මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීෂෙල්ස් – ශ‍්‍රී ලංකා සබඳතා දෙරටේම සෞභාග්‍යය වෙනුවෙන් ඉදිරියට මෙහෙයවීමට කැපවන බව සීෂෙල්ස් ජනපති අවධාරණය කරයි

    ඔක්තෝබර් 10, 2018

    දිගුකාලීන ඉතිහාසයක් ඇති සීෂෙල්ස් – ශ‍්‍රි ලංකා සබඳතා දෙරටේම සෞභාග්‍යය සහ සමෘද්ධිය උදෙසා ශක්තිමත්ව ඉදිරියට මෙහෙයවීමට කැප වන බව සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා ප‍්‍රකාශ කරයි.

    සීෂෙල්ස් ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහය (08) රාති‍්‍රයේ සීෂේල්ස් රාජ්‍ය මන්දිරයේ දී පැවැත්වුණු අතර එහි දී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ය.

    මෙහිදී අදහස් දැක්වූ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා සඳහන් කළේ සීෂෙල්ස් – ශ‍්‍රී ලංකා සබඳතාවලට තිස් වසරක් සපිරෙන අවස්ථාවේ සිදු වූ ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය දෙරට අතර සබඳතාවල නව කඩඉමක් සනිටුහන් කරනු ඇති බව යි.

    භූ විෂමතාවන් අනුව දෙරට අතර වෙනස්කම් පැවතිය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතීන් වෙනුවෙන් දෙරටේ ම කැපවීම සමාන බව මෙහි දී පෙන්වා දුන් සීෂෙල්ස් ජනාධිපතිවරයා දෙරටට එක්ව දිගු ගමනක් යාමට පවතින ඉඩකඩ පිළිබඳව ද අවධාරණය කළේ ය.

    සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක, පරිසර ආරක්ෂණය ඇතුළු අංශ ගණනාවක් තුළ ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර සමීප සබඳතා පවතින අතර, දෙරට අතර නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ප‍්‍රවර්ධනය උදෙසා ද විධික‍්‍රම රැසක් පවතින බව මෙහිදී පෙන්වා දුන් සීෂෙල්ස් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඉදිරියේ දී කැපවී කටයුතු කරන බව ද සඳහන් කළේ ය.

    ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර වැඩි ආයෝජන අවස්ථා ප‍්‍රවර්ධනය වී ඇති අතර ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට සීෂෙල්ස් රාජ්‍ය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බවත් සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජන සඳහා ද වැඩි ඉඩ කඩක් පවතින බවත් මෙහි දී සඳහන් කළ සීෂෙල්ස් ජනාධිපතිවරයා ඒ සඳහා තමා ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයින්ට ඇරයුම් කරන බව ද සඳහන් කළේ ය.

    දේශගුණික විපර්යාසවලින් සිදු වන අයහපත් බලපෑම්වලට සහ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට දූපත් රාජ්‍යයන් ලෙස අද රටවල් දෙකම මුහුණ දී සිටින අතර එම අභියෝග ජය ගැනීමේ දී එක්ව කටයුතු කිරීමට ද මෙහිදී සීෂේල්ස් ජනාධිපතිවරයා ප‍්‍රතිඥා දුන්නේ ය.

    එමෙන්ම ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 1800 ක් පමණ මේ වන විට සීෂෙල්ස් රාජ්‍යයේ විවිධ ක්ෂේත‍්‍රවල සේවය කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන් එරට ආර්ථික වර්ධනයට ලබාදෙන දායකත්වය ද ඇගැයීමට ලක් කළේ ය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ සියලු රටවල් සමඟ මිත‍්‍රත්වය ගොඩනගා ගැනීමට ශ‍්‍රී ලංකා රජය ගෙන යන නව විදේශ පිළිවෙත තුළ ශ‍්‍රී ලංකාව පිළිබඳ නව ප‍්‍රතිරූපයක් සහ ගෞරවයක් අද ජාත්‍යන්තරය තුළ හිමිව ඇති බවයි.

    මෙම පසුබිම රටේ ආර්ථික සමෘද්ධිය සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට බොහෝ සෙයින් උපකාරී වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලු සමීප රාජ්‍යයන් සමග පවතින සබඳතා වැඩිදියුණු කරගනිමින් රටේත් ජනතාවගේත් යහපත උදෙසා එම සියලු දෙනාගේ ඉහළ සහයෝගයක් ලබා ගැනීම තම අරමුණ බව ද කියා සිටියේ ය.

    අද මිත‍්‍රත්වයෙන් ඔබ්බට ගිය සහෝදර බැඳීමක් බවට පත්ව ඇති සීෂෙල්ස් – ශ‍්‍රී ලංකා සබඳතා ඉහළ නංවා ගැනීම තුළින් දෙරටටම සමෘද්ධිය උදාකර ගැනීම තම අරමුණ බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසී ය.

    මෙම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට එක් වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, මෙහිදී ශ‍්‍රී ලංකා සීෂෙල්ස් ජනාධිපතිවරු ඉතා මිත‍්‍රශීලී කතා බහකට ද එක් වූහ

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya