අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය-අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ඇරඹේ

    සැප්තැම්බර් 21, 2018

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය  අද  (21) ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව අසලින් ආරම්භ කෙරේ.

     

    එහි පළමු අදියර ලෙස මහවිලච්චිය සහ නොච්චියාගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැව් 17 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන තිබේ. ප‍්‍රතිසංස්කරණය කරනු ලබන එක් එක් වැව් ආශ‍්‍රිතව එම ප‍්‍රදේශයන්හි ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් ද මේ සමග ආරම්භ වනු ඇති අතර ඒ යටතේ කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු, සංචාරක කර්මාන්තය, අගය එකතු කළ නිෂ්පාදන ප‍්‍රවර්ධනය හා සමාජ සංවර්ධන කටයුතු වලට අදාළ උප ව්‍යාපෘති රැසක් ද ක‍්‍රියාවට නැංවෙනු ඇත.

     

    වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සිදුකරන මෙම ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවේ පළාත් ගණනාවකම දියත් කරමින් පවතින අතර එහිදි සිදුකෙරෙන වැව් ප‍්‍රතිසංස්කරණ කටයුතු සියල්ලම සිදුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකාය විසිනි.

     

    මෙම වැඩසටහන යටතේ මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නබඩගස්දිගිලිය හැළඹ වැව, මහ මිල්ලගොල්ලෑව, ඉහළ මිල්ලගොල්ලෑව, ඉහළ හැළඹ ගලහිටියාව, දුනුමඩලාව, හා ඉහළ ඇතා වැව යන වැව් ද නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගල්කිරියාගම, දිවුල්වැව, පහළ ගල්කිරියාගම, සියඹලාකෙටිය, ඉහළ කෝංගස්දිගිලිය, ලේන වැව, නයි වැව හා ඇළපත්ගම වැව් ද ප‍්‍රතිසංස්කරණය කෙරෙනු ඇත.

     

    පෙර රජ දවස පටන් පැවත එන විශිෂ්ට වාරි ඉංජිනේරු සංකල්පයක් ලෙස සැලකෙන එල්ලංගා පද්ධති පිළිසකර කිරීම තුළින් ග‍්‍රාමීය වැව් තුළ වැඩි ජල ප‍්‍රමාණයක් රඳවා තැබීම සඳහා මෙම වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ. මේ තුළින් දැනට රජරට පළාතේ උද්ගත වී ඇති දැඩි පානීය හා වාරි මාර්ග ජල පහසුකම් හිඟයට තිරසාර පිළියම් යෙදීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

    පරිසර සමතුලිතතාවය ආරක්ෂාවීම, භූගත ජල මට්ටම ඉහළයාම, කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදනය වර්ධනයවීම, මිරිදිය ධීවර කර්මාන්තය වර්ධනවීම, ග‍්‍රාමීය මට්ටමින් සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත ජීවනෝපාය මාර්ග ඇතිවීම මෙහි අපේක්ෂිත අරමුණු වේ.

    ප‍්‍රජාවගේ සහ වන සතුන්ගේ ජල හා ආහාර අවශ්‍යතා සම්පූර්ණවීම, අදාළ ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළයාම හා දිළිඳුකම පිටුදැකීම, ප‍්‍රජාව හා වනසතුන් අතර ගැටුම් අවමවීම, දළ ජාතික නිෂ්පාදනය ඉහළයාම හා රට තුළ සිදුකරන සියලු වාරි ප‍්‍රතිසංස්කරණ කටයුතු නිශ්චිත සංවර්ධන ඉලක්කයකට යොමුවීම සෙසු ප‍්‍රතිලාභයන් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya