අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පමණක් රුපියල් මිලියන නවදහසක මුදලක්

    සැප්තැම්බර් 22, 2018

    නියඟයෙන් පීඩාවට පත්ව සිටින හාරලක්ෂ විසි දෙදහසක් පමණ වන ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පමණක් රජය රුපියල් මිලියන නවදහසක මුදලක් වෙන්කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    එම සහන කටයුතු මෙම සතියේ සිට ආරම්භ කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු  (21) පෙරවරුවේ ආරම්භ කරමිනි.

    කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් බරපතළ පීඩාවන්ට පත්වන රටවල් අතරේ 04 වන ස්ථානයට අද ශ‍්‍රී ලංකාව පත්ව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වයට මුහුණදීමට සහ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීමට රජය උපරිමයෙන් කටයුතු කරන බව ද සඳහන් කළේය.

    නියං සහනාධාර වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ 2012 වසරේ උතුරු මැද පළාතට බලපෑ නියඟයේ දී එවකට පැවති රජය ජනතාවට පොරොන්දු රැසක් ලබාදෙමින් පත්තර පිටු ගණන් දැන්වීම් පළ කළ ද එම ජනතාව වෙනුවෙන් කිසිදු සහනයක් ලබා නොදුන් බවයි.

    පසුගිය 2016-2017 වසරවල දි දිවයින පුරා බලපෑ නියගයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමට වත්මන් රජය රුපියල් මිලියන 15,000 කට වැඩි මුදලක් වැය කළ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    දේශගුණික සහ කාලගුණික විපර්යාසවලට මුහුණදීමට මෙම කෙටිකාලීන විසඳුම් සේම දීර්ඝකාලීන විසඳුම් ද අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා දිවයින පුරා වැව් ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය වත්මන් රජය ආරම්භ කළේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.

    කහටගස්දිගිලිය සහ ගලෙන්බිදුණු වැව ප‍්‍රදේශවල නියඟයට මුහුණදී සිටින පවුල් අතරේ අඹු සැමි යුවළක් වේල් ගණනක් බත් නැතිව මුරුංගා කොළ තම්බාගෙන කන බවට පළ වු මාධ්‍ය වාර්තාවක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තමා ඒ පිළිබඳ සොයා බැලීමට වහාම නිලධාරියෙක් යොමු කළ බවයි.

    එවැනි තත්ත්වයක් සිදුව ඇත්නම් ඊට දිස්ති‍්‍රක්කයේ මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද වගකිවයුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා සියලු මැති ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරින්ට අවධාරණය කළේ පීඩාවට පත් ජනතාව අතරට ගොස් ඔවුන්ගේ අඩු පාඩු සොයා බැලීමට කටයුතු කිරීම එම සියලුදෙනාගේ වගකීම බවයි.

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය අද මෙලෙස කි‍්‍රයාවට නැංවිණි. එහි පළමු අදියර ලෙස මහවිලච්චිය සහ නොච්චියාගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැව් 17 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන තිබේ. ප‍්‍රතිසංස්කරණය කරනු ලබන එක් එක් වැව් ආශ‍්‍රිතව එම ප‍්‍රදේශයන්හි ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් ද මේ සමග ආරම්භ වනු ඇති අතර ඒ යටතේ කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු, සංචාරක කර්මාන්තය, අගය එකතු කළ නිෂ්පාදන ප‍්‍රවර්ධනය හා සමාජ සංවර්ධන කටයුතුවලට අදාළ උප ව්‍යාපෘති රැසක් ද ක‍්‍රියාවට නැංවෙනු ඇත.

    වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සිදුකරන මෙම ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවේ පළාත් ගණනාවකම දියත් කරමින් පවතින අතර, වැව් ප‍්‍රතිසංස්කරණ කටයුතු සියල්ලම සිදුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසිනි.

    මෙම වැඩසටහන යටතේ මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නබඩගස්දිගිලිය හැළඹ වැව, මහ මිල්ලගොල්ලෑව, ඉහළ මිල්ලගොල්ලෑව, ඉහළ හැළඹ ගලහිටියාව, දුනුමඩලාව, හා ඉහළ ඇතා වැව යන වැව් ද නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගල්කිරියාගම, දිවුල්වැව, පහළ ගල්කිරියාගම, සියඹලාකෙටිය, ඉහළ කෝංගස්දිගිලිය, ලේන වැව, නයි වැව හා ඇළපත්ගම වැව් ද ප‍්‍රතිසංස්කරණය කෙරෙනු ඇත.

    පෙර රජ දවස පටන් පැවත එන විශිෂ්ට වාරි ඉංජිනේරු සංකල්පයක් ලෙස සැලකෙන එල්ලංගා පද්ධති පිළිසකර කිරීම තුළින් ග‍්‍රාමීය වැව් තුළ වැඩි ජල ප‍්‍රමාණයක් රඳවා තැබීම සඳහා මෙම වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ. මේ තුලින් දැනට රජරට පළාතේ උද්ගත වී ඇති දැඩි පානීය හා වාරි මාර්ග ජල පහසුකම් හිඟයට තිරසර පිළියම් යෙදීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ. පරිසර සමතුලිතතාව ආරක්ෂාවීම, භූගත ජල මට්ටම ඉහළයාම, කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදනය වර්ධනයවීම, මිරිදිය ධීවර කර්මාන්තය වර්ධනවීම, ග‍්‍රාමීය මට්ටමින් සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත ජීවනෝපාය මාර්ග ඇතිවීම මෙහි අපේක්ෂිත අරමුණු වේ. ප‍්‍රජාවගේ සහ වන සතුන්ගේ ජල හා ආහාර අවශ්‍යතා සම්පූර්ණවීම, අදාළ ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය ඉහළයාම හා දිළිදුකම පිටුදැකීම, ප‍්‍රජාව හා වනසතුන් අතර ගැටුම් අවමවීම, දළ ජාතික නිෂ්පාදනය ඉහළයාම හා රටතුළ සිදුකරන සියලු වාරි ප‍්‍රතිසංස්කරණ කටයුතු නිශ්චිත සංවර්ධන ඉලක්කයකට යොමුවීම සෙසු ප‍්‍රතිලාභයන් ය.

    අද පෙරුවරුවේ යෙදුණු සුබ මොහොතින් පළමු පස් පිඩැල්ල කැපූ ජනාධිපතිතුමා මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.

    මහවැලි කලාපවල ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් ප‍්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ජනතාව සඳහා ඉඩම් ඔප්පු 2500 ක් ප‍්‍රදානය කිරීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    එමෙන්ම තණකොළ කපන මැෂින් ප‍්‍රදානය කිරීමක් ද සිදු විය.

    අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන, අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් පී. එම්. වන්නිනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    එමෙන්ම සිරිල් ධර්මවර්ධන පදනම මගින් වකුගඩු හා පිළිකා රෝගින් සඳහා නොමිලේ ලබා දෙන ප‍්‍රවාහන සේවාව අනුරාධපුර රෝහලේ ආරම්භ කිරීම ද අද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    සිරිල් ධර්මවර්ධන පදනමේ සභාපති බිනර ධර්මවර්ධන මහතා සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya