අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිව් වන වරටත් ජගත් සමුළුව ඇමතීමට ජනපති ඇමරිකාවට

    සැප්තැම්බර් 23, 2018

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (22) රාති‍්‍රයේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

    ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.

    “එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම” තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.

    එහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 25 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහි දී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මීට පෙර සඳහන් කර තිබේ.

    එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව සැප්තැම්බර් 24 වනදා පැවැත්වෙන අතර එම සමුළුව ඇමතීමට ද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත ආරාධනා ලැබී තිබේ. නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කරයි.

    ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිලිබඳ ගෝලීය කි‍්‍රයාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවට ද ජනාධිපතිතුමා සැප්තැම්බර් 24 වනදා එක් වෙයි.
    ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සියලු රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 26 වනදා පැවැත්වෙයි.

    එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන බෝ නොවන රෝග පිළිබඳ සමුළුව සැප්තැම්බර් 27 වනදා පෙරවරුවේ ආරම්භ කෙරෙන අතර, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටුකළ රාජ්‍ය නායකයෙකු ලෙස එම සමුළුවේ විශේෂ දේශනයක් සඳහා ද ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ඇරයුම් ලැබී තිබේ.

    එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කිරීමට නියමිත නව අරමුදලට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී සිදුවන තවත් සුවිශේෂි කටයුත්තකි.

    මේ අතරතුර සැසිවාරයට සහභාගීවන ලෝක නායකයන් කිහිප පළක් සමඟ ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයා සමග ද විශේෂ සාකච්ඡාවලට එක්වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya