ උත්සවයට ඊයේ (22) එක්වෙමිනි.
පසුගිය රජයන් මේ රටේ වාරි කර්මාන්තය පිළිබඳ ව සහ කෘෂිකර්මාන්තය පිළිබඳ ව කිසිදු විශ්වාසයක් නොතැබූ බවද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා සියල්ල පිටරටින් ගෙන්වා ගැනීම ඔවුන්ගේ අරමුණ වු බවද කියා සිටියේය.
එම සංස්කෘතිය අවසන් කරමින් අපගේ අභිමානවත් වාරි ශිෂ්ටාචාරය යළි රට තුළ මතු කරමින් කෘෂිකර්මාන්තයෙන් රට සශ්‍රීක කරන්නට රජය දැවැන්ත වැඩපිළිවෙළක් ගෙන යන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා මුළු ලෝකයටම ආහාර අර්බුදයක් ආවත් අපට ඊට මුහුණදීමට ශක්තිය ඇති බවද කියා සිටියේය.
රටක් සංවර්ධනය කරා ගෙන යාමට නම් එම රට ස්වාධීන රටක් විය යුතුය. අපේ රට පාලනය කිරීමට වෙනත් රටකට ඉඩදිය නොහැකි බවද පැවසූ ජනාධිපතිතුමා අපේ ස්වාධීනත්වය අප රැකගත යුතු බවද කියා සිටියේය.
අපේ රට දියුණුවනවාට අකමැති විදේශ රටවල් වෙනත් කුමන්ත්‍රණ මගින් අද මව්බිමේ ගමන වැළැක්වීමට උත්සාහ දරන බවත් පඹයන් වැනි නායකයන් පත් කරගෙන අපේ රට යළි අරාජික තත්ත්වයකට පත් කිරීම ඔවුන්ගේ අරමුණ බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමට හැකි වූයේත් රට සංවර්ධනය කළ හැකි වූයේත් ජනතා ආශිර්වාදයෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළට ද ශක්තිය ලබාදෙන ලෙස ජනතාවට පැවසීය.
කිසිදු විදේශ කොන්ත්‍රාත්කරුවන් හෝ උපදේශකත්වයකින් තොර ව දේශීය ඥාන ශක්තිය හා අත්දැකීම් යොදාගනිමින් දැදුරු ඔය ව්‍යාපෘතිය ඉදිකර ඇති අතර ඒ සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන දස දහසකි.