මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තයේ නිරතවීමට තරුණ ගොවි පරපුරට දොරගුළු විවර කළ යුතුයි- ජනපති

    පෙබරවාරි 16, 2019

    නවීන තාක්ෂණයත් සමග කෘෂිකර්මාන්තයේ නිරතවෙමින් නව ලෝකය සමඟ එක්වීමට මෙරට තරුණ ගොවි පරපුරට සියලු ඉඩ ප්‍රස්ථා විවර කර දිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ඊට අවශ්‍ය නව පුහුණු අවස්ථා සඳහා ඔවුන් යොමු කිරීම මෙන්ම අන්තර්ජාලය හා සම්බන්ධවෙමින් නව වෙළෙඳපොළ හ`ඳුනාගැනීමේ අවස්ථාව ද ඔවුන්ට සලසා දිය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේ ය .

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයේ 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරීමට   (15) පෙරවරුවේ දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

    ,සැමට මහවැලි බිමේ උරුමය, පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු දොළොස් දහසක් ලබාදීම ද මෙහි දී සිදු කෙරිණි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සම්ප්‍රදායික ගොවිතැනේ යහපත් පැතිකඩ ආරක්ෂා කිරීම සේම කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණය භාවිතයට ගැනීම ද අද අත්‍යවශ්‍ය වී ඇති බවයි.

    ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ ගොවියා ණය බරින් මුදවා ගැනීම, ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, යහපත් සමාජ වටපිටාවක් ඇති කර ගොවි පරපුරට යහපත් සමාජ පිළිගැනීමක් ඇති කිරීම ආදිය සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් ද වේගවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

    මහවැලි කලාප, මතින් නිදහස් ගම්මාන බවට පත් කර ගැනීමට මෙන්ම පරිසර හිතකාමී ගම්මාන බවට පත් කර ගැනීමේ විශේෂ වැඩසටහන් සඳහා ද ජනාධිපතිතුමා මෙහි දී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

    ග්‍රාමීය වශයෙන් ව්‍යාප්තව ඇති නීතිවිරෝධි මත්පැන් මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙළ ද ඉදිරි සති දෙක තුන තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    දිවයින ම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන මහවැලි ගොවි ජනතාව වෙත තමන් දීර්ඝ කාලයක් පුරා භුක්තිවිදින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මහවැලි බී කලාපය, සී කලාපය හා රඹකැන්ඔය යන කලාපයන්හි වෙසෙන මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු දොළොස්දහසක් ප්‍රදානය කිරීම සනිටුහන් කිරීම මෙහිදී සිදු කෙරිණි.

    මීට අමතරව විහාරස්ථාන සඳහා පූජාභූමි ඔප්පු ප්‍රදානය සහ රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා ඉඩම් පැවරීමේ සහතික පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    2018 මහවැලි ගොවි අභිෂේකයේ ත්‍යාග ප්‍රදානය මින් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    සමස්ත මහවැලි කලාපවල ගොවි ජනතාව අතර පවත්වන ලද තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් ගොවි මහතුන් 18 දෙනෙකු වෙත සම්මාන හා සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර හොඳම මහවැලි මහ ගොවියා, හොඳම මහවැලි ගොවි සංවිධානය, හොඳම මහවැලි කිරි ගොවියා, හොඳම මහවැලි ගෙවත්ත, හොඳම වාරි පද්ධතිය යන අංශ කිහිපයක් ඔස්සේ ත්‍යාග හා සම්මාන පිරිනැමීම සිදු විය.

    මෙම වැඩසටහන හා සමගාමීව සංවිධානය කර තිබූ ප්‍රදර්ශනය ද ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
    වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමතිවරු රැසක් ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පොළොන්නරුව, දිඹුලාගල, නුවරගල මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ නව දෙමහල් විද්‍යාගාර ගොඩනැඟිල්ල  සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

    සමරු ඵලකය නිරාවරණය කර නව විද්‍යාගාර ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
    එමෙන්ම පොළොන්නරුව, නව නගරයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩවෙසෙන පූජ්‍ය ගල්උල්ලේ පඤ්ඤාසේකර ස්වාමින්වහන්සේගේ දෙමාපියන් වෙනුවෙන් අරලගංවිල, කුඩාවැව ප්‍රදේශයේ ඉදිකර දුන් නව නිවස ද   එම දෙමාපියන් වෙත භාරදීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

    පදිංචියට ස්ථීර නිවසක් නොමැතිව ඉතා දුෂ්කර තත්ත්වයක ජීවත් වූ මෙම දෙමාපියන් වෙනුවෙන් පොළොන්නරුව තමන්කඩුව විහාරාධිපති සංගමය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්ව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම නව නිවස ඉදිකරදීමට පියවර ගත්තේ ය.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව නිවස විවෘත කළ ජනාධිපතිතුමා පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කථා බහක නිරත විය.

    පොළොන්නරුව ඉසිපතනාරාම රජමහා විහාරාධිපති උතුරු, උතුරු මැද නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya