මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන්න-අතිගරු වචනය නිල වශයෙන් තහනම්- ව්‍යවස්ථාවට පිටින් වැඩ කිරීමට කිසිසේත් ඉඩ නෑ

    ජූලි 15, 2022

    ව්‍යවස්ථාවට පිටින් වැඩ කිරීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙි බව පැවසීය.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීම සඳහා දැනටමත් පියවර ගෙන අවසන් බව ද රටේ නීතිය හා සාමය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේ ය

    ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කිරීමේදී අතිගරු යන වදන භාවිත කිරීම තහනම් කිරිමටත් ජනාධිපති ධජය අහෝසි කිරීමටත් පියවර ගන්නා බවද වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ විශේෂ ප්‍රකාශයයි

     

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වුනා. ව්‍යවස්ථාවට අනුකූලව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙලා නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට පියවර ගන්නවා.

    ඒ, කෙටි කාලය තුළ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව කටයුතු කිරීමේ වගකීම මට පැවරිලා තියෙනවා. මේ කෙටි කාල සීමාව තුළ මම හදිසි පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

    රටේ ජනතාව දේශපාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යලිත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය පූර්ණ ලෙසම ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා 19 වෙනි සංශෝදනය සම්පූර්ණයෙන් යලි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කළා. ලබන සතියේ අළුතින් පත්වන ජනාධිපතිවරයාට 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝදනය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම් මේ කෙටි කාලය තුළ සකස් කරනවා.

    ඒ වගේම රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නවා. සාමකාමි අරගලය කිරීමේ අයිතිය මම සීයට සීයක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකප්පල් ක්‍රියා කරන්න උත්සහ කරනවා, තවත් කණ්ඩායම් ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී නව ජනාධිපති තේරීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සහයක් දරන්න සූදානම් වෙන බවට වාර්තා වී තිබෙනවා.

    මන්ත්‍රීවරුන්ට ස්වාධීනව තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පරිසරය අපි සකසා දෙනවා. ඔවුන්ට පූර්ණ ආරක්ෂාව සලකනවා. පාර්ලිමේන්තුවේ ජ්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට අපි කිසි විටෙක ඉඩ දෙන්නේ නැහැ.

    ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් පැසිස්වාදි ක්‍රමවේද ඔස්සේ රට ගිනි තැබීමට වෙර දරන කණ්ඩායම් ඉන්නවා. පාර්ලිමේන්තුව අසලදී ආරක්ෂා හමුදාවන්හි තුවක්කු දෙකක් වෙඩි උන්ඩ සමඟ පැහැර ගෙන ඇත්තේ එවැනි පිරිස්.

    ඒ වගේම හමුදාවේ සාමාජිකයන්ට 24 දෙනෙක්ට තුවාල ලබලා තියෙනවා. අද දෙදෙනෙක්ට බරපතල තුවාල ලැබිලා තියෙන්නේ. සැබෑ අරගලකරුවන් එවැනි ක්‍රියාවන් නොකරන බවට මගේ විශ්වාසයයි. ඒත් කැරලිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් තියෙනවා. කැරලිකරුවන්ට නීතය යටතේ ක්‍රියා කරනවා. ආරම්භයේ සිටම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල් කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙනවා.

    ඒ අය සමඟ අප නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.

    මම ව්‍යවස්ථාව ආාරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මම කිසි විටෙක ව්‍යවස්ථා විරෝධී කටයුත්තකට ඉඩ දෙන්නේ නැහැ. අනුබල දෙන්නේ නැහැ. මම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්නේත් නැහැ. නීතිය හා සාමය හා බිඳ වැටුනොත් එය අපේ ආර්ථිකයට බලපානවා.

    ඉන්ධන, විදුලිය, ජලය සැපයීම වගේ, ආහාර ද්‍රව්‍ය සැපයීම බිඳ වැටෙන්න පුළුවන්. අප සියලු දෙනාම මේ අනතුරුදායක තත්වය තේරුම් ගත යුතුයි.

    නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානීන් පොලිස්පතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කර තිබෙනවා. කිසිඳු දේශපාලන අතපයකින් තොරව නීත්‍යානුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා.

    සර්ව පාර්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය පසුගිය සඳුදා පැවති පක්ෂ නායක රැස්වීමේ අප අවධාරණය කළා. ඒ සඳහා පොදු එකඟතාවයකට වහාම එළඹෙන ලෙස මම පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලින් ඉල්ලා සිටිනවා. මේ දේශපාලන පක්ෂ භේද හා මතිමතාන්තර පසිකලා රට වෙනුවෙන් එකට එක් විය යුතුයි.

    ඒ නිසා තම තමන්ගේ පුද්ගලික අභිලාෂයන් පැත්තකට දමන්න. රටේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන්න.

    පුද්ගලයන් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන සිතන්න. ජීවත් වීමට හා දේශපාලනය කිරීමට අපට රටක් තිබිය යුතුය. ඒ නිසි රට ගැන සිතා, රටේ ජනතාව ගැන සිතා, කටයුතු කරන මෙන් මම සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටිනවා. මුලින්ම මේ ව්‍යාකූල තත්වයෙන් රටත් ජනතාවත් බේරා ගනිමු. ඊට පසුව පක්ෂ දේශපාලනය වෙත හැරෙමු.

    වැඩ බලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දු දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා.

    රටකට තියෙන්න ඕනේ එක කොඩියයි. ජාතික කොඩිය විතරයි.. ඉදිරියට යා යුත්තේ එක කොඩියක් එක සෙවණ ලබමින්.

    අප අද මුහුණ දෙන මේ අවස්ථාව ගැන මැදිහත්ව ගැඹුරෙන් සිතන්න. දැන් මුළු රටටම මුළු ප්‍රවේශයකින් නව ගමනක් යෑමේ පසුබිම සැකසී තිබෙනවා. දූෂණයෙන් තොර සාමකාමි යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අවකාශ වඩාත් පුළුල් ලෙස සැකසී තිබෙනවා.

    අපේ මවුබිම යලිත් ඉහලට ඔසවා තැබීමේ ඉඩකඩ පුළුල් වී තිබෙනවා. එයින් උපරිම ප්‍රයෝජනය ගැනීම අප සැමගෙම යුතුකම හා වගකීමයි.

    අළුත් යුගයක්, අළුත් ක්‍රමයක් ආරම්භ කිරීමට අප හැමදෙනාම පූර්ණ ශක්තිය හා පූර්ණ සහය ලබා දෙමු.

    පුරවැසියන් ලෙස අප හැමෝම මේ මල් වට්ටියට අවංකමව අත ගහමු.

    අවසාන වශයෙන් තව දෙයක් සිහිපත් කරන්න කැමති.

    අද‌ට මාස දෙකකට පමණ කලින් මැයි 13 වෙනිදා මම රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. මම ඒ බරපතළ තීරණය ගත්තේ මේ රටේ මිලියන දෙකක ජනතාව ගැන හිතලා. පාර්ලිමේන්තුව විසින් අළුත් ජනාධිපතිවරයෙක් පත් කරන තුරු ඒ තීරණය වගකීම රට වෙනුවෙන් ඉෂ්ඨ කරනවා. ඒ තීරණය වගකීම ඉෂ්ඨ කරන්න මම ව්‍යවස්ථනූකූලව බැඳ සිටිනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya