අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත්වූ සියලු ශ‍්‍රී ලාංකික ධීවරයන්ට නිදහස

    ඔක්තෝබර් 11, 2018

    සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.

     

    එම සාකච්ඡාවල දී පැමිණි එක`ගතාව අනුව එම සියලු ධීවරයන් අද දහවල් නිදහස ලැබූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ  ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති “මිරිදිය වරුණ 2018” සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

    ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාව මේ රටේ ශක්තිමත් බලවේගයක් බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන් දුර්වල කිරීමට රජය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත්, ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ යුතු සෑම වගකීමක් ම නොපිරිහෙළා ඉටු කරන බවත් අවධාරණය කළේ ය.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය සියලු රජයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කර
    තිබෙන බව යි.

    ධීවර ප‍්‍රජාව වෙනුවෙන් කි‍්‍රයාත්මක නිවාස යෝජනා ක‍්‍රමය ඉදිරියේ දී තව තවත් ශක්තිමත් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

    ග‍්‍රාමීය ධීවර සංවිධාන විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත විශේෂ සංදේශයක් ද භාර දුන් අතර ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය පැටව් බහාලීම වැඩි කිරීම, ධීවර ආම්පන්න ලබා ගැනීම, ජල ජීවි වගාවන් සඳහා රජයේ ඉඩම් ලබා ගැනීම, ජලාශවල විධිමත් කළමනාකරණය සඳහා නිලධාරින් යෙදවීම, ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ඇතුළු එම සියලු ඉල්ලීම් කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ඉල්ලීම් ඉටු කිරීම ඇතුළු කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වැඩි මුදලක මෙවර අය වැය තුළින් වෙන් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.

    සමස්ත මිරිදිය ජීවි හා ජලජීවි වගා ප‍්‍රජාව ඇගැයීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබයි.

    ඒ අනුව මෙහි විවිධ අංශයන් යටතේ දක්ෂතා හා කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්වූ ධීවරයන් හා ජලජීවි වගාකරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ධීවර ප‍්‍රජාව වෙත ධීවර යාත‍්‍රා සහ දැල් ආම්පන්න ප‍්‍රදානය කිරීමට අදාළ හිම්කම් පත‍්‍ර ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    ධීවර ප‍්‍රජාව විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගන්වන ලදී.

    ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ද, ශ‍්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප‍්‍රසන්න මදවන්ආරච්චි මහතා ඇතුළු නිලධාරින් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි ධීවර ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya