අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාර පූජාභූමිය ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වයි

    මාර්තු 21, 2022

    එදත් උතුරේ ජනතාව ආරක්ෂා කළ අපි අදත් එම ජනතාව ආරක්ෂා කරමින් මේ පළාත සංවර්ධනය කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාර පූජාභූමිය ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සඳහා යාපනය නාගදීප රජමහා විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද (19) මේ බව සඳහන් කළේය.
    වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් පුළුල් කරමින් නාගදීප විහාරස්ථානය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළේය. යාපනය නාගදීප රජමහා විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිගෞරවනීය ගංතුනේ අස්සජි මහා නායක ස්වාමීන්වහන්සේ සහ නාගදීප විහාරාධිකාරී පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන්වහන්සේ බැහැ දැක සුව දුක් විමසා සිටියේය. අග්‍රාමාත්‍යතුමා නාගදීප චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත ගොස් මල් වට්ටියක් පූජා කරමින් එහි ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වූයේය.

    පූජාභූමි අධ්‍යක්ෂ රුචිර විතාන මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට නාගදීප විහාරස්ථානය පූජා භූමියක් බවට
    පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ලබා දීමෙන් අනතුරුව ලේකම්තුමා විසින් සන්නස් පත්‍රය කියවන ලදි.

    මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් සන්නස් පත්‍රය අනතුරුව අග්‍රාමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ උත්තර ලංකාවේ ප්‍රධාන සංඝ නායක නාගදීප රාජමහා විහාරය, දඹකොළපටුන සංඝමිත්තා විහාරය, කන්කසන්තුරෙයි ඓතිහාසික තිස්ස රාජ මහා විහාර ත්‍රිත්වයේ විහාරාධිපති පුජ්‍ය නවදගල පදුම කිත්ති තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වන ලදි.

    ඒ අනුව ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාර පූජාභූමිය ලෙස නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය ඉදිරියට හැඳින්විය හැකි අතර උක්ත ප්‍රදේශය පූජා භූමියක් බවටත් පත්වේ. අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගංතුනේ අස්සජි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනුශාසනාව පවත්වමින් මෙසේ කීහ. නාගදීප විහාරය පූජාභූමියක් ලෙස නම් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාටත් බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාටත් අපේ ප්‍රසාදය පළකරනවා.

    උතුරු ප්‍රදේශයේ ගරාවැටී තිබූ වල් බිහිවී තිබූ ස්ථාන ආරක්ෂා කර සංවර්ධනය කරන්න අමරපුර නිකායේ භික්ෂූන්වහන්සේලා විශේෂ කැප කිරීමක් සිද්ධ කර තිබෙනවා. මම පළමු වරට යාපනයට වැඩම කළේ 1970 දීයි. නමුත් නාගදීපයට එන්නට එවකට පැවති කෝලහාල නිසා බැරි වුණා. ඊට පසු පැමිණියේ මෙම අවස්ථාවටයි.

    රටේ පැවති යුද්ධය අවසන් කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ලෙස එවකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් කටයුතු කළ නිසා යාපනය අර්ධද්වීපයට අද ඕනෑම කෙනෙක්ට එන්නට අවස්ථාව උදා වී තිබෙනවා.

    ඒ නිසා තමයි මහා සංඝරත්නය ඔබතුමාට කීර්ති නාමයක් ප්‍රදානය කරනු ලැබුවේ. එදා අතීත රජවරු බුදු දහම රැක ගන්න කටයුතු කළා වගේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා බුදු දහම ආරක්ෂා කරන්න කටයුතු කළ නිසා රාජවංශ භූෂණ කියලා කිව්වා, ධර්මද්වීපය දෙකඩ වෙන්න නොදී රැකගත් නිසා ධර්මද්වීප චක්‍රවර්ති කියලා ඔබතුමාට කිව්වා. ඒ නාමය සකස් කළේ මම. නාගදීපය ජාතික සමගිය ගොඩනගන ස්ථානයක් බවට නවදගල අපේ හාමුදුරුවෝ පත් කර තිබෙනවා. ඒ උන්වහන්සේට දෙමළ භාෂාව චතුර ලෙස කථා කළ හැකි නිසයි. මේ ප්‍රදේශවලට දමිළ භාෂාව දන්න භික්ෂූන් වහන්සේලා තව තවත් වැඩම කිරීමෙන් මෙම ප්‍රදේශ වල වඩාත් හොඳින් ජාතික සමගිය ඇති කළ හැකිව තිබෙනවා යැයි මහානායක ස්වාමීන්වහන්සේ පැවසූහ. සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන්වහන්සේ ද මෙහි දී කෙටි අනුශාසනාවක් පැවැත් වූහ.

    මෙම අවස්ථාවට අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ගංතුනේ අස්සජි මහා නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය මාදම්පාගම අස්සජි අනුනායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ, අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ අනුනායක පුජ්‍ය කන්දෙගොඩ විමල ධම්ම අනු නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාර පූජාභූමිය ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා කළ කතාව මෙසේය. ඵෙතිහාසික නාගදීප රජමහා විහාරය බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමත් සමඟ පාරිශුද්ධත්වයට පත් වූ පුණ්‍ය භූමියක්. අතීතයේ නාගදීපය හඳුන්වා ඇත්තේ මණි නාගදීපය යනුවෙන්.

    චූලෝදර මහෝදර මාමා හා බැණා අතර, ඇතිවු මැණික් පුටුවක් සඳහා වූ යුද්ධය නතර කිරීමට තමයි බුදුරජාණන් වහන්සේ මෙම පුණ්‍ය භූමියට වැඩිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එදා සියලු දෙනාට ධර්මය දේශනා කරපු නිසා ඇති වීමට ගිය මහා විපත්තිය නතර කර ගැනීමට පුළුවන් වුනා. එදා ඉඳලා මේ වටිනා ස්ථානය සිංහල බෞද්ධ අයගේ පමණක් නොවෙයි, බෞද්ධ දර්ශනයට ලැදි සෑම ජාතියකම අයගේ වැදුම් පිදුම් ලබන පුණ්‍ය භූමියක් බවට පත් වුණා.

    දුටුගැමුණු රජතුමා, සද්ධාතිස්ස රජතුමා වැනි ශ්‍රේෂ්ඨ පාලකයින් මෙම ස්ථානය තම පාලන කාල වල දී ආරක්ෂා කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. උතුරේ සහ දකුණේ සියලු දෙනා අතීතයේ ඉඳලම සුහදශිලීව ජීවත්වූ බව එයින් අපට පැහැදිලි වෙනවා. 1983 න් පසුව මේ රටේ සිදුවු අයහපත් සිදුවීම් මත වසර 30 කට වැඩි කාලයක් මෙම ස්ථානය හුදකලා වුනා කිව්වොත් නිවැරදියි. දකුණේ ජනතාවට උතුරට ඒමට අවස්ථාවක් තිබුනේ නෑ. එම කාලය තුළ මේ විහාරස්ථානය රැක බලාගත්තෙත්, ආරක්ෂා කළෙත්, භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දානය, ගිලන්පස සැපයූවේත්, ශ්‍රී ලංකා නාවික හමුදාව බව මෙහි දී මා සිහිපත් කරන්න ඕනෙ.
    උතුරු පළාත කේන්ද්‍රීයව ඇති වූ යුද්ධය මේ ප්‍රදේශයේ සංවර්ධනයත් ජනතාවත් විනාශයට පත්කළා. මේ විහාරස්ථානය රැකබලා ගැනීමට මේ ප්‍රදේශය තුළ ජීවත්වන ද්‍රවිඩ ජනතාවත් විශාල වශයෙන් එකතු වුනු බව මම සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන්. ඒ අයගේත් නාවික හමුදාවේත් සහය ලබාගෙන විහාරස්ථානය සංවර්ධනයට කටයුතු කළේ, වර්තමාන විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක අපේ ගෞරවනීය නවදගල පදුම කිත්ති නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මා සමඟ ඉතාම මිත්‍රශීලිව කටයුතු කරන හාමුදුරු කෙනෙක්. ඒ වාගේම උන්වහන්සේගෙන් මා දැකපු ලක්ෂණයක් තමයි කියන්න ඕනෙ දේ නොබියව කීම. ඒ වාගේම මේ ප්‍රදේශයටත් විහාරස්ථානයටත් හරිම ආදරෙයි.
    කවදාවත් මේ ජනතාවත් පන්සලත් අත්හැරලා උන්වහන්සේ පිටතට වැඩියේ නෑ. ඒ වගේම මටත් රජයටත් හරිම හිතවත්ව කටයුතු කළා. බුද්ධ මන්දිරය අළුත් වැඩියා කටයුතු සිදුකිරීම, පැතිබැම්ම ඉදිකිරීම, පොත්ගුල් විහාරය හා දේව මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම, දේශීය මෙන්ම විදේශිය ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම වැනි කටයුතු ඉටු කිරීමට අපට පුළුවන් වුණා. එපමණක් නොවෙයි නාගදීප විහාරස්ථානයේ පාර සකස් කිරීමටත් නාගදීප දූපතේ පිහිටි රෝහල ප්‍රතිසංස්කරණය කිරීමටත් අපට හැකියාව ලැබුණා. එසේම නාගදීපය හා වෙනත් දූපත් වලට ගමන් කරන කුරිකටුවාන් ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම, නාගදීප විහාරස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පරිදි නවාතැන් පහසුකම් ලබාදීමත් ඉදිරියේ දී තවත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා.

     

    මේ සියල්ලම ඉටු කිරීමට හැකි වුණේ මෙම විහාරස්ථානය පුජා භුමියක් බවට පත් කිරීම නිසා බව ප්‍රකාශ කරන්න ඕනෙ. වසර 30ක බියකරු යුද්ධයෙන් පසුව මේ විහාරස්ථානය විශාල ලෙස සංවර්ධනය කර ගැනීමට බැතිමතුන්ට වන්දනා කර ගැනීමට අවශ්‍ය පුණ්‍ය භූමියක් බවට පත් කරලීමට අපට අවශ්‍ය වුණා. ඒ නිසාමයි පසුගිය වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මෙම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන උතුරු පළාතේ පැවැත්වීමට කටයුතු සූදානම් කළේ. නමුත් අවාසනාවකට මුළු මහත් ලෝකයම වෙලාගත් කොවිඩ් 19 වසංගතය නිසාම එය ඉටු කිරීමට නොහැකි වුණා. බුද්ධ ශාසන අමාත්‍යාංශය එය ඉටු කරලීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ලම සංවිධානය කළා. රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ ඇතුළු මේ ප්‍රදේශයේ ජනතාව එම උත්සවය මහත් ඉහළින් පැවැත්වීමට කටයුතු සැළසුම් කළා.
    නමුත් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ඒ උත්සවය අවලංගු කරන්න අපට සිදු වුණා. අපි මේ උත්සවයන්ට සම්බන්ධ වුනේ මේ විහාරස්ථානයටත් මේ පළාතටත් එහි ජීවත් වන ජනතාවටත් තියෙන හිතවත්කම නිසාම කියන එක මා ප්‍රකාශ කළ යුතු යි. අපි එදත් උතුරේ ජනතාව ආරක්ෂා කළා. අදත් එම ජනතාව ආරක්ෂා කිරීමට හා මේ පළාත සංවර්ධනය කිරීමට අතිගරු ජනාධිපතිතුමාත්, අපගේ රජයත් බැඳී සිටින බව සිහිපත් කරන්න ඕන.

    මේ විහාරස්ථානයට පැමිණෙන සියලු බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් විහාරස්ථානය තුළින් ලබාදීමට හැකි වී තිබීම සතුටට කරුණක්. එම කටයුතු ඉටු කරදීමේ දී බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුලු රාජ්‍ය ආයතනත් ශ්‍රී ලංකා නාවික හමුදාව හා යුධ හමුදාවත් ඉටු කළ වගකීම ඉතා විශාලයි. මේ පුණ්‍ය භුමිය ආරක්ෂා කිරීමට හා සංවර්ධනය කිරීමට කළයුතු සියල්ල ඉදිරියේදීත් අප රජය මගින් නොපිරිහෙලා ඉටු කරන බව මා ප්‍රකාශ කරනවා. ඔබ සැමට තෙරුවන්සරණයි! අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    උත්සවය අවසානයේ අග්‍රාමාත්‍යතුමා නාගදීපයේ පිහිටි ශ්‍රී නාගභූෂණ අම්මාන් කෝවිල ද වැඳ පුදා ගත්තේය. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරු සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ඇතුළු නාවික හමුදා ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් සහ බැතිමත්හු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya