අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරය ඉන්දියන් සාගරය මැද තිබෙන විශාලතම නගරය බවට පත්කිරීම අරමුණයි-රුපියල ශක්තිමත් කිරීම සඳහා අප වහා පියවර ගත යුතුයි

    ජනවාරි 02, 2019

    කොළඹ නගරය ඉන්දියන් සාගරය මැද තිබෙන විශාලතම නගරය බවට පත්කිරීම අපේ අරමුණ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හි ඉදිකරන ලද “50ඛ් Oර්චිඩ්” සුපිරි අවන්හල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින විවෘත කෙරිණි.

    එම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් මෙසේ අඳහස් දැක්වීය.

    කොළඹ මහනගරයක් බවට පත්කිරීමේ වැඩසටහන එදා අපි චම්පික රණවක ඇමතිතුමාට භාර දුන්නා. කොළඹනගරය ඉන්දියන් සාගරය මැද තිබෙන විශාලතම නගරය බවට පත්කිරීම අපේ අරමුණයි. ඒ වැඩකටයුත්ත මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    කොළඹමහ නගරයක් බවට පත්කිරීමේ සියළු වැඩකටයුතු පසුගිය වසර දෙක තුන තුල දියත් කිරීමට නොහැකි වුනත් මේ වන විට සැහැල්ලූ දුම්රිය සේවය කැළණි අළුත් පාලම, වරාය නගරය වැනි වැඩසටහන් ගණනාවක කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව කිව යුතුයි.

    මෙම ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලැබෙන්න තව කෙටි කාලයක් ගතවේවි. බීජිං නුවර ද සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර කාලයක් ගතවන තෙක් එය පැරණි නගරයක් ලෙස දිස් වුනත් වසර පහ හයක් ගතවන විට එහි වෙනස අප දුටුවා.

    මේ වන විට වෝටර්ස් ඒජ් සමාගම ලාභ ලබන සමාගමක් බවට පත්කරන තිබෙනවා. ඒ වෙනුවෙන් කැපවූ අධ්‍යක්ෂ මණ්ඩලයට මාගේ ස්තුතිය පළ කරනවා.

    අද අප ආරම්භ කරන මේ වැඩකටයුත්තෙහි පරමාර්ථ දෙකක් තිබෙන බව පැහැදිලියි. ඉන් එක් කාරණයක් වන්නේ ලංකාවේ ඕකිඩ් වගාවට තිබෙන අනාගතය දියුණු කිරීමයි. තවත් පැත්තකින් සංචාරක ව්‍යාපාරයට මෙන්ම විවාහ මංගල උත්සව සඳහාද මෙය ඉවහල් වන අලූත් සංකල්පයක් බව කිව යුතුයි.

    සංචාරක ව්‍යාපාරය තුල විශාල දියුණුවක් ඇති කිරීමට අපේ රජය මේ වන විටත් පියවර රැසක් ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ සිට පුළුල් වැඩසටහනක් දියත් කිරීමට අප සැලසුම් කර තිබුණා. අවාසනාවකට මෙන් ඇති වූ අර්බූදය නිසා ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. දැන් ඒ වැඩ පිළිවෙල නතර කළ තැන සිට යළි ආරම්භ කිරීමට අප පියවර ගෙන තිබෙනවා.

    ඉදිරියේදී මෙරට උණුසුම් උත්සව හා ශීත දේශගුන තත්වයන් වලදී සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම හා ඔවුන්ගේ පහසුකම් වැඩිකිරීම සම්බන්ධව ගතයුතු පියවර පිළිබඳව පුද්ගලික අංශය සමඟ ද සාකච්ඡා කර තිබෙනවා. මීට ඉහතදී ද අප මේ ගැන සාකච්ඡා කර කිසියම් වැඩපිළිවෙලක් සකස් කළා. ඒ තීන්දු තීරණ එලෙසම ක්‍රියාත්මක කරන බව කිව යුතුයි.

    2018 වර්ෂයේ අගෝස්තු හා සැප්තැම්බර් වන විට මෙරට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 8ක් පමණ තිබුණා. දැන් එය කඩාවැටී තිබෙනවා. දින 51 කින් මේ මුදල් සියල්ල අපේ රටෙන් ඉවත්කර ගත්තා. මේ තත්වය හමුවේ ආණ්ඩුව කලබල වී රුපියල ආරක්ෂා කිරීම සඳහා තව තවත් මුදල් වියදම් කළා. ඒ පියවර නිසා රුපියලේ වටිනාකම අඩුවුණා. තවදුරටත් රුපියලේ වටිනාකම අඩුවෙන්න දෙන්න බැහැ. රුපියලේ වටිනාකම අඩුවීමෙන් ඔබේ ජීවන වියදම වැඩිවෙනවා.

    රුපියල ශක්තිමත් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අප සියලූ දෙනාම මුදල් ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව රුපියල ශක්තිමත් කිරීම සඳහා අප වහා පියවර ගත යුතුයි. අවශ්‍ය නම් මිත්‍ර රටවල් සමග සාකච්ඡා කර මුදල් ලබාගත හැකියි. නමුත් ඒ පියවර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපේ අපනයන හා සංචාරක වැනි අංශ යටතේ විදේශ මුදල් උපයන වැඩ සටහන් ආරම්භ කළ යුතුයි.

    පසුගිය ජුනි මාසයේ දී මේ සම්බන්ධව පුද්ගලික අංශයේ අපේ ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා. නමුත් ගතවූ දින 53 තුල ඒ තත්වයන් සියල්ල වෙනස් වුණා. ඒ සියලූ කරුණු කාරණා සැලකිල්ලට ගෙන අපි ඇරව්ු ගමන සීඝ්‍රයෙන් ඉදිරියට යා යුතුයි. අද මෙරට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ රුපියලේ වටිනාකම අඩුවීමත් සමග ජනතාවගේ ජීවන බර ඉහල යෑමයි. මේ නිසා ප්‍රථමයෙන් අප රුපියලේ ස්ථාවරභාවය ඇතිකළ යුතුයි. ඒ සමග අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට තිබෙනවා. ආර්ථික කළමණාකරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එය හැම කෙනාටම කළ හැකි එකක් නොවෙයි. පසුගිය දින 51 සිදුවූ හානිය අප දුටුවා.

    මෙම ඕකීඩ් ව්‍යාපාරය වැනි කුඩා ව්‍යාපාර ආරම්භ කර එමගින් අපේ රටේ ආර්ථිකයට තව තවත් ශක්තිය ලබාගත හැකියි. මේ වැඩසටහන වෙනුවෙන් කැපවූ සියලූ දෙනාට යලි මගේ ස්තුතිය පළකර සිටිනවා.

    මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,‍ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන සහ වෝටර්ස් ඒජ් හි සභාපති චමත් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya