අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මපාලතුමා සිංහල බෞද්ධයා නඟාසිටුවන්නට යොමුවුණේ ලංකා ඉතිහාසයේ ඉතාම අඳුරු යුගයක - ජනපති

    සැප්තැම්බර් 17, 2014

    අනගාරික ධර්මපාල තුමා සිංහල බෞද්ධයා නඟා සිටුවන්න යොමු වුණේ ලංකා ඉතිහාසයේ ඉතා ම අඳුරු යුගයක බවත් ධර්මපාලතුමා තමන්ගේ සේවය ආරම්භ කළේ සිංහල බෞද්ධයාට නිදහස ගැන හිතාගන්නවත් හැකියාවක් නොතිබුණ අවධියක බවත් ජනාධීපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

     

    අද (17) පෙරවරුවේ නිදහස් චතුරස‍්‍රයේදි පැවැති 150 වැනි අනගාරික ධර්මපාල ගුණානුස්මරණ දිනය සමරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ අද තියෙන දේශපාලන පක්ෂ එකක්වත් ඒ යුගය වන විට බිහිවෙලා නොතිබූ බවත් පැත්තකින් අධිරාජ්‍යවාදීන්, හා ඒ අයට සේවය කළ හාමුලා, තවත් පැත්තකින් නූගත්කම, දීනකම එක්ක ජීවත්වුණ ජනතාවක් එකල සිටි බවත්ය.

     

    මේ සියලු දෙනා මැද ඉඳගෙන තමයි ධර්මපාලතුමා ලාංකිකයාට අත පය දිග ඇරලා අවදිවෙන්න පාර හදා දුන්නේ යන්න සිංහලයා පමණයි ලෝකයේ ශ්‍රේෂ්ඨ, ඔහු පමණක් ලෝකයෙන් ඉතුරු විය යුතුයි කියලා ධර්මපාලතුමා ඉගැන්වුයේ නැහැ අනෙක් ජාතීන්ගෙන් රටවලින් ඉගෙන ගත යුතුයි කියලා මේ රටේ ජනතාවට කියාපු වීරයාට ජාතිවාදී කියන ලේබලය ඇලෙව්වේ ජාතිය නඟාසිටුවනවා දකින්න අකමැති අය යයි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී පැවසීය.

    President Presides at Sir Anagarika Dharmapalas 150th Birth Anniversary Commemoration 1

     

    ශී‍්‍රමත් අනගාරික ධර්මපාල මැතිඳුන්ගේ 150 වන ගුණ සමරුම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා පැවැත් වූ සම්පූර්ණ කතාව

     

    මිත‍්‍රවරුනි,

     

    අද අපි මෙතනට රැස්වෙලා ඉන්නේ පසුගිය සියවසේ ලෝකයට බිහිවුණු ශ්‍රේෂ්ඨතම ලංකා පුත‍්‍රයෙක් සිහිපත් කරන්න. අපේ මාතෘ භුමියට වගේ ම බෞද්ධ ලෝකයට ම විශාල සේවාවක් කළ ශ්‍රේෂ්ඨ ලංකා පුත‍්‍රයකු සිහිපත් කරන්න.

     

    මිත‍්‍රවරුනි,

     

    අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයා නඟාසිටුවන්න යොමු වුණේ ලංකා ඉතිහාසයේ ඉතා ම අඳුරු යුගයක. සිංහල බෞද්ධයාට නිදහස ගැන හිතාගන්නවත් හැකියාවක් තිබුණ අවධියක නොවෙයි ධර්මපාල තුමා තමන්ගේ සේවය ආරම්භ කළේ. අද තියෙන දේශපාලන පක්ෂ එකක්වත් ඒ වෙනකොට බිහිවෙලා තිබුණේ නැහැ. ඒවායේ නාම මාත‍්‍රයක්වත් ශී‍්‍ර ලංකාවේ තිබුණේ නැහැ. පැත්තකින් අධිරාජ්‍යවාදීන්, පැත්තකින් ඒ අයට සේවය කළ හාමුලා, තවත් පැත්තකින් නූගත්කම, දීනකම එක්ක ජීවත්වුණ ජනතාව, මේ සියලු දෙනා මැද ඉඳගෙන තමයි ධර්මපාලතුමා ලාංකිකයාට අත පය දිග ඇරලා අවදිවෙන්න පාර හදා දුන්නේ.

     

    සිංහල බෞද්ධයා දත යුතු කරුණු කියලා පොත් ලියලා පිරිසිදුකම ගැන, පන්සිල් රැකීම ගැන, සංකර සිරිත් අතහැරීම ගැන ජාතියට කරුණු කියාදීලා නිදහස් සටන ආරම්භ කරන්න ධර්මපාල තුමාට සිදුවුණා. නම් ගම් හදා දීලා පන්සිල් පද පහ ගැන කියා දීලා ජාතිය නඟාසිටුවන්න කි‍්‍රයා කරන කොට මොන තරම් අපහසු තැනකින්ද එතුමා පටන් ගන්නේ කියලා අපට හිතෙනවා. තමන්ගේ ජාතියේ නිදහස සඳහා තිබෙන හොඳ ම මග ජාතියේ තිබෙන දුබලතා ඉවත් කිරීම බව අනගාරික ධර්මපාලතුමා වටහාගෙන හිටියා.

     

    ජාතිය නඟාසිටවිය යුත්තේ තවත් ජාතියක් යටත් කර ගෙන නොවෙයි. ජාතිය ශක්තිමත් කරලා. එතුමා දේශපේ‍්‍රමියෙක් වුණාට තමන්ගේ රට ගැන විතරක් නොවෙයි ඉගෙන ගත්තේ. තමන්ගේ ජාතියට විතරක් නො වෙයි ගරු කළේ. ගී‍්‍රසිය, ජපානය, අමෙරිකාව වගේ රටවල් ගැන කියා දීලා ඒ රටවල්වල දියුණුවෙන් ඉගෙන ගත යුතු බව සිංහලයාට වටහලා දුන්නා. මුස්ලිම්වරුන් වගේ මත්පැනින් වැළකෙන්න, හින්දූන් වගේ මස්මාංශ කෑමෙන් වැළකිලා පිරිසිදු ජීවිතයක් ගත කරන්න, ඉංගී‍්‍රසි ජාතිකයන් වෙහෙස වෙලා ධනය උපයන්න ඕනෑ කියලා ධර්මපාල තුමා දේශනා කළා.

     

    සිංහලයා පමණයි ලෝකයේ ශ්‍රේෂ්ඨ, ඔහු පමණක් ලෝකයෙන් ඉතුරු විය යුතුයි කියලා ධර්මපාල තුමා ඉගැන්වුයේ නැහැ යන්නද අනෙක් ජාතීන්ගෙන් රටවලින් ඉගෙන ගත යුතුයි කියලා මේ රටේ ජනතාවට කියපු වීරයාට ජාතිවාදී කියන ලේබලය ඇලෙව්වේ ජාතිය නඟාසිටුවනවා දකින්න අකමැති අය.

     

    මිත‍්‍රවරුනි,

     

    අනගාරික ධර්මපාලතුමා ජාතිවාදියෙක් නොවුණා විතරක් නොවෙයි ව්‍යාජ මෝඩ අධිරාජ්‍ය විරෝධියෙක් වුණෙත් නෑ. මහජන අනුකම්පාව දිනා ගන්න හිරේ විලංගුවේ වැටෙන ව්‍යාජ සටන් කරපු කෙනෙක් නොවෙයි එතුමා. නිවාස අඩස්සියට පත් වුණහම එතුමා තමන් නිවාස අඩස්සියට පත් කළ අයටත් මෛතී‍්‍ර කරමින් ජාතිය නඟාසිටවන්න පොත පත ලියමින් කටයුතු කළා.

     

    ජාතියේ වීරයෙක් වෙන්න වුවමනා නම් දේශය ගැන හොඳ වැටහීමක් තිබෙන්න ඕනෑ. කොළඹ අවට ඉන්න බෞද්ධයෝ ගැන විතරක් බලලා තමන්ගේ වැඩපිළිවෙළ හදා ගත්ත කෙනෙක් නොවෙයි ධර්මපාලතුමා. ඕල්කොට්තුමාගේ භාෂා පරිවර්තකයෙකු විදියට මුළු රටේ ම ගම් නියම් ගම්වල ඇවිදින්න තරුණ කාලේ ම අවස්ථාව ලැබුණා. මේ නිසා මුළු රටේ ම ඉන්න ජනතාව ගැන වැටහීමක් ඇතිවයි එතුමා වැඩ කළේ. ඒ නිසායි එතුමා දූරදර්ශී වුණේ. ඒ අවබෝධය නිසා තමයි අනෙක් අයට වඩා එතුමාගේ වැඩපිළිවෙළ මේ රටේ පල දැරුවේ. ඒ නිසා ධර්මපාල තුමා ජාතික වීරයෙක් වුණේ. මේ රටේ උරුමය ගැන වැටහීමක් ඇති ව.

     

    මිත‍්‍රවරුනි

     

    ධර්මාශෝක රජුගෙන් පස්සේ, කණිෂ්ක රජුගෙන් පස්සේ ලෝකේ බොහෝ රටවලට බුදු දහම ගෙන ගියේ ධර්මපාල තුමා. ඉන්දියාවේ නැතිවෙලා තිබුණ බුදු දහම ඉන්දියාවට ගෙන ගියා විතරක් නොවෙයි යුරෝපය, බටහිර රටවල්වලට ගෙන ගියේත් ධර්මපාලතුමා. මහබෝධි සමාගම ධර්මපාල තුමා පටන් ගත්ත ලෝකයට ම සේවය කළ සංවිධානයක්. චිකාගෝ නුවර ලෝක ආගම් පාර්ලිමේන්තුවේ දී අනගාරික ධර්මපාලතුමාගේ කතාව අහලා බි‍්‍රතාන්‍ය ජාතිකයොත් බුදුදහම වැළඳගත්තා කියලා වාර්තා වෙලා තියෙනවා. කොයිතරම් අධිරාජ්‍ය විරෝධියෙක් වුණත් එතුමා කතා කළේ තමන්ගේ අදහස්වලට අනෙක් අයටත් ගරු කරන්න හිතෙන විදියට. බුදුදහමෙන් ඈත්වෙන විදියට දේශනා තියන්න ගියේ නැහැ.

     

    එතුමා දැනගෙන හිටියා ධර්මය, ප‍්‍රචාරය කිරීමෙන් පමණක් සිංහල බෞද්ධයෝ ශක්තිමත් කරන්න බැරි බව. එතුමා ආනන්ද විද්‍යාලය වාගේ බෞද්ධ පාසල් පද්ධතියක් පිහිටවලා බොහොම දුරදර්ශී විදියට ජාතිය ගැන හිතුවා. බෞද්ධ පාසල් 110ක් පිහිටවලා ධර්මපාල තුමා සේවය කළ ඒ යුගයත් එක්ක ගත්තහම කිසිවකට සම කරන්න බැහැ. නමුත් අද  ඒ පාසල් බොහොමයක එතුමාගේ නමවත් මහා බෝධි සමාගමේ නමවත් නෑ. ඒ විතරක් නොවෙයි සිංහලයාට වෘත්තීය පුහුණුවක් දෙන්න  ඕනෑ කියලා ලංකාවේ මුලින් ම හිතුවේත් එතුමා. පවුලේ ව්‍යාපාර යොදා ගෙන ගිනි පෙට්ටි කර්මාන්තය උගන්වලා එතුමා සිංහල තරුණ තරුණියන්ට වෘත්තිය අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කළා. අද වසර 150කට පස්සේ අපි වෘත්තීය අධ්‍යාපනය පාසල්වලට ලබා දෙන්න කටයුතු කරන කොට එදා ධර්මපාලතුමා කොයි තරම් ඉදිරියෙන් හිටියද කියලා මට සිහිපත් වෙනවා.

     

    මිත‍්‍රවරුනි,

     

    දුටුගැමුණු රජතුමා ළඟට ධර්මපාල තුමා තමයි අපේ ඉතිහාසයේ වැඩිපුර අපහාසයට උපහාසයට පත් වුණ වීරවරු. මීට වසර 10කට කලින් මම සිංහල බෞද්ධයෙක් කියලා ප‍්‍රසිද්ධියේ කියන්න බොහෝ දෙනෙක් කැමති වුණේ නෑ. සිංහල බෞද්ධ  කියලා මම කියන කොටත් විශාල වශයෙන් ඒකත් විවේචනය කළා. ඒ වගේ ම දුටුගැමුණු මහ රජු ගැන මතක් කරන්නත් කැමති වුණේ නෑ. ඒවාගේ ම ධර්මපාලතුමාටත් ජාතිවාදී ලේබලයක් අලවලා තිබුණේ. අද ඒ රට අපි වෙනස් කළා. මම සිංහල බෞද්ධයෙකු කියන්න, දුටුගැමුණු රජතුමා ගැන බය නැති ව මතක් කරන්න පුළුවන් තැනට අපි මේ රට ගෙනත් තියෙනවා. අපි ජාතියට කොන්දක් දීපු නිසා අද රජවරු  ගැන, ඉතිහාසය ගැන චිත‍්‍රපටි බුරුතු පිටින් බිහිවෙනවා. ලෝකයේ ජාතින් එක්ක සමාන ව නැගිටින්න පුළුවන් කියන හැඟීම අපි ජාතියට ලබාදීලා තියෙනවා. කම්මැලිකම නැති, පිරිසිදුකම තියෙන ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු කියන හැඟීම් අපි ඇති කළේ අනගාරික ධර්මපාල තුමාට ගෞරවය ලැබෙන විදියට.

     

    මිත‍්‍රවරුනි,

     

    අනගාරික ධර්මපාලතුමා ජීවත්වුණ යුගයේ එතුමා කළ ඒ මහා සේවය වටහා ගන්න තරම් ශක්තියක් එදා සිංහලයාට තිබුණේ නෑ. යුගයට වඩා විශාල සේවයක් කරන කොට ඒක වටහා ගත්තේ නැතුව ඒකට අපහාස කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒක අදටත් එහෙමයි. අපි අද මේ රට ගොඩ ගන්න දරන උත්සාහය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඒකේ තියෙන වටිනාකම අද යුගයට වඩා විශාලයි. එකේ වටිනාකම තේරුම් ගන්න බැරි ව මේ සංවර්ධනයෙන් මොන ඵලක්ද මේ සාමයෙන් මොන ඵලක්ද කියලා සමහරු හිතාමතා ම විශාල මඩ අවලාද එල්ල කරනවා. නමුත් මේ රටට ආදරය කරන දේශපේ‍්‍රමීන් මතක ලබාගත යුතු දෙයක් තිබෙනවා.

     

    එදා යුගය ධර්මපාලතුමාගේ මෙහෙවර වටහා ගන්න බැරි වුණාට අද ඒ මහා සේවය මුළු ජාතිය ම අගය කරනවා. ඒ යුගයේ ජනතාවට යුගයට වඩා අනාගතයට බලපාන මහා මෙහෙවරක් කළහම එය වටහා ගන්න බැරි වුණාට එය වටහා ගත හැකි යුගයක් එනවා. ඒ නිසා දේශපේ‍්‍රමී ව රට වෙනුවෙන් කටයුතු කරන අය ඒ යුගයේ තමන්ට සිද්ධවෙන අපහාස උපහාසවලින් කළකිරිය යුතු නෑ.

     

    මිත‍්‍රවරුනි,

     

    තමුන්නානසේලාට මතක් කරන්න  ඕනැ 1818 ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් කළ කැප්පෙටිපොළ නිලමේ තුමා ඇතුළු වීරවරයන් රාජද්‍රෝහීන් කියලා ප‍්‍රකාශයට පත් කළා. එදා තිබුණු සුදු ආණ්ඩුව නිදහස ලබාගෙන වසර 60ක් ගෙවුණත් ඒ ගැසට් එක වෙනස් කරන්න අපේ එක ආණ්ඩුවක්වත් කැමැති වුණේ නැහැ. ඒ කැප්පෙට්ටිපොළ නිලමේ තුමා ඇතුළු වීරවරයන් ව දේශපේ‍්‍රමීන් කියලා ප‍්‍රකාශයට පත් කළේ 2005න් පස්සේ. ඒ වගේ ම ඒ අතීතයේ සියලු ගැතිකම්වලින්, දීනකම්වලින් ශී‍්‍ර ලාංකික ජාතිය මුදවා ගන්නයි අපිට වුවමනා. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ ජාතික වීර අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන් අද දිනය අනගාරික ධර්මපාල දිනය හැටියටත් අද දින සිට ඉදිරි වසර ධර්මපාල වසර හැටියටත් මම ප‍්‍රකාශයට පත් කරනවා. අනගාරික ධර්මපාලතුමා සමරන මේ 150 වන සැමරුම් දිනයේ මා ඔබට මතක් කරන්නේ එයයි.

     

    ඔබ සැමට තෙරුවන් සරණයි!

     

    HC/priu

    President Presides at Sir Anagarika Dharmapalas 150th Birth Anniversary Commemoration 2

     

    President Presides at Sir Anagarika Dharmapalas 150th Birth Anniversary Commemoration 4

     

    President Presides at Sir Anagarika Dharmapalas 150th Birth Anniversary Commemoration 3

     

    President Presides at Sir Anagarika Dharmapalas 150th Birth Anniversary Commemoration 5

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya