අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බව ජනපති පවසයි

    පෙබරවාරි 01, 2019

     මිනිසුන් මරණයට, රෝග පීඩාවන්ට හා මානසික පීඩනයට ලක් කරන තාක්ෂණික හා කොන්කි‍්‍රට් නිර්මාණයන් අද සංවර්ධනය ලෙස හැඳින්වුව ද සමස්ත ලෝකයේ ම අපේක්ෂාව වී ඇත්තේ සොබාදහමේ තිරසර පැවැත්ම තහවුරු කළ හැකි නව සංවර්ධන කි‍්‍රයාදාමයක් බව ජනාධිපතිතුමා පවසයි.

    මීට වසර විස්සකට, විසි පහකට එහා ලොව රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, විද්වතුන් සහ විශේෂඥයන් බහුතරයකට පරිසරය රැක ගැනීමේ වුවමනාවක් නොතිබුණ ද අද පරිසරය සුරැකීම පිළිබඳ ලොව පුරා සියලු දෙනා උණුසුම් සංවාදයක නිරතව සිටින්නේ පරිසර විනාශය මිනිස් පැවැත්ම ඉදිරියේ ඇති අභියෝගාත්මක මෙන්ම තීරණාත්මක ගැටලුවක් වී ඇති නිසා බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    එබැවින් පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ   (30) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ‘පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවය’ අමතමිනි.

    පාසල් අධ්‍යාපනය තුළින් පරිසර අධ්‍යාපනය සිසුන් වෙත ලබා දී ඔවුන් ප‍්‍රායෝගිකව පරිසර සංරක්ෂණ කි‍්‍රයාවලියට යොමු කර පරිසර සංවේදී අනාගත පරපුරක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණයි.

    පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රටට ඉදිරිපත් කර ඇති ‘නීල හරිත යුගයක්’ අනාගත ශ‍්‍රී ලංකාව ගොඩනැඟීමේ පුළුල් කි‍්‍රයාදාමය තුළ පරිසර නියමු වැඩසටහන සඳහා ලබාදී ඇත්තේ ප‍්‍රමුඛස්ථානයකි. පස් අවුරුදු සැලැස්මක් යටතේ කි‍්‍රයාත්මක වැඩසටහන මිලියන හතරක පාසල් දරුවන් පරිසර හිතකාමී පුරවැසියන් බවට පත් කිරීම ඉලක්ක කර ගනිමින් කි‍්‍රයාත්මක වන අතර, ජනාධිපති පදක්කමෙන් පිදුම් ලැබූ පරිසර නියමුවෙකුට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේ දී විෂය සමගාමී බාහිර කි‍්‍රයාකාරකම් සඳහා වෙනම ලකුණු 4 ක් හිමි වීම ද ඉතා වටිනා අවස්ථාවකි.

    අට වන වරටත් පැවැති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානෝත්සවයේ දී පාසල් 40ක පරිසර නියමුවන් 93 දෙනෙක් ජනාධිපති පදක්කමින් පිදුම් ලැබීය.

    පරිසරය පිළිබඳ දැනුම පොත පතට සීමා කර නොගනිමින්, පරිසර දැනුම භාවිතයක් බවට පෙරළා ගැනීමට සිසුන් හුරු කරවන මෙම වැඩසටහන මෙම වසරේ සිට සියලු පාසල්වල සකී‍්‍රයව කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අදාළ බලධාරීන්ට පෙන්වා දුන්නේ ය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල්, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    “පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය” අමතමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.01.30 දින කොටුව, ජනාධිපති මන්දිරයේ දී

    2018 වර්ෂයේ ජනාධිපති පදක්කම්ලාභී පරිසර නියමුවන් වන ඔබට පදක්කම් පැලැඳවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

    පරිසර සංරක්‍ෂණය පිළිබඳව අද ලෝකයේ සෑම කෙනෙකුගේම දැඩි උනන්දුවක් ඇති වී තිබෙනවා. මීට වසර 20 – 25 කට එහා ලෝකයේ රාජ්‍ය නායකයන්ට, දේශපාලනඥයන්ට, විද්වතුන්ට, විශේෂඥයන් වැඩි කොටසකට පරිසරය ආරක්ෂා කිරීමේ උවමනාවක් තිබුණේ නැහැ. අඩු කොටසකට තමයි ඒ ගැන උවමනාවක් සහ දැනුවත් භාවයක් තිබුණේ. අධි තාක්ෂණය සමඟ විශේෂයෙන්ම භෞතික සම්පත් සංවර්ධනය සමඟ කොන්ක්‍රීට් නගර බිහි වෙන්න පටන් ගත්තා. ජපානයේ ටෝකියෝ නගරය කොන්ක්‍රීට් නගරයක්. ඒවගේම තමයි ඉතාම පුංචි රටක් වුණු සිංගප්පූරුව. කොන්ක්‍රීට් කොතෙක් තිබුණත් ලස්සනට ගස් වවලා තිබෙනවා. මම පසුගිය සතියේ සිංගප්පූරුවේ එක්සත් ජාතීන්ගේ ආසියා පැසිෆික් පරිසර සමුළුවට සහභාගි වුණා. එහි ප්‍රධාන දේශනය තිබුණේ මට. ආසියා පැසිෆික් රටවල් 41 ක් ඒ සඳහා සහභාගි වී සිටියා. සිංගප්පූරුවේ සෑම ගහක් පිළිබඳව විස්තර පරිගණක ගත කරලා තිබෙනවා. සිංගප්පූරුවේ තිබෙන ගස් ගණන, ගස් වර්ග මොනවද? ඒ ගස් සිටුවා තිබෙන්නේ කොහේද යන්නත් එහි සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව අන්තර්ජාලයෙන් සෝදිසි කරලා බලන්න පුළුවන්. එහේ ගහක් කපනවා නම් අත්තක් රිකිල්ලක් හෝ කඩනවා නම් ඒකට අදාළ බලධාරියාගේ අවසරයක් ඕනෑ. නිර්දේශයක් ගන්න ඕනෑ. ඒ නිර්දේශයත් පරිගණකයට ඇතුළු කරනවා. ඒ ගස සිටුවීමේ සිට ගසේ ඉදිරි පැවැත්ම පිළිබඳව වාර්තාවක් පරිගණකයේ තිබෙනවා.

    වර්තමානයේ අපේ රටේ වන ඝනත්වය 28% යි. වසර දෙකකට පමණ පෙර එම ප්‍රමාණය 32% දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. පරිසරය ආරක්‍ෂා කිරීමට මෙවැනි තීන්දු තීරණ නොගතහොත් ඉන් ඇති වන භයානක ප්‍රතිඵලය පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. සියැටල් කළ ප්‍රකාශයක් පිළිබඳව දරුවෙක් සඳහන් කළා. සියලුම වෘක්‍ෂ ලතාවන් කපා දැමූ පසු සියලුම ගංගාවන් සිඳී ගිය පසු අන්තිම මාළුවා ද අල්ලා ආහාරයට ගත් පසු මුදල් ආහාරයට ගත නොහැකි බව මිනිසා තේරුම් ගනීවි යැයි සියැටල් ගේ ඒ ප්‍රකාශය තව අවුරුදු 30 ක් යන විට යථාර්ථයක් වෙන්න පුළුවන්.

    අපේ රටේ වසරකට 1.5% ක් වන ගනත්වය අඩු වෙනවා. දැන් තිබෙන්නේ 28% යි. වසරකට 1.5% ක් අඩු වුණාම මේ 28 අවසන් වෙන්න වසර කීය ද යන්නේ. ඒ වසර ගණන ගියාට පසුව සියැටල් ගේ කතාව තමයි අපට අයිති වෙන්නේ. ඒ නිසා අපි තව තවත් පරිසර සංරක්ෂණය පිළිබඳව මේ දරුවන් උනන්දු කරවන්න ඕනෑ. පරිසරය විනාශ කරන අයට මේවා කොතෙක් කිව්වත් වැඩක් නැහැ. මට තිබෙන ලොකුම චෝදනාවක් තමයි සංවර්ධනයට වැලි පස් ගන්න දෙන්නේ නැහැ කියන එක. මම ජනාධිපති ධුරයට පත් වුණු වෙලාවේ මාව බලයට පත් කළ දේශපාලන පක්ෂවල නායකයෝ මගෙන් ඇහුවේ ජනාධිපති ධුරයට අමතරව ඔබ ගන්න කැමති අමාත්‍යාංශ මොනවද? කියලා. ඒ ඕනෑම අමාත්‍යාංශයක් ගන්නැයි කියලත් කිව්වා. ආරක්ෂක අමාත්‍යාංශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ජනාධිපතිවරයාට හිමි වෙනවා. මම එකවරම කිව්වේ මට පරිසර සහ මහවැලි අමාත්‍යාංශය අවශ්‍ය යි කියලා. මම එසේ කිව්වේ මම ජනාධිපති වෙන්න කලින් ඇතැම් දේශපාලනඥයන් ම ස්වාභාවික පරිසර සම්පත් විනාශ කරන ආකාරය දැක්ක නිසා.

    මම ගිය සතියේ සිංගප්පූරුවේ ගිය අවස්ථාවේ පළමුවැනි වතාවට මරීනා බේ ගාර්ඞ්න්ස් බලන්න ගියා. මීට ඉහත දී කිහිප වතාවක් ම සිංගප්පූරුවේ සංචාරය කර තිබුණත් මරීනා බේ ගාර්ඞ්න්ස් බලන්න ගිහින් තිබුණේ නැහැ. ඒක ඇත්තටම ගාර්ඞ්න් එකක් කියලා නම් කළාට සාමාන්‍යයෙන් අපි කතා කරන ග්‍රීන් හවුස් එකක් වගේ. ඒක ග්‍රීන් පැලස් එකක් කියන්න පුළුවන්. පැලස් කියලා මම සඳහන් කළේ ඒක මාලිගාවක් වගේ නිසා. මේක සම්පූර්ණයෙන්ම වීදුරුවලින් ආවරණය කර තිබෙන්නේ. මීටර් 30 ක් 35 ක් පමණ උසට තිබෙනවා. ලෝකයේ සියලු ම රටවල වැවෙන ගස් වර්ග සහ මල් වර්ග මෙහි දකින්න ලැබෙනවා. සිංගප්පූරුවේ දේශගුණය අපේ රටේ දේශගුණයට සමානයි. අධික සීතල තිබෙන හිම වැටෙන රටවල වැවෙන ගස් මල් ඒ ආකාරයට ම මෙතැනදි බලන්න පුළුවන්. ඒ හරියට ගියාම ග්‍රීන්ලන්තය, ස්විට්සර්ලන්තය, ස්කොට්ලන්ඞ් වගේ තමයි. එම රටවල කාලගුණය දේශගුණය පිළිබිඹු වන ලෙස සකසා තිබෙනවා. අප්‍රිකානු රටවල තිබෙන ශුෂ්ක දේශගුණය විඳින්න පුළුවන් විදියට සකසා තිබෙනවා. සාමාන්‍යයෙන් සංචාරකයන් මේ ස්ථානය දැක බලා ගන්න ටිකට් එකක් ගන්න අවම වශයෙන් පැය 02 ක් වත් පෝලිමේ ඉන්න ඕනෑ.

    අපේ රටේ අපි තියෙන සියලු දේවල් විනාශ කරනවා. ස්වාභාවික සම්පත්. වනාන්තර වගේම ගංගාවල ඉවුරු කපනවා. ඔබ දන්නවා නාවික හමුදාව ත්‍රිකුණාමලයේ බලපත්‍ර නැතිව නීතිවිරෝධී ලෙස වැලි ගොඩදාපු ජාවාරම්කාරයෝ අත්අඩංගුවට ගන්න ගියාම ලොකු ගැටුමක් ඇති වුණා. මම අද උදේත් නාවික හමුදාපතිට කතා කරලා කිව්වා නාවික හමුදාව ශක්තිමත් කරන්න තදින් ඉන්න කියලා. කිසි විදියකින් මේ ජාවාරම්කාරයන්ට වැලි ගොඩදාන්න දෙන්න එපා. ඒ සියලුදෙනාම අත්අඩංගුවට ගන්න කියලා.
    ඔබ ජනාධිපති පදක්කම් ලබන්නේ මේ ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයෙක් විදියට රජය ඔබ තෝරා ගෙන ඇති නිසා. ඔබ ඉතාම භාග්‍යවන්තයි. ඔබ ඉතාම පින්වන්තයි. ඔබ ඉතාම වාසනාවන්තයි. ඔබට මේ පදක්කම්ලාභියෙක් වෙන්න උපදෙස් දුන්, මඟපෙන්වීම කළ, පුහුණු කළ, අධ්‍යාපනය දුන්, ඔබේ ආදරනීය ගුරු මවුවරුන් සහ පියවරුන්ටත් මේ දරුවන් වෙනුවෙන් කර ඇති හා කරන කැප කිරීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

    පදක්කම්ලාභීන්ගේ ලැයිස්තුව මම බැලුවා. මේ දරුවෝ කුමන ප්‍රදේශවල ද කියලා බලන්න ඕනෑ නිසා. මොනරාගල දිස්ත්‍රික්කයේ එකම පාසලක හතර දෙනෙක් ද කොහෙද ඉන්නවා. මේ දරුවන්ට ගෞරවය ප්‍රණාමය පුද කරනවා වගේම මට තිබෙන්නේ වෙන ප්‍රශ්නයක්. මේ සඳහා තේරිලා ඉන්නේ 93 දෙනයි. මේ දරුවෝ 93 ම තේරිලා තිබෙන්නේ දිස්ත්‍රික්ක 10 කින්. අනෙක් දිස්ත්‍රික්ක 15 දරුවෝ නැත්තේ ඇයි? පරිසර අධිකාරියේ මේ දිස්ත්‍රික්ක භාර අධ්‍යක්‍ෂවරුන් මෙතන ඉන්නවා නේද? හැම දිස්ත්‍රික්කයේම අය ගෙනැල්ලා ඉන්නවද? පළාත් අධ්‍යක්‍ෂරු ඉන්නවා නම් ඒ ඇති. දැන් බලන්න එක දරුවෙක්වත් තේරුණේ නැති දිස්ත්‍රික්කවලට කවුද වග කියන්නේ. ඒ එක දරුවෙක්වත් තේරුණේ නැති දිස්ත්‍රික්ක භාර පළාත් අධ්‍යක්‍ෂතුමාලා තමන්ගේ වැඬේ හරියට කෙරුවද කියන ප්‍රශ්නය මට නම් තිබෙනවා ඔබට නැති වුණාට. මම මේ කියන්නේ තරහට නෙවෙයි. මගේ මතකයේ හැටියට මොනරාගල දිස්ත්‍රික්කයෙන් දරුවෝ 18දෙනෙක් තේරී සිටිනවා. මොනරාගල දිස්ත්‍රික්කයෙන් 18 ක් එවන්න ඒ දිස්ත්‍රික්කය භාර පරිසර පළාත් අධ්‍යක්‍ෂවරයාට හෝ දිස්ත්‍රික් අධ්‍යක්‍ෂවරයාට පුළුවන්නම් අනෙක් එක් දරුවෙක් වත් පැමිණ නැති දිස්ත්‍රික්කවල පළාත් අධ්‍යක්‍ෂවරු තමාගේ වගකීම කොතෙක් ඉෂ්ට වෙලා ද කියන කාරණාව මා සමඟ අමනාප නොවී හිතන්න ඕනෑ.

    මේ පදක්කම් දෙන්න ආරම්භ කර තිබෙන්නේ 2001 සිට. මාතලේ, දැන් අවුරුදු තුනකින් එක දරුවෙක් වත් නැහැ. මම ගම්පහට ගිය අවස්ථාවෙදිත් ගම්පහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පැහැදිලි කළා. ඒක නිසා නියෝජ්‍ය ඇමතිතුමා ගම්පහ දිස්ත්‍රිකය භාර අධ්‍යක්‍ෂවරයාගෙන් අහන්න මගේ දිස්ත්‍රික්කයට ඇයි මෙහෙම වුණේ කියලා. ගම්පහ අවුරුදු 07 කින් එක ළමයෙක් වත් නැහැ. මෙහෙම වුණේ ඇයි කියලා අධ්‍යක්‍ෂතුමාලා මට සතියක් ඇතුළත වාර්තාවක් දෙන්න ඕනෑ. කෑගල්ල ලංකාවේ සංවර්ධනයේ ඉහළ ම බොහොම ලස්සන පරිසරයක් තිබෙන දිස්ත්‍රික්කයක්. විභාග ප්‍රතිඵල වගේ තමයි මේවත්. ජනාධිපති පදක්කමෙන් පිදුම් ලැබූ පරිසර නියමුවෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දි විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම් සඳහා වෙනම ලකුණු 04 ක් හිමි වනවා. අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු ඒ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. දරුවනේ ඔබට එවැනි සැලකිල්ලක් දක්වලා තිබෙන්නේ ඇයි? රටක් වශයෙන්ම ඔබ උනන්දු කරවන්න. කෑගල්ලෙන් වසර 10 කින් නැහැ. අම්පාර වසර 03 කින් නැහැ. යාපනයෙන් 2012 අන්තිමට පැමිණ තිබෙනවා. ඊට පස්සේ නැහැ. නුවරඑළිය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එකම අවුරුද්දකවත් එක් දරුවෙක්වත් තේරිලා නැහැ. මේ දිස්ත්‍රික්කවලට මෙහෙම වුණේ ඇයි? විභාග ප්‍රතිඵලත් ඒ වගේ තමයි.

    විභාග ප්‍රතිඵලවලදිත් විභාග ප්‍රතිඵල හොඳින් තිබෙන පාසල දිස්ත්‍රික්කය පළාත ගැන අපි බොහෝම සතුටු වෙනවා. සමත් දරුවන් ගැන සතුටු වෙනවා. එහෙත් අසමත් දරුවන්ට එසේ වුණේ ඇයි කියන කාරණාව අපි හොයනවා හුඟක් අඩුයි. සමත් දරුවෝ උනන්දු කරනවා. තෑගි දෙනවා. ඒ ඔක්කොම හරි. හැබැයි විභාගය අසමත් දරුවෝ ගැන හොයලා ඇයි අසමත් වුණේ කියන කාරණාව හොයලා බලන්නේ නැත්තේ. මම හිතනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. මම මේ කාරණාව කිව්වේ මේ අවුරුද්දේ 2019 අඩු තරමින් එක දිස්ත්‍රික්කයකින් එක දරුවෙක්වත් තෝරා ගන්න පරිසර අධිකාරියේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ඕනෑ. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වන අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ. මොනරාගල දරුවෝ විතරක් මොනරාගල පරිසරය ආරක්ෂා කර ගනියි. ඒ කියන්නේ අනෙක් දිස්ත්‍රික්කවල පාසල්වල මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නම් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමට වඩා මේ වැඩසටහන් මෙහෙය වන මධ්‍යම පරිසර අධිකාරියත් ජනාධිපති ලේකම් කාර්යාලයෙත් පරිසර අංශත් මේ සඳහා වගකීම ගන්න ඕනෑ.

    ඔබ ජනාධිපති පදක්කම්ලාභීන් බවට පත් වෙලා තිබෙන්නේ. ඔබටත් ඔබ උනන්දු කළ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත්, පරිසර අධිකාරියේ නිලධාරි මහත්ම මහත්මීන්ටත් මීට අවශ්‍ය නායකත්වය දුන් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධානීන්, අධ්‍යපන අමාත්‍යාංශය, මේ සඳහා සම්බන්ධ වුණු අනිකුත් ආයතන ඒ සෑම කෙනෙකුටමත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.
    ඒ වගේම පරිසර සංරක්ෂණයේ වැදගත්කම සමාජයට දීමේ ප්‍රධාන පණිවුඩකරුවකු බවට ඔබ පත් වේවා කියා සුබ පතමින් ආශිර්වාද කරමින් මගේ කතාව අවසන් කරනවා.

    ඔබ සැමට ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya